ශ්‍රී ලංකාවේ මේ දිනවල දක්නට ලැබෙන, බොහෝ දෙනා ඉතා ආසාවෙන් නරඹන, දෙනෙතට අපූර්වත්වයක් එක් කරන සොඳුරු දර්ශනය නම් කහ සහ සුදු පැහැති සමනලු‍න් රංචු වශයෙන් ඉගිලී යන සමනල සංචරණයයි. එහෙත්, ඒ සුන්දරත්වයෙන් එහා ගිය ගැඹුරු ජීව විද්‍යාත්මක යථාර්ථයක් සහ ජීවන කතාවක් ඔවුන්ගේ මේ සංචරණය පිටුපස සැඟවී තිබේ.

සොබාදහමේ මේ විස්මිත සංසිද්ධියේ ඇතුළු කතාව, එහි විද්‍යාත්මක පසුබිම මෙන්ම වර්තමානයේ ඔවුන් මුහුණ පාන බරපතළ පාරිසරික අභියෝග පිළිබඳවිඉරිදා ලංකාදීප’ අප පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන සහ  ශ්‍රී ලංකා සමනල සංරක්ෂණ සංගමයේ හිටපු ලේකම් රුවංගිකා ගුණවර්ධන යන අයගෙන් විමසීමක් කළෙමු.

 

වසර 12කට පසු මෙවැනි විශාල සමනල් ගහනයක් කොළඹ නගරය කරා පැමිණීම සාමාන්‍ය සංචරණය ඉක්මවා ගිය විශේෂිත තත්ත්වයක්

පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන

“කහ සහ සුදු සමනලු‍න් කියන්නේ විද්‍යාත්මකවLemon Emigrant (Catopsila pomona)  ලෙස හැඳින්වෙන, ශ්‍රී ලංකාවට ආවේණික දේශීය සමනල් විශේෂයක්. මොවුන්ගේ උතුරු දෙසට වන ගමන සෑම වසරකම නොවැම්බර් සහ දෙසැම්බර් මාස තුළ ශ්‍රී ලංකාවේ අනිවාර්යයෙන්ම දැකගත හැකියි. මොවුන්ගේ කීට අවස්ථාව බොහෝ දුරට ගත වන්නේ ගස්වල කොළ මතයි. ගස්වල අලු‍තින් දළු ලෑම සහ මල් හටගැනීම කෙරෙහි විශේෂයෙන්ම මෝසම් වැසි සහ සංවහන වැසි සෘජුවම බලපානවා. වැස්ස කියන්නේ සමනල් ගහනයක පැවැත්ම තීරණය කරන ප්‍රධාන සාධකයක්. මේ දිනවල දැකගත හැකි සමනලු‍න්ගේ කහ පැහැති රූපානුදර්ශය මතු වන්නේ වර්ෂාපතනයත් සමඟයි. කීට කාලයේදී ආහාර හිඟ වන විට සමනලු‍න් තම වර්ණක වැනි දේ සඳහා ශක්තිය වැය කරන්නේ නැහැ. ආහාර හිඟයක් නොමැති නම් වර්ණක නිපදවීමට අවශ්‍ය ආහාර සංචිත තම ශරීරයේ රඳවා ගැනීමට ඔවුන් වගබලා ගන්නවා. කෙසේ වෙතත්, වසර 12කට පසු මෙවැනි විශාල සමනල් ගහනයක් කොළඹ නගරය කරා පැමිණීම සාමාන්‍ය සංචරණය ඉක්මවා ගිය විශේෂිත තත්ත්වයක්.”

මෙම සමනලු‍න් ගමන් කරන දිශානතිය පිළිබඳව අවධානය යොමු කිරීමේදී, ගොඩනැගිලි වැනි බාධක නිසා ඇතැම් අවස්ථාවලදී ඔවුන්ගේ ගමන් මඟ තාවකාලිකව වෙනස් වුවද, විවෘත ප්‍රදේශයක් ලැබුණු සැනින් යළිත් උතුරු දිශාවටම ගමන් කරන අයුරු නිරීක්ෂණය කළ හැකිය.

මෙම සමනල සංචරණය එක් සංක්‍රමණයක් පමණක් නොවේ. ඔක්තෝබර් සහ නොවැම්බර් වැනි කාලවලදී ඉන්දියාවේ සිට බස්නාහිර සහ වයඹදිග මුහුදු තීරයෙන් ද සමනලු‍න් මෙරටට පැමිණීම සිදු වේ. ක්‍රසපිදබ ඍදිැ යනුවෙන් හැඳින්වෙන සමනල් විශේෂය මේ දිනවල ඉන්දියාවේ සිට ලංකාවට පැමිණෙන බව විද්‍යාත්මකව තහවුරු කර තිබේ. මීට අමතරව, ලංකාව ඇතුළත පළාතෙන් පළාතට සිදුවන අභ්‍යන්තර සංචරණය බහුලව සිදුවන අතර, මේ දිනවල දකින්නට ලැබෙන සමනලු‍න් මෙරට අභ්‍යන්තරවම සංචරණය සිදු කරන පිරිසකි.

නාගරික ප්‍රදේශවලද මෙම සමනලු‍න් සුළු වශයෙන් දැකගත හැකි වීමට හේතුව ඔවුන්ට ගැළපෙන පෝෂක ශාක ඒ ඒ ප්‍රදේශවල පැවතීමයි. ඇහැළ සහ පැණි තෝර වැනි ගස්වල මොවුහු බහුලව බෝ වෙති. ඔවුන්ගේ ජීවන චක්‍රය බිත්තර, කීට, කෝෂ සහ වැඩිහිටි අවධි ලෙස ප්‍රධාන කොටස් කිහිපයකින් සමන්විතය. කහ සමනලු‍න් ප්‍රධාන වශයෙන් බිත්තර දමනුයේ සරු මී අඹ සහ කෙසෙල් පත්‍ර මතය. වැසි සමයත් සමඟ මෙම ශාකවල නව දළු ලෑම නිසා කීටයන්ට ප්‍රමාණවත් පෝෂණයක් ලැබී ඔවුන්ගේ වර්ධනය ද වේගවත් වේ. වැඩිහිටි සමනලයකුගේ ආයු කාලය සති කිහිපයකට සීමා වුවද, හිතකර කාලගුණික තත්ත්වයන් යටතේ එකවර දහස් ගණනින් කෝෂ අවධිය පසුකර පැමිණීම නිසා දැවැන්ත සමනල් ගහන වර්ධනයක් සිදු වී ඇත.

සමනලු‍න් සිරිපා කරුණා කිරීම සම්බන්ධයෙන් සමාජයේ ජනප්‍රවාද පැවතුණද, ඇත්ත වශයෙන්ම සමනල් සංක්‍රමණය සිදුවන්නේ සිරිපා කරුණාවට පෙරය. කෙසේ වෙතත්, පාරම්පරිකව එම කාලය ගණනය කර තිබූ ආකාරය ඉතා නිවැරදිය. එහෙත් මේ දිනවල දක්නට ලැබෙන මෙම කහ සහ සුදු සමනල් විශේෂය සිරිපාදය දිශාවට නොව, කෙළින්ම උතුරට ගමන් කරන ආකාරය නිරීක්ෂණය වේ.

පසුගිය කාලය තුළ සමනල් ගහනයේ ස්වභාවය විමසීමේදී, සතියක පමණ කාලයක් පුරා මෙම සමනලු‍න් දැකගත හැකි වුවද පෙර මෙන් විශාල විවිධත්වයක් දැන් දක්නට නැත. එහෙත්, වර්තමානයේ දැකගත හැකි මෙම සමනල් විශේෂයේ ගහනය වෙනදාට වඩා විශාල ලෙස වැඩිවීමක් පෙන්වන අතර එවැනි ඉහළ වැඩිවීමක් මීට පෙර දැක ඇත්තේ 2014 වසරේදීය. වසර දොළහකට පසු සිදුවූ මෙම සමනල සංචරණය මඟින් කෘෂිකාර්මික හා වනාන්තර පද්ධතිවල පරාගණ ක්‍රියාවලියට විශාල රුකුලක් ලැබෙන අතර එය ශාකවල පල දැරීමට සහ පරිසරයේ හරිත වර්ණය රඳවා ගැනීමට දැඩි ලෙස හේතු වේ.

එමෙන්ම මෙම සමනලු‍න් සංචරණය කරන විට ඔවුන්ගේ මල්පැණි අවශ්‍යතාව සපුරා ගැනීම ඉතා අපූරුය. සංචරණය වන ප්‍රමාණය සමඟ සසඳන විට පෝෂණය සඳහා ඔවුන් නවතින්නේ ඉතාමත් කලාතුරකිනි. කොතරම් මල් ගස් තිබුණද බහුතරයක් එකම වේගයකින් ඉහළින් ගමන් කරන අතර, පහළට බැස මල් පැණි උරා බොන්නේ ඉඳහිට සමනලයෙක් පමණි.

පොදුවේ ගත් කල සමනල් ගහනයට ශාකවල බලපෑම අතිශයින්ම තීරණාත්මකය. වර්තමානයේ මෙම සමනලු‍න්ට කීට පෝෂණ ශාකවල මෙන්ම වැඩිහිටි පෝෂණ ශාකවල දැඩි හිඟයක් මතුවී ඇත. 2014 වසරේදී පරිසර අමාත්‍යාංශය මඟින් සමනල් සංරක්ෂණ ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර ඇති අතර එහිදී නාගරික කුඩා තුරු ගොමු සකස් කිරීම, ඒවාට කීට හා වැඩිහිටි පෝෂණ ශාක ඇතුළත් කිරීම සහ සමනලු‍න්ට ජීවත් වීමට සුදුසු සමනල් උයන් නිර්මාණය කිරීම වැනි යෝජනා ඉදිරිපත් කළද, අවාසනාවකට මෙන් ඒවා කිසිවක් මේ වන තෙක් ක්‍රියාත්මක වී නැත. එහි ප්‍රතිඵලයක් ලෙස අද වන විට සමනලු‍න් බොහෝ සෙයින් අඩුවී ඇති අතර, ඒ සමඟම සොබාදහමේ පරාගණ ක්‍රියාවලියට ද බරපතළ අර්බුදයක් උද්ගත වී තිබේ.

මැයි මාසයේ බසිනි ගස්වල මල් පිපෙන කාලයේ සිදුවන සමනලු‍න්ගේ පැමිණීම, මැයි හා ජූනි මාසවල නිරිතදිග මෝසමත් සමඟ තෙත් කලාපීය සමනලු‍න් අලු‍තෙන් දැකගැන්මට ලැබීම සහ තෝරාගත් විශේෂ ස්ථානවල සිදු කරන අධ්‍යයනයන් හරහා සමනල් ගහනය නිරීක්ෂණය කරනු ලබන අතර, එමඟින් සමනල් ගහනයේ මෙම අඩුවීම මැනවින් තහවුරු වේ.

සමනලු‍න් පරිසරයට අසීමිත ජීවයක් එකතු කරන, අපේ පරිසර පද්ධතියට අමිල මෙහෙයක් ඉටු කරන අපූරු සතුන් පිරිසකි. ඔවුහු වෙනත් සතුන්ගේ ආහාර ප්‍රභවයක් ලෙස පරිසර දාමයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර, ඇතැම් ශාකවල වර්ධනය පාලනය කිරීමට මෙන්ම මල්වල පරාගණය සඳහා ද විශාල මෙහෙයක් ඉටු කරති.

ලංකාවේ සිටිනApefly  වැනි මාංශභක්ෂක සමනල් විශේෂ යැපෙන්නේ පිටි මකුණන් මතය. එය ස්වභාවික පළිබෝධ මර්දනයට මහඟු‍ රුකුලකි. මේ අපූරු සත්ත්ව කොට්ඨාසය රැකගැනීම සඳහා අපට කළ හැකි දේ බොහෝය. තමන්ගේ නිවෙස් අවට ඉඩකඩ ඇති පරිදි සමනල් කීට පෝෂණ සහ වැඩිහිටි පෝෂණ ශාක කිහිපයක් වගා කර තබාගත හැකි නම්, අපට නිවෙස් අවටම කුඩා සමනල් ගහනයක් නඩත්තු කරගත හැකිය. මල් වර්ග කිහිපයක්ම ගෙවතුවල වගා කිරීමට මිනිසා පෙළඹේ නම් එය අගය කළ යුත්තකි. කෙසේ වෙතත්, වර්තමානයේ ඇතැම් සමනලු‍න් දේශීය ශාක මත නොව විදේශීය ශාක මත කීට පෝෂණය කිරීමට පුරුදු වී සිටිනු දක්නට ලැබේ. එමෙන්ම, ඇතැම් ශාක වර්ග නිසා වියළි කලාපීය සමනලු‍න් තෙත් කලාපයට ස්ථාපිත වී ඇති ආකාරයක් නිරීක්ෂණය වන අතර, මේ පිළිබඳව විද්‍යාත්මකව තවදුරටත් අධ්‍යයනය කරමින් පවතී.

අද වන විට සමනලු‍න් බරපතළ අභියෝග රැසකට මුහුණ දී සිටියි. පරිසරය විනාශ වීම නිසා ඔවුන්ට අවශ්‍ය පෝෂණ ශාක මෙන්ම සුදුසු පරිසර තත්ත්වයන් සම්පූර්ණයෙන්ම අහිමි වී යාම පළමු අභියෝගයයි. දිනෙන් දින වැඩි වන පරිසර දූෂණය සහ කෘෂිකාර්මික කටයුතුවලදී භාවිත වන විෂ රසායනික ද්‍රව්‍ය මෙම සතුන්ට දැඩි ලෙස බලපායි. සමනලු‍න්ට නිදහසේ ගැවසීමට උචිත අඛණ්ඩ ප්‍රදේශ පැවතිය යුතු නමුත්, එම ප්‍රදේශ ක්‍රමයෙන් ඛණ්ඩනය වී කුඩා වීම නිසා ඒවායේ සමනලු‍න් නඩත්තු වීමට නොහැකි වී විනාශ වී යයි. මීට අමතරව, සමහර කුඹල් වර්ග වැනි පරපෝෂිත සතුන් විසින් සමනලු‍න්ගේ කීටයන්ට සහ පිළවුන්ට පහර දී හානි කිරීම ද තවත් බරපතළ ගැටලු‍වකි.

 

සංක්‍රමණික විශේෂ කිහිපයක් යම් කාලවලදී දක්නට ලැබුණත්, ශ්‍රී ලංකාවේ සමනල් විශේෂ 248ක ගහනය අතීතයට සාපේක්ෂව අඩු වෙලා

ශ්‍රී ලංකා සමනල සංරක්ෂණ සංගමයේ හිටපු ලේකම් රුවංගිකා ගුණවර්ධන

 

“මෙම සමනල් සංචරණයට එක් විශේෂයක් පමණක් නෙමෙයි, සමනල් විශේෂ ගණනාවක් එක් වෙනවා. ඒ අතරින් Pieridae  කුලයට අයත් Lemon Emigrant, Mottled Emigrant, Common Albatross  සහ Lesser Albatross  වැනි සුදු සහ කහ පැහැති සමනලු‍න් මෙන්මNymphalidae  කුලයට අයත් Common Leopard  වැනි තද පැහැති සමනලු‍න් ද බහුලව හඳුනාගත හැකියි. මෝසම් සුළං රටාව වෙනස් වීම, වායුගෝලීය උෂ්ණත්වය, ආර්ද්‍රතාව සහ සුළඟේ දිශාව වෙනස් වීම ඔවුන්ට සංක්‍රමණය ආරම්භ කිරීමට සංඥා සපයනවා. සේම දීර්ඝ නියඟයකට පසු ඇදහැලෙන පළමු වර්ෂාවත් සමඟ ශාකවල හටගන්නා ළපටි දළු මත සමනලු‍න් බිත්තර දමා සති තුනත් පහත් අතර කාලයකින් සම්පූර්ණ වන ජීවන චක්‍රය හරහා දහස් ගණනින් බිහිවන සමනලු‍න් මෙලෙස සංක්‍රමණික රංචු බවට පත්වෙනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන සමනල් සංක්‍රමණ වාර දෙකක් හඳුනාගෙන තිබෙනවා. ඊසානදිග මෝසමත් සමඟ ඔක්තෝබර් සිට ජනවාරි දක්වා සිදුවන්නේ ප්‍රධානතම සංක්‍රමණ වාරයයි. පළමු අන්තර් මෝසම් සහ නිරිතදිග මෝසම ආරම්භයත් සමඟ මාර්තු සිට මැයි දක්වා දෙවන වාරය සිදු වෙනවා. ඇතැමුන් සමනල් සංක්‍රමණය ස්වභාවික ආපදාවක පෙරනිමිත්තක් ලෙස සැලකුවද, එහි කිසිදු සම්බන්ධයක් නැහැ. එහෙත් වායුගෝලීය පීඩනයේ සහ ආර්ද්‍රතාවයේ සියුම් වෙනස්කම්වලට ඉතා සංවේදී වන සමනලු‍න්, මෝසම් වැසි ආරම්භ වීම හෝ වියළි කාලගුණය අවසන් වීම වැනි සොබාදහමේ සාමාන්‍ය කාලගුණික වෙනස්වීම් පිළිබඳව ඉඟි පළ කරන සියුම් පණිවිඩකරුවන් ලෙස හැඳින්විය හැකියි.

කොහොම වුණත් මෙවැනි සංක්‍රමණික විශේෂ කිහිපයක් යම් කාලවලදී දක්නට ලැබුණත්, ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත සමනල් විශේෂ 248ක ගහනය සැලකීමේදී අතීතයට සාපේක්ෂව පැහැදිලි අඩුවීමක් දක්නට ලැබීම කනගාටුදායකයි. නාගරීකරණය හා සංවර්ධන ව්‍යාපෘති නිසා සිදුවන වාසස්ථාන අහිමි වීම, කෘෂි රසායනික ද්‍රව්‍ය අධික භාවිතය, දේශගුණික විපර්යාස, ගඳපාන හා කටුපිල වැනි ආක්‍රමණශීලී ආගන්තුක ශාක පැතිරීම මෙන්ම අධිවේගී මාර්ග සහ ප්‍රධාන මාර්ග හරහා සංක්‍රමණය වීමේදී වාහනවල ගැටීමෙන් සිදුවන මාර්ග අනතුරු මෙම සුන්දර ජීවීන්ගේ පැවැත්මට දැඩි තර්ජනයක් එල්ල කර තිබෙනවා.”

 

සජිනි ගුරුගේ (I J)