එක්සත් ජනපදයේ පැවැති ඓතිහාසික මධ්‍යවාර මැතිවරණය, හුදෙක් ඇමෙරිකානු අභ්‍යන්තර දේශපාලන ගමන්මඟේ සුවිශේෂී පරිවර්තනයක් පමණක් නොවේ. එය ජනාධිපති ට්‍රම්ප් පරිපාලනය විසින් මුල පුරන ලද ඉරාන ඉස්ලාමීය ජනරජයට එරෙහි යුද්ධය හමුවේ, ඇමෙරිකානු ජනතාව ලබා දුන් තීරණාත්මක තීන්දුවක මනා විවරණයකි.

එක්සත් ජනපද ඩිමොක්‍රටික් පක්ෂය මධ්‍යවාර මැතිවරණයෙන් ලබාගත් මෙම ”‍නිල් රළ”‍ (Blue wave ) ජයග්‍රහණය, ලොව පුරා වෙළෙඳ හවුල්කරුවන්, උපායමාර්ගික මිත්‍ර පාක්ෂිකයන් සහ ප්‍රතිවාදීන් යන සියලු‍ දෙනා කෙරෙහිම දැනටමත් දැවැන්ත බලපෑමක් එල්ල කරමින් තිබේ.

 

 ඉරානය සහ ඊශ්‍රායලය හමුවේ වෙනස් වන යුද වාතාවරණය 

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොංග්‍රස් මණ්ඩලයේ බලය අහිමි වීම, මාස අටක් තිස්සේ ඇදෙමින් පවතින ඉරාන සංග්‍රාමයේ ඉදිරි ගමන කෙලෙස සකස් කරනු ඇත්දැයි වහාම පැහැදිලි නැත. අධික ලෙස ඉහළ ගිය ඉන්ධන මිලට වගකිව යුතු බවට බොහෝ දෙනා චෝදනා කරන මෙම ගැටුම සම්බන්ධයෙන් ඇමෙරිකානු ඡන්දදායකයන් සිටින්නේ දැඩි ලෙස වෙහෙසට පත්වය. ගල්ෆ් රාජ්‍යයන්ගේ සිතීම පිළිබඳ දන්නා ආරංචි මාර්ග පවසන්නේ, ට්‍රම්ප්ට සාම ගිවිසුමකට එළඹීමට වෙන කවරදාටත් වඩා හේතු ඇති බවත්, මධ්‍යවාර මැතිවරණයෙන් පසුව ඉරානයට එරෙහිව තවත් පූර්ණ පරිමාණයේ ප්‍රහාරයක් එල්ල වීමේ ඉඩකඩ අඩු බවත් ගල්ෆ් ආණ්ඩු විශ්වාස කරන බවයි.

නමුත් ට්‍රම්ප් ලැබූ මෙම මැතිවරණ පරාජය ඉරානය වඩාත් උත්තේජනය කිරීමට ද හේතු විය හැක. ”‍ටෙහෙරානය විසින් ට්‍රම්ප්ට ගිවිසුමක් අවශ්‍ය බව වටහා ගන්නේ නම්, යුද්ධය අවසන් කිරීම සඳහා සැබෑ අවස්ථාවක් මතුවිය හැකිය,”‍ යැයි එමිරේට්ස් ප්‍රතිපත්ති මධ්‍යස්ථානයේ එබ්තෙසම් අල්-කෙට්බි පවසයි. කෙසේ වෙතත්, මෙම ඡන්ද ප්‍රතිඵලය ඇමෙරිකාවේ දුර්වලකමක් ලෙස වටහා ගැනීමෙන් ”‍නව හමුදාමය උත්සන්න වීමකට”‍ මඟ පාදනු ඇතැයි ද ඇය පෙන්වා දෙන්නීය.

ඉරාන ප්‍රධාන සාකච්ඡා පාර්ශ්වයන් ඇමෙරිකාව සමඟ පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත්තේ, ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පරාජය තුළින් ඇමෙරිකානුවන් යුද්ධය ප්‍රතික්ෂේප කර ඇති බව මැනවින් ප්‍රදර්ශනය වන බවයි. ඉරාන උත්තරීතර නායක මොජ්තාබා කාමේනිගේ උපදේශක මොහොමද් මොක්හ්බාර් සඳහන් කර ඇත්තේ, මෙම මැතිවරණ ප්‍රතිඵලය ජනාධිපති ට්‍රම්ප්ට තමාගේම ජනතාව වෙතින් එල්ල වූ පහරක් බවයි. කෙසේ වෙතත්, රිපබ්ලිකන් පක්ෂයේ පරාජයෙන් පසුව වුවද ඉරානය වෙත පැවැති ඇමෙරිකානු යුදමය එළඹුමේ කැපී පෙනෙන වෙනසක් තමන් බලාපොරොත්තු නොවන බව ඉරාන උත්තරීතර නායකයාගේ ස්ථාවරය වී තිබේ. කොංග්‍රස් මණ්ඩලයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් සභාවේ බලය ඩිමොක්‍රටිකයන් දිනාගැනීමෙන් අනතුරුව ඉරානයෙන් මෙවැනි ප්‍රකාශ නිකුත් වීම විශේෂ අවධානයට ලක්ව ඇත.

ඊශ්‍රායලය සම්බන්ධයෙන් ගත් කල, ඩිමොක්‍රටික් පක්ෂය සතු කොංග්‍රස් මණ්ඩලයක් මඟින් ඉරානයේ මෙන්ම ගාසා සහ ලෙබනනයේ ඊශ්‍රායල හමුදා මෙහෙයුම් පිළිබඳ කොංග්‍රස් පරීක්ෂාව දැඩි කළ හැකි අතර, හමුදා ආධාර සහ ආයුධ අලෙවිය හරහා ඊශ්‍රායලයට ලැබෙන දීර්ඝකාලීන ඇමෙරිකානු සහයට ද තර්ජනයක් එල්ල විය හැකිය. පසුගිය සතියේ පැවැති අස්ථිර ඊශ්‍රායල මැතිවරණයෙන් පසුව සභාගයක් ගොඩනැඟීමට උත්සාහ කරන අගමැති බෙන්ජමින් නෙතන්යාහු ධුරයෙන් පහ කිරීමට වෙහෙසෙන ප්‍රතිවාදීන්, ඔහුගේ පාලනය යටතේ ද්විපාර්ශ්වික ඇමෙරිකානු සහය අහිමි වීම සම්බන්ධයෙන් ඔහුට දෝෂාරෝපණය කිරීමට ඩිමොක්‍රටිකයන්ගේ ජයග්‍රහණ ප්‍රයෝජනයට ගෙන ඇත.

 

 යුක්‍රේන අර්බුදය සහ ඇමෙරිකානු ආධාර  

කොංග්‍රස් මණ්ඩලයේ මන්ත්‍රී මණ්ඩල දෙකෙහිම බලය හිමිවීම නිසා ඩිමොක්‍රටිකයන්ට යුක්‍රේනයට නව ආධාර යෝජනා කිරීමට අවස්ථාව ලැබේ. ඔවුන්ට රිපබ්ලිකානුවන්ගෙන් ප්‍රමාණවත් සහයක් ලැබී තුනෙන් දෙකක බහුතරයක් ලබාගත හොත්, නව ආධාර පැකේජයක් ට්‍රම්ප්ගේ වීටෝ බලයට යට නොවී පවතිනු ඇත. කෙසේ වෙතත්, එක්සත් ජනපද ආධාරවල කිසියම් වර්ධනයක් ඉක්මනින් සිදුවීමට ඉඩක් නැති අතර, එය යුක්‍රේනයේ වඩාත්ම හදිසි අවශ්‍යතාව වන “ මෙම ශීත ඍතුවේදී එහි බලශක්ති යටිතල පහසුකම් සහ නගර ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය ඇමෙරිකානු නිෂ්පාදිත පැට්‍රියට් ගුවන් ආරක්ෂක මිසයිල හිඟයට වහාම විසඳුමක් නොවනු ඇත.

ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් මන්ත්‍රීවරුන්ගේ පුළුල් සහයෝගය තිබියදීත්, රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් කරන යුක්‍රේනයට ලබා දෙන සෘජු මූල්‍ය සහ හමුදාමය ආධාර ට්‍රම්ප් විසින් විශාල වශයෙන් අත්හිටුවා තිබිණි. රුසියානු ඩීසල් සහ බලශක්තිය සඳහා වූ සම්බාධක ඉවත් කිරීම මඟින් ඔහු බොහෝ කොංග්‍රස් සාමාජිකයන් කෝපයට පත් කර ඇත. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ විදේශ කටයුතු කමිටුවේ ප්‍රධානියා වීමට අපේක්ෂකයෙකු වන ඩිමොක්‍රටික් නියෝජිත ග්‍රෙගරි මීක්ස්, රුසියානු ඩීසල් නැවත ගෝලීය වෙළෙඳපොළට ගෙන ඒමේ ට්‍රම්ප්ගේ සැලැස්ම වැළැක්වීම සඳහා පනතක් ඉදිරිපත් කර තිබේ. එහෙත්, රුසියාව සමඟ පැවැත්වෙන ත්‍රෛපාර්ශ්වික සාම සාකච්ඡාවල ට්‍රම්ප් පරිපාලනයේ ස්ථාවරය වෙනස් වීමට ඉඩක් නැති බවත්, මොස්කව් සමඟ ඇමෙරිකානු ආයෝජකයන්ට වාසිදායක ව්‍යාපාරික ගිවිසුම් සාකච්ඡා කරන අතරතුර යුක්‍රේනයට ලිහිල් කිරීම් සඳහා බලපෑම් කෙරෙන බවත් පෙනේ. ක්‍රෙම්ලිනය පැවසුවේ ට්‍රම්ප්ගේ ”‍සාමය ඇති කිරීමේ ප්‍රයත්නයන්ට”‍ මැතිවරණ ප්‍රතිඵල බලපෑමක් නොකරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

 ඉන්ධන මිල සහ ගෝලීය වෙළෙඳ බාධාවන්  

ඉරාන යුද්ධය නිසා ගල්ෆ් කලාපයෙන් බොරතෙල් සහ ද්‍රවීකරණය කළ ස්වාභාවික වායු සැපයුම අඩාල වී ඇති අතර, එමඟින් ලොව පුරා බොරතෙල් පිරිවැය සහ ඉන්ධන පම්ප්වල මිල ඉහළ ගොස් තිබේ. බලශක්ති වෙළෙඳපොළ විශ්වාස කරන්නේ මෙම මැතිවරණය මඟින් එක්සත් ජනපද-ඉරාන සාම සාකච්ඡාවලට වැඩි පණක් ලැබෙනු ඇති බවයි. ”‍ජනාධිපති ට්‍රම්ප්ට මැදපෙරදිග යුද්ධය අවසන් කිරීමට අවශ්‍ය බවට වන ඔට්ටු ඇල්ලීම වෙළෙඳපොළ තුළ වැඩි වැඩියෙන් පෙනෙන්නට තිබේ,”‍ යැයි සැක්සෝ බැංකුවේ විශ්ලේෂක ඕලේ හැන්සන් පවසයි.

තීරුබදු වැළැක්වීම සඳහා ආසියාවේ සමහර රටවල් ලබා දුන් ආයෝජන පොරොන්දු ප්‍රමාද කිරීමට මෙම මැතිවරණය මඟින් වැඩි හේතු ලැබිය හැකි අතර, දැනට පැවැත්වෙන වෙළෙඳ සාකච්ඡාවලදී ආර්ථික ප්‍රතිවාදියා වන චීනයට ඉහළ වාසියක් අත්කර දෙනු ඇති බව විශ්ලේෂකයෝ පවසති. කෙසේ වෙතත්, සමස්ත ඇමෙරිකා-චීන ආර්ථික සබඳතා ”‍බිදෙනසුලු‍ ස්ථාවරත්වයක”‍ පවතිනු ඇතැයි බීජිංහි ද ඉකොනොමිස්ට් ඉන්ටෙලිජන්ස් යුනිට් හි කාර්මික ප්‍රතිපත්ති විශ්ලේෂක චිම් ලී පෙන්වා දෙයි.

ට්‍රම්ප්ගේ මැතිවරණ පරාජය, නවදෙල්ලිය තම ගොවීන් ආරක්ෂා කිරීමට වෙහෙසෙන පසුබිමක ප්‍රමාදයන්ට මුහුණ දී ඇති ඇමෙරිකාව සමඟ වෙළෙඳ ගිවිසුමක් සඳහා ඉන්දියාව යොමුව ඇති සාකච්ඡාවලට සහනයක් විය හැකිය. “හිතුමනාපේ තීරුබදු පැනවීමට ජනාධිපති ට්‍රම්ප්ට ඇති හැකියාව සපථ ලෙසම අභියෝගයට ලක්වනු ඇත. යම් අවස්ථාවකදී වෙළෙඳ ක්‍රියාමාර්ග සඳහා ඔහුට කොංග්‍රසයේ අනුමැතිය අවශ්‍ය වන අතර, ඒ මට්ටමින් ඔහු දුර්වල වී ඇත,”‍ යැයි ඉන්දියානු මධ්‍යම රජයේ හිටපු වෙළෙඳ ලේකම් අනුප් වධාවාන් පවසයි. කොංග්‍රස් මණ්ඩලයට බදු නියම කිරීමට අයිතියක් තිබුණද, ජාතික ආරක්ෂාව පෙන්වා තීරුබදු පැනවීමට ට්‍රම්ප් නීතිවලින් ප්‍රයෝජන ගෙන ඇති අතර, එම බලය සීමා කිරීමට ඩිමොක්‍රටිකයන් දරන උත්සාහයන් ජනාධිපති වීටෝ බලයකට මුහුණ දීමට ඉඩ ඇත.

තවත් ප්‍රශ්නයක් වන්නේ ඇමෙරිකානු ටෙක් යෝධයන්ට ඩිජිටල් සේවා බද්දක් පනවන යුරෝපීය රටවලට 100% ක තීරුබද්දක් පැනවීම වැනි ක්ෂණික තර්ජන ට්‍රම්ප් ඉදිරියට ගෙන යනු ඇත්ද, නැතහොත් යුරෝපීය ආයෝජන බැංකුවෙන් එයාර්බස්  වෙත ලබා දෙන ယူරෝ බිලියන 3 ක ණය මුදල අත්ලාන්තික් සාගර හරහා වූ  වෙළෙඳ සන්ධියට හානි කරනු ඇත්ද යන්නයි.

 

  බලහත්කාරය වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදයේ පාඩම  

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ස්වකීය දෙවන ධුර කාලයේ පටන්ම වෙනිසියුලාවෙන් ආරම්භ කර ඉරානය දක්වා විහිදී ගිය පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ  උපායමාර්ගික ප්‍රවේශයක නිරත විය. එහෙත්, අවසානයේදී එම උග්‍ර යුදමය හා ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ග හේතුවෙන්ම මධ්‍යවාර මැතිවරණයේදී ස්වකීය රිපබ්ලිකන් පක්ෂයේ ජයග්‍රහණය අහිමි වීමට බලපෑවේය. බලය, බලහත්කාරය සහ පීඩනය යනු රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ පෙරගමන්කරු නොවිය යුතු බවත්, ජනතාව සැමවිටම අපේක්ෂා කරන්නේ සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම බවත් මෙම මැතිවරණ ප්‍රතිඵලය විසින් මුළු ලෝකයටම නැවත වරක් ඒත්තු ගන්වා ඇත.

දුෂාන්ති සිල්වා ( I J)