අස්වැසුම ප්‍රතිලාභීන්ගේ නව නාම ලේඛනය පසුගිය ඔක්තෝබර් මස අගදී ප්‍රකාශයට පත් කරනු ලැබීය. ඒ අනුව, පවුල් නවලක්ෂ අනූ එක්දහස් අටසියයක් අස්වැසුම ප්රතිලාභ සඳහා සුදුසුකම් ලබා ඇති අතර, අන්ත දිළිඳු කාණ්ඩය සහ දිළිඳු කාණ්ඩය යන කාණ්ඩ දෙක යටතේ එම පවුල් සඳහා ප්රතිලාභ හිමි වෙනු ඇත.
අන්ත දිළිඳු කාණ්ඩය සඳහා පවුල් තුන්ලක්ෂ හැටතුන් දහස් එකසිය හතළිස් දෙකක් තෝරා ගෙන ඇති අතර ඔවුන්ට මසකට රුපියල් දාහත්දහස් පන්සීය බැගින් රජය විසින් ප්රතිලාභ ලබා දෙනු ඇත. දිළිඳු කාණ්ඩය ලෙස පවුල් හයලක්ෂ විසිඅටදහස් හයසීය පනස් අටක් තෝරා ගෙන ඇති අතර ඔවුන් සඳහා මසකට රුපියල් දසදහස බැගින් ප්රතිලාභ ලැබෙනු ඇත.
මීට පෙර අන්ත දිළිඳු කාණ්ඩය යටතේ ප්රතිලාභ හිමි වූ සහ අලුතෙන් අයැදුම්පත් ඉදිරිපත් කළ පවුල් දහතුන් ලක්ෂ අනූ එක්දහස් අටසීය තිහක් මෙවර අස්වැසුමෙන් ඉවත් කර ඇත. එයට හේතුව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය විසින් පවත්වන ලද වාර්ෂික සමාලෝචනයේ දී එම පිරිස ප්රතිලාභ ලැබීම සඳහා සුදුසුකම් ලබා නොතිබීමයි. එහි අදහස වන්නේ අන්ත දිළිඳු කාණ්ඩයට පවුල් තුන් ලක්ෂ හැටතුන් දහස් එකසීය හතළිස් දෙකක් තෝරා ගනිද්දී, එම පිරිස මෙන් හතර ගුණයකට වැඩි පිරිසකගේ අයැදුම්පත් ප්‍රතික්ෂේප වී ඇති බවයි.
කෙසේ වුව ද මේ වසරේ ඔක්තෝබර් 29 වැනිදා සිට නොවැම්බර් 11 වැනිදා දක්වා අභියාචන සහ විරෝධතා ඉදිරිපත් කිරීමට කාලය දී තිබේ. ඉදිරිපත් කරන අභියාචනා සලකා බැලීමෙන් පසු දෙසැම්බර් මාසයේ දී තවත් පවුල් හත්ලක්ෂ හතළිස් දහස් එකසිය විසි හතකට අස්වැසුම ප්රතිලාභ හිමිවෙනු ඇත. ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගනු ලැබූ විස්තීරණ ණය ගිවිසුම අනුව අස්වැසුම ප්රතිලාභ සඳහා සුදුසුකම් ලැබිය යුතු ප්‍රතිලාභීන් පමණක් තෝරා ගෙන ඔවුන්ට එය පිරිනැමීමේ වගකීම රජයට පැවැරී තිබේ. වසරක් පාසා ඒ ආකාරයට තෝරා ගන්නා පිරිස් පිළිබඳව සමාලෝචනය කර ඒ සඳහා නව ලැයිස්තු සකස් කරනුයේ එම එකඟතාවලට අනුකූලවීම සඳහාය.
1991 දී හඳුන්වා දෙන ලද ජනසවිය වැඩසටහන ශ්‍රී ලංකාවේ දුගීභාවය පිටුදැකීම සඳහා ක්‍රියාත්මක කරන ලද පළමු, විධිමත් හා ඉලක්ක ගත වැඩසටහන ලෙස හැඳින්විය හැකිය. එය චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය යටතේ සමෘද්ධිය ලෙසත්, රනිල් වික්‍රමසිංහ රජය යටතේ අස්වැසුම ලෙසත් නම වෙනස් කරන ලද නමුදු දුගීභාවය පිටුදැකීම සඳහා වූ එම වැඩසටහන මේ දක්වා වසර 35 ක පමණ කාලයක් ක්‍රියාත්මක වී තිබේ. ප්‍රතිලාභීන් තෝරා ගන්නා ක්‍රමවේදය, තෝරා ගන්නා ප්‍රතිලාභීන් ප්‍රමාණය සහ ලබා දෙන දීමනා ප්‍රමාණයක් ද විවිධ රජයන් යටතේ විවිධ වෙනස්කම්වලට ලක්විය.
ජනසවිය ආරම්භ වූයේ පවතින රාජ්‍ය යාන්ත්‍රණයම යොදා ගනිමින් ඒ සඳහා කිසිදු නව බඳවා ගැනීමකින් තොරව එය ක්‍රියාත්මක කිරීම තුළිනි. එසේ වුව ද එය සමෘද්ධිය බවට පත් වීමෙන් පසු සෑම ග්‍රාම සේවා වසමකින්ම සමෘද්ධි නිලධාරියකු තෝරා ගෙන ඔහුගේ සම්බන්ධීකරණය යටතේ එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලදී. එසේම ඒ සඳහා වූ ආයතනික ව්‍යූහයක් ද ඇති කරන ලදී. යම් යම් වෙනස්කම්වලට ලක් වුව ද එම යාන්ත්‍රණය සහ එම ආයතන උපයෝගී කර ගනිමින් දුගීභාවය පිටුදැකීම සඳහා වූ වැඩසටහන අඛණ්ඩවම ක්‍රියාත්මක කරන ලදී.
වසර 35ක්ම දුගීභාවය පිටුදැකීම සඳහා වූ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක වීමෙන් පසුව ඒ පිළිබඳව බොහෝ ගැටලු මෙන්ම ප්‍රශ්න කිරීම් ද ඇති වූ බව පෙනී යයි. සංඛ්‍යා ලේඛන අනුව රටේ දුගීබව පහළ වැටී තිබුණ ද, ඒ හා සාපේක්ෂව ප්රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව අඩු නොවී එම ප්‍රමාණය ඉහළ ගියේ කෙසේ ද යන ප්රශ්නය පැන නැගේ. විවිධ ආණ්ඩු දේශපාලනය මුල් කර ගෙන ප්‍රතිලාභීන් තෝරා ගන්නා බවට ද, සැබැවින්ම ඒ සඳහා සුදුසුකම් නොලබන අතිවිශාල පිරිකට ඒවා ලැබෙන බවට ද චෝදනා නැගුණි. සමෘද්ධි ව්‍යාපාරය සෘජුවම දේශපාලන ව්‍යාපාරයක් බවට පත් කර ගෙන ඇති බවට ද, එම හේතුව නිසා එය දුගීබව පිටු දැකීෙම වැඩසටහනකට වඩා දේශපාලන ප්රචර්ධන ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වන බව ද සමහර අංශ විසින් පෙන්වා දෙනු ලැබීය.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සමෘද්ධි නිලධාරීන් යොදා ගැනීම හේතුවෙන් එය දේශපාලන ව්‍යාපාරයක් බවට ද චෝදනා නැගුණි. එයට පිළියමක් ලෙස 2023 වසරින් පසුව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය මුදල් අමාත්‍යාංශය යටතේ පිහිටුවනු ලැබීය. ප්රතිලාභ සඳහා පුද්ගලයන් තෝරා ගැනීමේ සම්පූර්ණ වගකීම එයට පැවරූ අතර එහිදී සමෘද්ධි නිලධාරීන්ට ඒ පිළිබඳව පැවැරී තිබූ වගකීම ඔවුන්ගෙන් ඉවත් කළේය. ප්රතිලාභ සෘජුවම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුමට යැවීම ආරම්භ කළ අතර ප්‍රතිලාභීන්ට බලපෑම් කිරීමට සමෘද්ධි නිලධාරීන්ට ලැබී තිබූ හැකියාව අඩපණ වී ගියේය. මේ ආකාරයට එය දේශපාලන ව්‍යාපාරයක් ලෙස යොදා ගැනීමට තිබූ ඉඩකඩ විශාල ලෙස අඩු කළේය.
කොරෝනා ව්‍යසනය සහ ඉන් අනතුරුව ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාව විසින් දුගීභාවය පිටු දැකීම සම්බන්ධයෙන් ලබා ගෙන තිබූ ප්‍රගතිය සම්පූර්ණයෙන්ම විනාශ වී ගිය බව පෙනේ. 2022 වසරේ ශ්‍රී ලංකාවේ දරිද්‍රතා අනුපාතය සියයට 25ක මට්ටමකට වඩා ඉහළ ගිය අතර එය මෑතක දී දරිද්‍රතාව ඉහළම තත්වයකට පත් වූ අවස්ථාව ලෙස සැලකිය හැකිය. කොවිඩ් සහ ආර්ථික අර්බුදය හේතුවෙන් දෛනික රැකියා සහ ස්වයං රැකියාවල නිරත වී සිටි බොහෝ පිරිසකට ආදායම් මාර්ග අහිමි විය. එහි ප්‍රතිඵලය වූයේ ඉහත සඳහන් ආකාරයට රටේ දරිද්‍රතා මට්ටම විශාල ලෙස ඉහළ යාමයි. ඒ පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ද අවධානය යොමු වූ අතර රජයේ අයවැය ලේඛනය මගින් දරිද්‍රතාව පිටුදැකීම සඳහා ප්‍රතිපාදන ලබාදීම පිළිබඳව සිය එකඟතාව පළ කළේය. ඒ අතරම එම අරමුදල විසින් ලබා දෙනු ලබන විස්තීරණ ණය ක්‍රමය යටතේ ඒ සඳහා අරමුදල් දීමට ද එකඟ විය. අතිවිශාල පවුල් සංඛ්‍යාවකට අඛණ්ඩවම අස්වැසුම ප්රතිලාභ ලබාදීමට හැකිව තිබෙන්නේ එම එකඟතා හේතුවෙනි.
ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ඇති කරගත් ගිවිසුම අනුව අස්වැසුම ප්රතිලාභ අනිවාර්යෙන්ම ඉලක්ක ගත කණ්ඩායම්වලට පමණක් ලැබෙන ලෙස තෝරා ගැනීමේ ක්‍රම විධිමත් කළයුතු විය. වාර්ෂිකව සිදු කරන සමාලෝචන ඔස්සේ තෝරා ගැනීමට සුදුසුකම් ලබන පිරිස අඩු කිරීමට සිදුව ඇත්තේ එවැනි හේතු නිසාය. කෙසේ වුව ද මෙවර ප්‍රකාශයට පත් කර ඇති සංඛ්‍යා ලේඛන අනුව පෙනී යන්නේ අවසානයේ දී පවුල් ලක්ෂ හතකට ආසන්න ප්‍රමාණයක් අස්වැසුම ප්රතිලාභ ක්‍රමයෙන් ඉවත් කිරීමය. දිගු කලක් ප්රතිලාභ ලැබූ පිරිස් ඉන් ඉවත් කිරීමෙන් දේශපාලන වශයෙන් අවාසිදායක තත්වයකට මුහුණ දීමට ආණ්ඩුවට සිදුවේ. එසේ වුව ද කනගාටුදායක කරුණ වන්නේ අතිවිශාල පිරිසක් මේ ආකාරයට අස්වැසුමෙන් ඉවත් කිරීමට සිදුවන නමුත් එම පිරිස්වලට වෙනත් ආදායම් මාර්ගයක් හෝ යැපුම් මාර්ගයක් සහතික කිරීම පිළිබඳව හෝ ඊට අදාළ ආයතන පසුගිය කාලය තුළම ක්‍රියාත්මක නොවීමයි.
දරිද්‍රතාව අද වනවිට රටේ ප්‍රධාන ආර්ථික ගැටලුවකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද ඒ බව පිළිගෙන තිබේ. විස්තීර්ණ ණය ගිවිසුම අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආණ්ඩුවට පැන වූ ප්‍රධාන කොන්දේසියක් වන්නේ රජයේ වියදම් දැඩි ලෙස සීමා කළ යුතු බවය. කෙසේ වුව ද දරිද්‍රතාව පිටුදැකීම සඳහා වූ වියදම් පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එවැනි සීමා පනවා නැත. ඊට හේතුව කොවිඩ් සහ ආර්ථික අර්බුදයෙන් පසු එය උග්‍ර තත්වයකට පත්ව ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිගෙන තිබීමත්, එය වහාම විසඳිය යුතු ප්‍රශ්නයක් බව හඳුනා ගෙන තිබීමත් ය.
අස්වැසුම ප්රතිලාභ මගින් රටේ දරිද්‍රතාව පිටුදැකිය හැකි වන්නේ එම ප්රතිලාභ ලබන කාලය තුළ ප්‍රතිලාභීන් ශක්තිමත් කිරීම මගිනි. ප්රතිලාභ කාලය අවසන් වනවිට ස්වශක්තිය මත කටයුතු කිරීමේ හැකියාව වර්ධනය කළ යුතුව ඇත. එහෙත් පසුගිය කාලය තුළ සමෘද්ධියට හෝ අස්වැසුමට හෝ සම්බන්ධ රජයේ ආයතන පද්ධතිය නිරීක්ෂණය කිරීමේ දී පැහැදිලි වන්නේ ඒ සම්බන්ධ කිසිදු වැඩපිළිවෙළක් ආණ්ඩුව මගින් ක්‍රියාත්මක නොවන බවය. එවැනි තත්වයක් තුළ කිසිදු අනාගත සැලැස්මකින් තොරව ප්‍රතිලාභීන් ඉවත් කිරීමෙන් රටේ දරිද්‍රතා මට්ටමේ පහළ යාමක් අපේක්ෂා කළ නොහැකි තත්වයක් ඇතිවේ. මේ පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමු කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් වේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ
මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd