• “මගේ 25 වසරක සේවා කාලය තුළ කොළඹින් පිට සේවය කරන්න පළමු වතාවට ආවේ ඌවට”
  • “මම රාජකාරි ජිවිතේ අත්විඳපු ලොකු අභියෝගයන්ට මුහුණ දුන්නේ බදුල්ල යට කරන් දිට්වා ආපු වෙලාවේ”  
  • “ගැහැනියකට සීමාවන් පැනවිය නොහැක. ඇයට අවශ්‍ය වන්නේ පියාපත් විදහාලීමට නිදහස් අහසක් පමණි.”‍ 

එම ප්‍රකාශය ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්වූ තැනැත්තියක ලෙස ශ්‍රී ලාංකීය පරිපාලන ක්ෂේත්‍රයේ නම රැන්දූ අනුෂා ගෝකුල ප්‍රනාන්දු නම් කළ හැකිය. 

ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හුදෙක් ලිපිගොනු සහ අත්සන්වලට පමණක් සීමා වූ නිලධාරිනියක නොවූවාය. ඇය පරිපාලන ක්ෂේත්‍රය උඩුයටිකුරු කළ, කලාව සහ මානව දයාව එකට මුසු කළ අපූරු පෞරුෂයකි. එපමණක් නොව රාජ්‍ය සේවයේ නිලධාරිවාදී රාමුවෙන් ඔබ්බට ගොස්, මනුෂ්‍යත්වයේ සුවඳ රටට බෙදා දුන් සැබෑ මානව හිතවාදිනියකි.

ඇය, ආදරණීය දියණියක, බිරියක, මවක යන පෞද්ගලික භූමිකාවන් මෙන්ම කාර්යක්ෂම රාජ්‍ය සේවිකාවක සහ සමාජ සේවිකාවක යන භූමිකාවලට ද සාර්ථකව පණ පොවන්නියකි. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ සුවිශේෂී සලකුණක් තැබූ ඇය, වර්තමාන ඌව පළාත් ප්‍රධාන ලේකම්වරියයි.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන අනුෂා‌ ගෝකුල ප්‍රනාන්දු ඌවේ ප්‍රධාන ලේකම් තනතුරට පැමිණ මේ වන විට වසරක කාලයක් ගෙවී ගොස් ඇත. ඌව වෙල්ලස්ස ගොඩනැඟීමට සිය උපරිම දායකත්වය ලබා දෙන ඇය, ඌවේ රාජ්‍ය සේවකයන්ගේ නායිකාව පමණක් නොව මහජනතාවගේ ද මවකි; සහෝදරියකි; මිතුරියකි; එමෙන්ම උපදේශකවරියකි.

1970 මාර්තු 12 වැනි දින කුරුණෑගල ඇතුගල්පුරවරයේ, මතව කොහලගෙදර ග්‍රාමයේ උපත ලද අනුෂා ගෝකුල මහත්මිය දරුවන් තිදෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමහල් දියණිය වූවාය. තිලගම මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබන ඇය පින්නවල මධ්‍යම මහා විද්‍යාලයට ඇතුළත් වන්නේ ශිෂ්‍යත්ව කඩඉමෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබමිනි.

ජීව විද්‍යා අංශයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමු වන ඇය ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් වන්නේ 2000 වසරේදීය. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ඇතුළු අධ්‍යාපනික ආයතන රැසකින් උසස් උපාධි, ඩිප්ලෝමා හා ශාස්ත්‍රීය සුදුසුකම් ලබාගෙන ඇති ඇය, ලෝකයේ රටවල් කිහිපයකින්ම විශේෂ පුහුණු විෂය දැනුම ද ලබා ඇත. ලෝකයේ රටවල් තිහකට වැඩි ප්‍රමාණයක දේශකවරියක් සහ පුහුණු උපදේශිකාවක් ලෙස සම්පත් දායකත්වය ලබා දෙන ඇය, මේ දක්වා රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා හා ආයතන රැසක ප්‍රධාන තනතුරු ගණනාවක් දැරූ පරිණත කළමනාකාරවරියකි.

“අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු. ඒ නිසා ඒ දෙන්නට දුෂ්කර පළාත්වලට යන්න වුණා. මවුපියන්ගේ වෘත්තිය නිසා මගේ කුඩා කාලය ගත වුණේ මැදවච්චිය, පූනෑව, අනුරාධපුරය වගේ ප්‍රදේශවල. ඒ නිසා මගේ කුඩා කාලයේදී අත්දැකීම් ගොඩක් මගේ ජීවිතේට එකතු වුණා. මගේ කුඩා කාලේ පටන්ම මට තිබුණේ විසිරුණු සිතුවිලි. ඒ අතර වෛද්‍යවරියක්, ලේඛිකාවක්, ගුරුවරියක් වෙන්න වගේම මාධ්‍යවල වැඩ කරන්නත් විවිධ කාලවල ආසාවන් ඇති වුණා. තාත්තා ගොඩක් දේවල් ලියන කියන කෙනෙක් නිසා මම ලේඛන කලාවටත් පෙම් බැන්දා. මගේ තාත්තා රජරට සේවයේ වැඩ කළා. ඒ ආභාසය නිසා මටත් මාධ්‍යවල වැඩ කිරීමට ආසාවක් හිතේ තිබුණා. පසු කාලයේදී පර්‌යේෂිකාවක් වෙන්නත් පුදුම ආසාවක් ඇති වුණා. මේ වගේ විසිරුණු ආසාවල් තිබුණත් පුදුමය කියන්නේ, ආපස්සට හැරිලා බලනකොට මම මේ බොහෝ භූමිකාවන්වල කටයුතු කිරීමට තරම් වාසනාවන්ත වෙලා තියෙනවා. පුද්ගලයෙක් ගොඩනැගෙන්නේ ආරය සහ පරිසරය නිසා. ආරය කියන්නේ පරම්පරාවෙන් ජානගතව ලැබෙන දේ. පරිසරය කියන්නේ මව්කුසෙන් පටන් ගත්තාම හැම තැනකදීම අපට බලපාන දෙයක්. ජීවත් වුණු හැම පරිසරයකින්ම මම බොහෝ පාඩම් ඉගෙන ගෙන තිබෙනවා.”‍

රාජ්‍ය නිලධාරියෙකු සතු විය යුතු ප්‍රධානතම ගුණය වන ”‍මහජනතාවට සවන්දීම”‍ ඇය සිය වෘත්තිය තුළ මනාව ප්‍රායෝගිකව ඔප්පු කර ඇත. අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු ප්‍රධානියකු ලෙස ඇය ගත් මානුෂීය තීරණ, මෙරට සාමාන්‍ය ජනතාවගේ ජීවිත සෘජුවම ස්පර්ශ කළේය. පරිපාලනයේ පවතින නීතිරීති මිනිසාගේ යහපත උදෙසා මිස, මිනිසා පීඩාවට පත් කිරීමට නොවන බව ඇය නිරන්තරයෙන් විශ්වාස කළාය.

විශේෂයෙන්ම, වර්තමාන සමාජයේ අතරමං වී සිටින දරුවන්, තරුණ පිරිස් සහ මවුපියන් වෙනුවෙන් ඇය ඉටු කරන මෙහෙවර අතිමහත්ය. දරුවන්ගේ මානසිකත්වය, නිවැරදි ළමා මනෝවිද්‍යාව සහ ධනාත්මක චින්තනය පිළිබඳව ඇය පවත්වන දේශන දහස් සංඛ්‍යාත පිරිසකගේ ජීවිත ආලෝකවත් කර ඇත.

“මට තිබුණු අභියෝගය තමයි මේ මිනිසුන්ගේ හිත් හදන්නේ කොහොමද කියන එක. සියල්ලම නැතිවෙලා හිටපු මේ අයගේ මූණට හිනාවක් ගේන එක ලේසි නැහැ. මම පෞද්ගලිකව ගොඩක් දෙනාගේ හිත හදාගන්න මාර්ග පෙන්නුවා. ඒ අයගේ දුක, වේදනාව අහගෙන හිටියා. කලාකරුවන් විශාල පිරිසක් බදුල්ලට ගෙන්වලා අවතැන් ජනතාවගේ මානසික සතුට වෙනුවෙන් වැඩසටහන් සැලසුම් කළා. දිවයිනේ සතර දෙසින් බදුල්ලට පැමිණ සහන සැලසීමට කටයුතු කළ සියලු‍ දෙනාටම මම නිරන්තරයෙන් පිං දෙනවා.”‍

 

රාජ්‍ය සේවය තුළ ඇය මේ වන විට ජාතික මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ග්‍රාමීය සංවර්ධන පුහුණු හා පර්‌යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ වැඩබලන අධ්‍යක්ෂ, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති, ධීවර අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් මෙන්ම බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ආදී ප්‍රධාන තනතුරු රාශියක් දරා ඇත.

පරිපාලනය යනු හුදෙක් ලිපිගොනු සහ නීතිරීති මත පදනම් වූ වියළි විෂයයක් ලෙස දකින සමාජයක, එය මානුෂීයත්වයෙන් සහ කලාවෙන් ඔපවත් කළ හැකි බව ප්‍රායෝගිකව පෙන්වා දුන් පරමාදර්ශී රාජ්‍ය නිලධාරිනියක වන ඇය, නිදහස් ලේඛිකාවක, උපදේශකවරියක සහ කථිකාචාර්යවරියක ද වෙයි. මේ වන විට ඇය ග්‍රන්ථ 45කට වැඩි ගණනක කතුවරියකි.

Q වසර 25ක පරිපාලන සේවයේ අත්දැකීම් සමග ඌව පළාත ඔබට දැනුණේ කොහොම ද?

“අපි මුලින්ම අවුරුද්දක පමණ කාලයක් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පුහුණුව ලැබුවා. 2001-2004 වන තෙක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ආයතන අංශයේ සහකාර අධ්‍යක්ෂවරියක් ලෙස වැඩ කළා. ඉන්පසුව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරිය ලෙස කටයුතු කළා. ග්‍රාම සංවර්ධන පර්‌යේෂණ හා පුහුණු ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ වැඩබලන අධ්‍යක්ෂ ලෙස කටයුතු කිරීමටත් අවස්ථාව ලැබුණා. ආයතන ප්‍රධානියෙක් ලෙස මම මුල්වරට කටයුතු කරන්නේ බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ.”

“ඉන්පසුව සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය ලෙසින් පත් වුණේ එතෙක් පත් වූ ළාබාලම අධ්‍යක්ෂවරිය වෙමිනුයි. ළාබාලතම මෙන්ම පළමු කාන්තා සංස්කෘතික අධ්‍යක්ෂවරිය ලෙස සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ වසර 5ක් කටයුතු කළා. ජාතික චිත්‍රපට සංස්ථාවේ ද පළමු කාන්තා සභාපතිනිය වීමට මට හැකි වුණා. අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස පත්ව ඉතා කෙටි කාලයක් සේවය කිරීමෙන් අනතුරුව, මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළා. ධීවර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කරන අතරතුර බස්නාහිර පළාතේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් පුහුණු) ලෙස කටයුතු කිරීමට ආරාධනාවක් ලැබෙනවා. ඉන්පසුව බස්නාහිර පළාත් සභාවේ අධ්‍යාපන, සංස්කෘතික, කලා, ක්‍රීඩා, යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස කටයුතු කළා. එසේ කටයුතු කරමින් සිටින විට තමයි ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස අලු‍ත් තනතුර ලැබුණේ.”
“2025 අගෝස්තු 04 වැනිදා ඌවට පැමිණි මට දැන් මේ තනතුරේ වසරක් සම්පූර්ණ වී තිබෙනවා. වසර 25ක් පුරා මම රාජ්‍ය සේවයෙන් ලැබූ අත්දැකීම් උපයෝගි කරගෙන මෙහි වඩා හොඳ සේවාවක් ලබාදීම තමයි ඌවට එනකොට මගේ එකම අරමුණ වුණේ. ඌව පළාත කියන්නේ සම්පත් අතින් පොහොසත් පළාතක්. සිව්වැනි විශාලම පළාත වන මෙහි ව්‍යාපෘති සඳහා අවශ්‍ය ඉඩම් මෙන්ම සංචාරක කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය සම්පත් බොහෝ ප්‍රමාණයක් තිබෙනවා. මට අවශ්‍ය වුණේ මිනිසුන්ගේ ආකල්ප වෙනස් කිරීම මඟින් ආදරය, කරුණාව වැනි මිනිස් ගුණාංග වැඩිදියුණු කරන්නයි. එය මම දැන් සාර්ථකව කරගෙන යනවා.”

“මගේ 25 වසරක සේවා කාලය තුළ කොළඹින් පිට සේවය කිරීමට අවස්ථාවක් ලැබුණු පළමු අවස්ථාව මෙයයි. ඌවට මම ආවේ හරිම ආසාවෙන්. පළාත් සභාවක් කියන්නේ ප්‍රධාන අමාත්‍යාංශ 5ක් යටතේ ක්‍රියාත්මක වෙන ආයතනයක්. එහි ප්‍රධාන විෂයයන් ගත් විට, මධ්‍යම රජයට අයත් ආරක්ෂක, අධිකරණ වැනි අමාත්‍යාංශ සුළු ප්‍රමාණයක් හැර බොහෝ අමාත්‍යාංශ ප්‍රමාණයක් පළාත් සභාව සතුව තිබෙනවා. බස්නාහිර පළාතේ විවිධ ආයතන කිහිපයකම සේවය කර තිබුණත්, ඌව පළාත කියන්නේ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක් වගේම අභියෝගයක් වුණු තැනක්.”

“මගේ පවුලේ කිසිවෙක් නොමැතිව රාජකාරිය වෙනුවෙන්ම මම බදුල්ලට ආවා. ඇත්තම කියනවා නම් මෙහි තිබෙන රාජකාරි කරන්න දවසට පැය 24ත් මට මදි. මගේ රාජකාරි ජීවිතයේ හොඳම පිරිස හමුවුණේත් ඌව පළාතෙන්. මට තියෙන්නේ එකම එක බලාපොරොත්තුවයි. ඒ තමයි 2030 වෙද්දී ඌව පළාත ලංකාවේ පළාත් අතරින් ඉහළම තැනට ගෙන ඒම. ඒ වෙනුවෙන් දිවා රෑ නොබලා මම මගේ සහෝදර නිලධාරීන් සමඟ කටයුතු කරනවා.”‍

පරිපාලන නිලධාරියකුගේ සැබෑ පරීක්ෂණය සිදුවන්නේ සුඛෝපභෝගී කාර්යාල කාමර තුළ නොව, ජනතාව මහමඟ අසරණ වන ස්වාභාවික ව්‍යසනයකදීය. දිට්වා සුළිකුණාටුවෙන් සහ දරුණු නායයෑම්වලින් ඌව වෙල්ලස්ස කඳුකරය සෙලවෙද්දී, අනූෂා ගෝකුල මහත්මිය ක්‍රියා කළේ හුදෙක් ලේකම්වරියක ලෙස නොව, උතුම් මානුෂීය ගුණාංග පෙරදැරි කරගත් මවක් ලෙසිනි. දිවා රෑ නොබලා අවදානම් කලාපවල සිටි සිය ගණනක් මිනිස් ජීවිත බේරා ගැනීමට ඇය පෙරමුණ ගත්තා පමණක් නොව, ස්වාභාවික ආපදා තත්ත්වය නිසාවෙන් මවුපියන් අහිමි වූ දරුවන් ගණනාවකට ආදරණීය මවක් ද වූවාය. දිට්වා සුළි කුණාටුව අභියස දී ඇය ගත් කඩිනම් සහ මානුෂීය තීරණ, මිනිස් ජීවිත සිය ගණනක් බේරා ගැනීමට සෘජුවම දායක විය.

ඌව පළාතේ දරුවන්ගේ, තරුණයන්ගේ, කාන්තාවන්ගේ, වතුකරයේ හා අවදානම් ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ මෙන්ම ව්‍යවසායකයන්ගේ අභිවෘද්ධිය උදෙසා නිරන්තරයෙන් කැප වී කටයුතු කරන ඇය, බදුල්ල ගම්බද ජනතාවගේ ආර්ථික හා සමාජීය මට්ටම ඉහළ නැංවීමට දක්වන දායකත්වය ද අමතක කළ නොහැකිය.

Q රාජ්‍ය සේවයේ මෙතෙක් ලැබුණු අත්දැකීම් එක්ක, ජීවිතේ වැඩිපුරම අභියෝග සමුදායකට මුහුණ දෙන්න වුණේ ඌවෙන් කියා මා සිතනවා. ඒ ‘දිට්වා‘ ව්‍යසනය පැවති සමයේ නේද...?

“‘දිට්වා ව්‍යසනයට වසරක් පිරෙන්න තව තියෙන්නේ මාසයයි. එම ව්‍යසනයෙන් වැඩියෙන්ම ආපදාවට ලක්වුණු පළාත තමයි ඌව. 2025 නොවැම්බර් 26 රාත්‍රිය කියන්නේ මට මැරෙනකම් අමතක කරන්න බැරි රැයක්. නොනවතින වැස්සත් එක්ක බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් නායයෑම්වලට ලක් වුණා. ලු‍නුගල, පස්සර, බදුල්ල, සොරණාතොට, මීගහකිවුල, කන්දකැටිය, මහියංගනය, වැලිමඩ, ඌව පරණගම, හාලිඇළ මේ හැම ප්‍රදේශයක්ම ඇසිපිය ගහන පමාවට නාය ගියා. එක පැත්තකටවත් යන්න බැරි මට්ටමක් ආවා. එක දිහාවකින් නාය ගියා කියනකොට, තවත් දිහාවකින් නාය ගියා කියනවා. මගේ හිතට ආපු වේදනාව වචනවලින් කියලා නිම කරන්න බැහැ. මිනිස් ජීවිත 100ක් විතර අපට අහිමි වුණා. නායයෑම්වලට අහුවුණු අයගෙන් මළ සිරුරු සැලකිය යුතු ප්‍රමාණයක් හොයා ගත්තත්, තවමත් පස් යට මිහිදන් වුණු අය බොහෝ දෙනෙක් ඉන්නවා.”

“මට එදා ඕන වුණේ මගේ මිනිස්සු බේරගන්න. පස් කඳුවලට යට වූ අයව ගොඩගන්නත්, ජීවිත බේරුණු අයව ආරක්ෂිත තැන්වල රඳවන්නත් තමයි මට අවශ්‍ය වුණේ. ඒ වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම කරන්න මම අපේ නිලධාරීන්ට උපදෙස් දුන්නා. මගේ රාජකාරි ජීවිතයේදී මේ වගේ ව්‍යසනයකට මම කිසි දිනෙක මුහුණ දීලා නෑ. පළාත් සභාවට ආපදාවකදී පශ්චාත් කළමනාකරණ කාර්යයන් තමයි ව්‍යවස්ථාපිතව පැවරෙන්නේ. නමුත් අපි ඉන් එහාට ගිහින් සාමූහිකව දිසාපතිතුමා සමග එක්ව සියලු‍ම වැඩකටයුතුවලට සහයෝගය දුන්නා.”

“පළාත් සභාවට ආපදාවකදී ව්‍යවස්ථාපිත බලයක් නැති වුණත්, අපේ ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මැතිතුමා සහ දිස්ත්‍රික්කයේ දේශපාලන නායකත්වය ලබාදුන් සහයෝගයත් සමග පළාතේ අමාත්‍යාංශ ලේකම්වරුන්, ආයතන ප්‍රධානීන් සහ නිලධාරීන් එක්ව කටයුතු කළා. ඒ නිසා ඉතා කෙටි කාලයකදී ආපදාවන්ට ලක්ව සිටි ජනතාව මුදාගෙන ඔවුන්ට සහන සැලසීමටත්, අවහිරව තිබූ මාර්ග සියල්ල පිළිසකර කිරීමටත් අපට පුළුවන් වුණා.”

“දිස්ත්‍රික්කය පුරා මාස ගණනක් පවත්වාගෙන ගිය අවතැන් කඳවුරුවල ජනතාවට තුන්වේලම ආහාර සපයන්නත්, ඔවුන්ගේ සියලු‍ම අවශ්‍යතා ඉටුකරන්නත් පළාත් සභාවේ දායකත්වය උපරිමයෙන්ම ලබා දුන්නා. කිලෝමීටර් ගණන් මම පයින් ගියා අපේ මිනිස්සු බලන්න කඳවුරුවලට. ඒ වගේම මව පියා අහිමි වුණු අවතැන් දරුවන් 12 දෙනෙක් හිටියා. ඒ දරුවන්ව කඩිනමින් පරිවාසගත කරන්නත් මම කටයුතු කළා.”

“දිට්වා ව්‍යසනයේදී මගේ ජීවිතේ ඉතාම සංවේදී අවස්ථා කිහිපයක්ම තිබෙනවා. දිට්වා ඇවිත් දවස් තුනකට විතර පස්සේ මම මැටිගහතැන්න ගම්මානයට ගියා. එහෙම ගියේ ඒ ගම ගැන නිවැරදි තොරතුරක් ලැබුණේ නැති නිසයි. මම යනකොට එහේ ගෙයක් සම්පූර්ණයෙන්ම නාය ගිහින්. එතැන පොත් වගයක් තිබුණා. ගමේ අය කිව්වා පුතයි, අම්මයි, තාත්තයි විතරයි ගෙදර හිටියේ, දුව බදුල්ලේ හෙද පුහුණුවක් ලබනවා කියලා. අම්මයි තාත්තයි නායයෑමත් එක්කම ආපු වතුර පාරට ගහගෙන ගිහින්. මළ සිරුරු හොයාගන්නත් බැරි වෙලා. පුතා වතුරේ ගහගෙන ගිහින් ගහක එල්ලිලා තමයි බේරිලා තියෙන්නේ. ඉන්න තැනක් නැති නිසා පුතා, අක්කා නැවතිලා ඉන්න තැනට යන්න ඇති කියලා ගමේ අය කිව්වා. මම ඒ දරුවාව හොයාගෙන පහුවදාම බදුල්ලට ගියා. ගිහින් ඒ පුතාවයි අක්කාවයි මගේ නිල නිවාසයට එක්ක ඇවිත්, රජයෙන් ලැබෙන දීමනා ටික අරන් දීලා ඔවුන්ට පහසුකම් හදාගන්නකම් මාසයක් විතර මගේ ළඟ තියාගත්තා. පස්සේ ඒ පුතාව මම කොළඹ පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ඇතුළත් කළා. දැන් ඒ දරුවා උසස් අධ්‍යාපනය හදාරනවා.”

“විශේෂයෙන්ම අවතැන් කඳවුරුවලදී වැඩිවියට පත්වන ගැහැනු දරුවන් කීපදෙනෙක් හිටියා. ඒ දරුවන්ගේ හිත් සතුටින් තියන එක තමයි ලොකුම අභියෝගය වුණේ. පස්සේ පරිවාස කොමසාරිස්තුමිය සහ සමාජ සේවා අධ්‍යක්ෂතුමිය සමඟ එකතු වෙලා ඒ දරුවන්ගේ හිත සතුටු වෙන විදිහට චාරිත්‍ර වාරිත්‍ර කඳවුරුවලදීම සිදු කළා. ඒ වගේම මියගිය අයගේ ආගම් අනුව හත්දවස සහ තුන්මාසය දානමය පිංකම් පවත්වා පිං අනුමෝදන් කරන්නත් කටයුතු කළා.”

“දිවයිනේ ප්‍රදේශ රැසකින් පැමිණි ස්වේච්ඡා කණ්ඩායම්, රාජ්‍ය නිලධාරීන් සහ රාජ්‍ය නොවන සංවිධාන විශාල වශයෙන් බදුල්ලට ඇවිත් දිවා රෑ නොබලා ජනතාවට සහන සැලසීමටත්, ආපදාවන්ට ලක්වූ ප්‍රදේශ යථා තත්ත්වයට පත් කිරීමටත් ලොකු කැපකිරීමක් කළා. ආණ්ඩුකාරතුමා සහ දේශපාලන නායකත්වය සමඟ එක්ව ඔවුන්ගේ උපදෙස් මත පළාතේ රාජ්‍ය යාන්ත්‍රණය හැසිරවීමට මම කටයුතු කළා. මේ සැමගේම ශක්තියෙන් ඉතාම කෙටි කාලයකදී බදුල්ලේ අවතැන් වූ ජනතාවගේ ජනජීවිතය යථා තත්ත්වයට පත්කර ගන්න අපට හැකියාව ලැබුණා.”

“මට තිබුණු අභියෝගය තමයි මේ මිනිසුන්ගේ හිත් හදන්නේ කොහොමද කියන එක. සියල්ලම නැතිවෙලා හිටපු මේ අයගේ මූණට හිනාවක් ගේන එක ලේසි නැහැ. මම පෞද්ගලිකව ගොඩක් දෙනාගේ හිත හදාගන්න මාර්ග පෙන්නුවා. ඒ අයගේ දුක, වේදනාව අහගෙන හිටියා. කලාකරුවන් විශාල පිරිසක් බදුල්ලට ගෙන්වලා අවතැන් ජනතාවගේ මානසික සතුට වෙනුවෙන් වැඩසටහන් සැලසුම් කළා. දිවයිනේ සතර දෙසින් බදුල්ලට පැමිණ සහන සැලසීමට කටයුතු කළ සියලු‍ දෙනාටම මම නිරන්තරයෙන් පිං දෙනවා.”‍

Q මවගේ සහ බිරිඳගේ කාර්යභාරය ඇතුළේ ඔබ සාර්ථකයි ද?

“මට දරුවන් තුන්දෙනෙක් ඉන්නවා. දියණිය වෛද්‍යවරියක්. දෙවැනි පුතා විදේශගත වෙලා ඉන්නේ. බාල පුතා කෘත්‍රිම බුද්ධිය හා දත්ත විද්‍යාව පිළිබඳ විද්‍යාඥයෙක් ලෙස ලංකාවේ තිබෙන විදේශ ආයතනයක සේවය කරනවා. ඔවුන් තුන්දෙනා දැන් ලොකු වුණත් කුඩා අවධියේ සිටම මට ලොකු සහයෝගයක් ලබා දුන්නා. මගේ මහත්තයා ආනයන අපනයන ව්‍යාපාරයක් සිදු කරනවා. ඔහු මාව දැඩිව විශ්වාස කරනවා වගේම, මම කරන සේවාවන් ඔහුටත් සතුටක් ගෙන දුන්නා. දරුවන් වගේම මහත්තයත් ඉතාම අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම නිසා මට රැකියාවත් සමඟ පවුලේ කටයුතු සමබරව කරගෙන යාමට හැකියාව ලැබුණා.”

“මගේ මවුපියන් මට බොහෝ උදව් උපකාර කළා. ඒ වගේම එතෙක් මෙතෙක් නිවසේ සේවය කළ සේවා සහායිකාවන් පවා මට අවංකව කටයුතු කළ නිසා මගේ රැකියාවට කාලය යොදවන්න මට හැකි වුණා. මගේ ඥාතීන්, අසල්වැසියන් පවා යම් යම් අවස්ථාවලදී මට කළ උදව් උපකාර නිසා නිවසේ කටයුතුවලින් හිත නිදහස්ව රැකියාව කිරීමට මට අවස්ථාව සැලසුණා. මේ හැමදෙනාම මම සිහි කරන්නේ ඉතාමත් ආදරයෙන්.”‍

Q ජීවිතේට බොහෝ දේවල් ලැබුණු පරිපාලන ක්ෂේත්‍රයෙන් නික්මෙන දවසට ඔබට අරන් යන්න තියෙන්නේ මොනවාද?

“මම මේ අවුරුද්දට එකම පෞද්ගලික නිවාඩුවක්වත් නොගෙන දිනකට පැය 14 බැගින් රාජකාරි කරනවා. මම ඒක කරන්නේ මිනිස්සු වෙනුවෙන්; මහන්සිය නොබලා හරිම කැමැත්තෙන්. මම කවදාවත් රැකියාව වදයක් විදිහට දකින්නේ නෑ. මිනිස්සුන්ගේ මුහුණේ හිනාව තමයි මගේ එකම සතුට. මම තව වසර හතරකින් විශ්‍රාම යනවා. රාජකාරි ජීවිතයේදී මම බොහෝ මානව සම්පත් එකතු කරගෙන තිබෙනවා. විශ්‍රාම යන දවසට මට හරිම නිදහසෙන් එළියට බැහැලා යන්න පුළුවන්. මොකද මම මිනිස්සු වෙනුවෙන් මගේ රාජකාරිය අකුරටම කරලා තියෙන නිසා.”

“රාජකාරියේදී මිනිසුන්ගේ මුවගට සිනහවක් නඟන්න මට පුළුවන් වුණා නම්, අපි වයෝවෘද්ධ වුණාමත් සතුටින් ඉන්න පුළුවන් කියන විශ්වාසය මා තුළ තිබෙනවා.”‍

අනූෂා ගෝකුල ප්‍රනාන්දු යනු තනතුරුවලින් බැබළුණු චරිතයක් නොව, තමන් දැරූ තනතුරුවලට ආලෝකයක් දුන් නිලධාරිනියකි. රාජ්‍ය සේවය යනු හුදෙක් රැකියාවක් නොව, රටක් වෙනුවෙන් කරන පරිත්‍යාගයක් බව ඇයගේ වෘත්තීය ජීවිතය දෙස බලන ඕනෑම අයකුට වැටහේ. ඇය වැනි පරිපාලන නිලධාරිනියන් අනාගත ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයට ප්‍රවේශ වන නවකයන්ට මඟපෙන්වන නොනිවෙන පහන් ටැඹකි.

ලු‍ණුගල - ප්‍රසන්න පත්මසිරි