කුක් දූපත සංචාරකයන්ගේ නෙත් සිත් ඇදගන්නා පාරාදීසයකි. එහෙත් ඒ සුන්දරත්වය මැද, තම මව්බිමට යළි පැමිණීමේ මඟක් සොයාගත නොහැකිව වසර ගණනාවක් තිස්සේ අසරණව බලා සිටින ශ්‍රී ලාංකික කාන්තාවකගේ කතාවක් තිබේ. ඇය රුචිරා සෙව්වන්දි රණසිංහයි.  

 

දහස් ගණනක් සැතපුම් ඈතින් සිටියද ඇගේ සිත තවමත් නතර වී ඇත්තේ උපන් බිමේය. මවගේ සෙනෙහස විඳින්නටත්, එකම පුතුගේ ජීවිතයේ සුවිශේෂී මොහොතට ළඟින් සිටින්නටත්, හුරුපුරුදු මව්බිමේ පස ස්පර්ශ කරන්නටත් ඇය තුළ ඇත්තේ නොනිමි ආශාවකි. එහෙත් රටවල් අතර වීසා ප්‍රතික්ෂේප වීම් හමුවේ ඇයට ඒ සිහිනය සැබෑ කරගැනීමට ඇති මඟ අවහිර වී ඇත. සංචාරක පාරාදීසයක සිටියද, තමන්ට අහිමි වී ඇත්තේ ලෝකයේ සුන්දරම තැන වූ ‘ගෙදර‘ යන වචනයේ උණුසුමයි.

 

රුචිරාගේ සංවේදී කතාව විදේශයක අතරමං වූ කාන්තාවකගේ කතාවක් පමණක් නොවේ. ඒ මව්බිමට එන්නට මඟක් සොයන හදවතක, මවකගේ සෙනෙහස පතන දියණියකගේ සහ පුතුගේ සතුටුම දිනයට ළඟින් සිටින්නට සිහින දකින අම්මා කෙනකුගේ නිහඬ වේදනාවයි. ඒ දවස කවදාදැයි ඇයවත් නොදන්නීය. ඇස්වල කඳුළු පුරවාගෙන, කුසට හරිහමන් ආහාරයක් නැතුව ඇය ගත කළ නිදිවරු දින මෙතෙකැයි කිව නොහැකිය.

 

”‍මගේ නම රුචිරා සෙව්වන්දි රණසිංහ. මගේ ගම පිළියන්දල බෝකුන්දර. මම දැන් ඉන්නේ දකුණු පැසිෆික් සාගර කලාපයේ කුක් දූපතේ. මම මේ දූපතට ආවේ 2023 නොවැම්බර් 8 වැනිදා.

ඒ කාලේ මටම කියලා ඇඟලු‍ම් ව්‍යාපාරයක් තිබුණා. කාටවත් අත නොපා, මගේම මහන්සියෙන් ඒ ව්‍යාපාරය කරගෙන මම හොඳින් ජීවත් වුණා. නමුත් කොවිඞ් වසංගතයත් එක්කම මගේ ව්‍යාපාරය කඩා වැටෙන්න පටන් ගත්තා. ව්‍යාපාරය පවත්වාගෙන යන්න බැරි තත්ත්වයක් ඇති වුණා. ආදායමක් නැති වුණත් වියදම් නතර වුණේ නැහැ. ටිකෙන් ටික ණය බර වැඩි වුණා. අන්තිමේදී ඒ ණය ගෙවාගන්නවත් මට ක්‍රමයක් නැති වුණා. ජීවිතය ගොඩනඟා ගන්න වෙනත් මඟක් තිබුණේ නැති නිසා මම හොංකොං රටට රැකියාවක් සොයාගෙන ගියා. ඒ ගෘහ සේවිකාවක විදිහටයි.

 

එහේ ටික කාලයක් වැඩ කළාට පස්සේ මම සංචාරක වීසා (ඩසිසඑ ඩසි්) මත නවසීලන්තයට ගියා. මගේ සංචාරක වීසා කාලය අවසන් වෙන්න ළං වෙද්දී නීතිඥවරියකගේ සහාය ඇතිව රැකියා වීසා (අදරන ඩසි්) එකකට අයදුම් කළා. ඒ නීතිඥවරිය මට වසරක කාලයක් සඳහා විවෘත රැකියා වීසා (ධචැබ උදරන ඪසි්) එකක් ලබා දුන්නා. ඒ කාලය තුළ මම නවසීලන්තයේ හෝටලයක රැකියාවක් කළා.

 

ඒ වීසා කාලය අවසන් වෙන්න තවත් මාස තුනක් විතර තිබියදී, මම වැඩ කරන හෝටලයෙන් දිගටම රැකියාව ලබාදෙන්න කැමැති නම් රැකියා වීසා (අදරන ඩසි්) එකකට මාරු වෙන්න පුළුවන් බව කියමින් නැවතත් අයදුම්පතක් ඉදිරිපත් කළා. නමුත් මම බලාපොරොත්තු වුණු විදිහට ඒ වීසා අයදුම්පත අනුමත වුණේ නැහැ. එය ප්‍රතික්ෂේප වුණා. ඊට හේතුව ලෙස ඔවුන් දැක්වූයේ, නවසීලන්තය තුළ රැඳී සිටින අතරතුර එම රැකියා වීසා සඳහා අයදුම් කළ නොහැකි බවත්, ඒ සඳහා රටින් පිටව ගොස් නැවත අයදුම් කළ යුතු බවත්ය. ඒ වෙලාවේ මට සිදු වුණේ මොකක්ද කියලා හිතාගන්නවත් බැරි වුණා. ජීවිතය ගොඩනඟා ගන්න කියලා මම ආරම්භ කළ ගමන, මාව තවත් අසීරු තැනකට ඇදගෙන යමින් තිබුණා.”‍

 

කාත් කවුරුවත් නැති කුක් දූපතේ හිඳ සෙව්වන්දිගේ කතාව දුරකථන රැහැන් දිගේ ඇසෙද්දී ඇගේ හfඬ් ඉකිබිඳුම නොනවත්වා ඇසුණි.

සෙව්වන්දිගේ වීසා සම්බන්ධ නීති කටයුතු මුලින්ම භාරගෙන තිබුණේ ශ්‍රී ලාංකික නීතිඥවරියකි. පසුව ඉදිරි නීති කටයුතු සඳහා වෙනත් ඉන්දීය ජාතික නීතිඥවරයකු වෙත ඇය යොමු කිරීමට එම නීතිඥවරිය කටයුතු කළාය. එතැන් සිට ඇය වීසා ගැටලු‍ව සම්බන්ධයෙන් මැදිහත් වීමෙන් ඉවත් වූවාය. ඉන් අනතුරුව කටයුතු භාරගත් ඉන්දීය නීතිඥවරයා නැවතත් වීසා අයදුම්පතක් ඉදිරිපත් කිරීමට සූදානම් විය.

 

එම අයදුම්පත ඉදිරිපත් කිරීමට පෙර ඔහු සෙව්වන්දිට දැනුම් දී තිබුණේ, වීසා අයදුම්පත ඉදිරිපත් කරන තෙක් ටික කාලයකට රටින් පිටව සිටින ලෙසයි. ඒ අනුව නවසීලන්තයට අයත් කුක් දූපත් වෙත යන ලෙස ඔහු ඇයට උපදෙස් දුන්නේය. කුක් දූපත් වෙත යාමට ශ්‍රී ලාංකිකයන්ට වීසා අවශ්‍ය නොවන බැවින් පහසුවෙන් එහි යා හැකි බවත්, සති තුනක පමණ කාලයක් එහි රැඳී සිටින ලෙසත් ඔහු සෙව්වන්දිට පවසා තිබුණි.

 

නීතිඥවරුන්ගේ උපදෙස් විශ්වාස කළ සෙව්වන්දි ද තම වීසා ගැටලු‍වට විසඳුමක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් කුක් දූපත් බලා යාමට තීරණය කළාය. ඒ වන විටත් මේ නීති කටයුතු වෙනුවෙන් ඇය විශාල මුදලක් වැය කර තිබුණි. පළමු වරට වසරක විවෘත රැකියා වීසා ලබාගැනීමේ කටයුතු සඳහා නීතිඥවරිය ඇගෙන් ඇමරිකානු ඩොලර් 10,000ක මුදලක් අයකරගෙන තිබිණි. ඉන් අනතුරුව නැවත වීසා අයදුම්පත ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඩොලර් 2,000ක් ද, විවිධ අවස්ථාවලදී තවත් ඩොලර් 800ක පමණ මුදලක් ද ලබාගෙන තිබුණි.

 

හොංකොංහි ගෘහ සේවිකාවක ලෙස වෙහෙස මහන්සි වී උපයාගත් මුදලින් සෙව්වන්දි යම් ඉතිරියක් කරගෙන සිටියාය. ඒ ඇගේ අනාගතය වෙනුවෙන් තබාගත් පුංචි බලාපොරොත්තුවක් විය. එහෙත් ඒ ඉතිරි කළ මුදල පවා වීසා ලබාගැනීමේ උත්සාහය වෙනුවෙන් එකින් එක වැය කිරීමට ඇයට සිදු විය. රටකින් රටකට යමින්, නීති උපදෙස් මත විශ්වාසය තබමින් ඇය කළ ඒ සියලු‍ කැපකිරීම්වල අවසානයේ බලාපොරොත්තු වූ විසඳුම නම් ලැබුණේ නැත.

 

සති තුනකට පසු නැවත නවසීලන්තයට යා හැකි වනු ඇතැයි සිතා කුක් දූපත් බලා පැමිණි සෙව්වන්දිගේ ජීවිතය එතැන් සිට නොසිතූ අතකට හැරෙන්නට පටන් ගත්තේය. වීසා ගැටලු‍වට විසඳුමක් සොයා තාවකාලිකව පැමිණි ඒ ගමන, ඇයව තම මව්බිමෙන් පමණක් නොව, හුරුපුරුදු ජීවිතයෙන් ද ඈත් කරන දිගු අසරණ කාලයක ආරම්භය බවට පත් විය.

”‍මම කුක් දූපතට ආවාට පස්සේ නීතිඥවරයා නැවතත් මගේ වීසා අයදුම්පත ඉදිරිපත් කරලා තිබුණා. ඒ අයදුම්පතත් ප්‍රතික්ෂේප වෙලා තිබුණා. ඒ වෙලාවේ නීතිඥවරයා මට කිව්වේ, ‘රුචිරා, මේ වීසා එක ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඒකට මගේ අතින් පොඩි වැරැද්දක් සිද්ධ වුණා. ඔයාට තිබුණු වීසා එකේ කොන්දේසි අනුව රටින් පිටවෙන්න අවසරයක් තිබුණේ නැහැ. එහෙම රටින් පිටවුණොත් ඒ වීසා එක අවලංගු වෙනවා. ඒක මගෙන් සිද්ධ වුණු වැරැද්දක්‘ කියලයි.

 

ඒ නීතිඥවරයා කිහිප වතාවක්ම මගේ වීසා අයදුම්පත් ඉදිරිපත් කළත් ඒ හැම අවස්ථාවකදීම ඒවා ප්‍රතික්ෂේප වුණා. අන්තිමේදී ඔහු මට කිව්වේ, ‘මේක මගෙන් වෙච්ච වැරැද්දක්. දැන් මට කරන්න දෙයක් නැහැ. ඔයා ලංකාවට යන්න‘ කියලයි. එහෙම කිව්වම මම මොනවා කරන්නද? මම ඔහුගේ උපදෙස් විශ්වාස කරලයි මේ දූපතට ආවේ. සති තුනකට විතරක් හෝටලයක් වෙන් කරගෙන ආපු මට අන්තිමේදී යන්න එන්න තැනක්වත් නැති වුණා.

 

මම නතර වෙලා හිටපු හෝටලයේ මැඩම් ගැන නම් විශේෂයෙන්ම කියන්න ඕනෑ. ඇය හරිම හොඳ කෙනෙක්. මේ තරම් කරුණාවන්ත මිනිස්සු ඉන්නවාද කියලත් මට වෙලාවකට හිතාගන්න බැහැ. මම මගේ ජීවිතයට වෙච්ච හැම දේම ඇයට කිව්වා. ටිකෙන් ටික හෝටලයට ගෙවන්නවත්, කෑමක් බීමක් ගන්නවත් මගේ අතේ සල්ලි නැති වුණා. ඒක ලොකු හෝටලයක්. එහි සේවය කරන අයට නවාතැන් ගන්න වෙනම කාමර තියෙනවා. හෝටලයේ මැඩම් මටත් ඒ කාමරයක නතර වෙන්න ඉඩ දුන්නා.

 

සමහර වෙලාවට හෝටලයේ වැඩ වැඩි වුණාම මමත් ගිහින් පුළුවන් විදිහට ඒ අයට උදව් කරනවා. නමුත් මේ රටේ අපිට රැකියාවක් කරන්න අවසර නැහැ. ඒක නීතියෙන් තහනම්. ඒ නිසා මට මගේ ජීවිතය ගෙනියන්නවත් ආදායමක් උපයාගන්නවත් විදිහක් නැහැ. වීසා වැඩවලට මගේ අතේ තිබුණු හැම සතයක්ම වියදම් වෙලා ඉවරයි.

 

මගේ සැමියා මීට අවුරුදු අටකට විතර කලින් මිය ගියා. මට ඉන්නේ එක පුතයි. මගේ වියදම්වලට අවශ්‍ය මුදල් එයාලා පුළුවන් විදිහට එවනවා. මම මේ රටට ආවේ මගේ පවුලේ අයත් එක්ක එකතු වෙලා ජීවිතය ගොඩනඟා ගන්න බලාපොරොත්තුවෙන්. නමුත් අද මගේ තත්ත්වය නිසා මගේම පවුලේ අයටත් දුක් විඳින්න සිද්ධ වෙලා. මම නිසා එයාලා විඳින දුක මට දරාගන්න බැහැ. මම මෙහේ අසරණ වෙලා ඉන්නවා වගේම එයාලත් ලංකාවේ ඉඳගෙන මම වෙනුවෙන් දුක් වෙනවා.

 

මට ලංකාවට යන්නවත් දැන් පහසුකමක් නැහැ. අඩුම තරමින් අතරමැදි ගුවන් ගමනක් සඳහා නවසීලන්තයෙන් අවසරයක්වත් ලබාගන්න මට හැකියාවක් නැහැ. මේ වෙද්දී මට කුක් දූපතේ කිසිදු වලංගු වීසා බලපත්‍රයක් නැහැ. ඒ නිසා රැකියාවක් කරන්නත් බැහැ. එහෙම රැකියාවක් කිරීම නීතියෙන් තහනම්. හෝටලයේ වැඩ කරන අය ඔවුන්ට ලැබෙන කෑමවලින් කොටසක් මටත් ගෙනත් දෙනවා. ඒ මිනිස්සු මට සලකන්නේ හරිම ආදරයෙන්. ඒ අය නොහිටින්න අද මම මොන තත්ත්වයකට පත්වෙලා ඉඳීවිද කියලා මට හිතාගන්නවත් බැහැ. සමහර වෙලාවට මට කෑම වේලක්වත් නැති වෙන්න තිබුණා.

 

මේ විදිහට අවුරුදු දෙකහමාරක් තිස්සේ මම මේ දූපතේ හිරවෙලා ඉන්නවා. මගේ පවුලේ අයත් මේ ප්‍රශ්නයට විසඳුමක් හොයන්න නොකරපු දෙයක් නැහැ. ලංකාවේ විදේශ සේවා කාර්යාංශයට අවස්ථා ගණනාවකදීම ගිහින් මේ ගැන දැනුම් දීලා තියෙනවා. මමත් මෙහේ ඉඳගෙන දුරකථනයෙන් අපේ තානාපති කාර්යාලයට කතා කරමින් මට සහනයක් ලබාදෙන්න කියලා ඉල්ලනවා. මගේ නංගිත්, මල්ලිත් පෞද්ගලිකවම විජිත හේරත් ඇමැතිතුමාව හමුවෙලා මේ ප්‍රශ්නය ගැන දැනුම් දීලා තිබුණා. ඒත් මේ තරම් කාලයක් ගතවෙලත් තවම මට කිසිම සහනයක් ලැබිලා නැහැ.

 

මට මේ තත්ත්වයට මුහුණ දෙන්න සිද්ධ වුණේ මගේ වීසා කටයුතු භාරගත් නීතිඥවරුන්ගේ මැදිහත්වීමත් එක්කයි. නමුත් මට සිදු වුණු මේ අසාධාරණය වෙනුවෙන් අද වෙනතුරුත් සාධාරණ පිළිතුරක් ලැබිලා නැහැ. මේ ප්‍රශ්නයට පසුව සම්බන්ධ වුණු ඉන්දීය නීතිඥවරයා ගැනත් දැන් කිසිම ආරංචියක් නැහැ. ඔහු අවුරුදු දෙකකට ආසන්න කාලයක සිට මා සමඟ කිසිම සම්බන්ධයක් පවත්වන්නේ නැහැ. ඔහුගේ දේපළ සියල්ල විකුණා රටින් පිටව ගිහින් කියලයි මට දැනගන්න ලැබුණේ. මුලින් සම්බන්ධ වූ ශ්‍රී ලාංකික නීතිඥවරිය ගැනත් දැන් කිසිම තොරතුරක් දන්නේ නැහැ. මම මේ ප්‍රශ්නයට තනිවම මුහුණ දෙනවා.

 

දැන් මගේ වයස අවුරුදු පනහයි. මේ අවුරුදු දෙකහමාරට මම කායිකව වගේම මානසිකවත් ගොඩක් දුර්වල වෙලා. මට දැන් ලෙඩ රෝගත් තියෙනවා. ඒවට බෙහෙත් ගන්නවා. නමුත් මේ තත්ත්වයත් එක්ක ජීවිතය ගෙනියන එක හරිම අමාරුයි. මට නිදහසේ නින්ද ගිය දවසක් මේ අවුරුදු දෙකහමාරටම නැහැ. හැමදාම හිතේ තියෙන්නේ එකම ප්‍රශ්නයයි. මම කවදාද ගෙදර යන්නේ? මොනවා වෙයිද? මට ආයෙත් මගේ පවුලේ අය දකින්න ලැබෙයිද?

 

මගේ අසනීපවලට ගැළපෙන විදිහට කෑම පාලනය කරගන්නවත් මට බැහැ. ලැබෙන කෑම වේල තමයි මට කන්න සිද්ධ වෙන්නේ. සමහර වෙලාවට මම මොනවා කරන්නද කියලවත් මට හිතාගන්න බැහැ. කන බත් ටික පවා උගුරෙන් පහළට යන්නේ නැහැ. මගේ හිතේ තියෙන දුක ඒ තරම්ම වැඩියි.

 

මම බෞද්ධ කෙනෙක්. මගේ අම්මා හැමදාම මං වෙනුවෙන් බෝධි පූජා තියනවා. එයත් දැන් වයසයි, ඇඟට වාරු නැහැ. ඒ වුණත් මාව ආයෙත් දකින්න ලැබෙන්න කියලා අම්මා හැමදාම බුදුන් වහන්සේගෙන් ඉල්ලනවා. මට ඒ ගැන හිතද්දී දරාගන්න බැරි දුකක් දැනෙනවා. මගේ අම්මා වයසට යනවා, මම මෙහේ හිරවෙලා ඉන්නවා. මගේ අම්මාවත්, පුතාවත්, මල්ලිවත්, නංගිවත් මට දකින්න විදිහක් නැහැ.

 

මම හැමදාම උදේට නැඟිටින්නේත්, රෑට නින්දට යන්න උත්සාහ කරන්නේත් කවදාහරි මට ලංකාවට යන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවෙන්. මට වෙන කිසිම දෙයක් ඕනෑ නැහැ. මට ආයෙත් මගේ රටට යන්න ඕනෑ. මගේ ගෙදරට යන්න ඕනෑ. මගේ අම්මාගේ මූණ එක වතාවක් හරි බලන්න ඕනෑ. මගේ පුතාගේ මූණ බලන්න ඕනෑ. මගේ මල්ලිගේ, නංගිගේ මූණ බලන්න ඕනෑ.

 

අනේ, මට එකම එක වතාවක් මගේ රටට එන්න ඉඩ දෙන්න. මගේ ගෙදරට යන්න ඉඩ දෙන්න. මගේ අම්මා ළඟට යන්න ඉඩ දෙන්න. මට වෙන කිසිම දෙයක් ඉල්ලන්න නැහැ. මට ඕනෑ මගේ අය ළඟට ගිහින්, මගේ රටේ ජීවත් වෙලා, මගේ අන්තිම හුස්ම මගේ රටේදී අතහරින්න විතරයි.”‍

 

ඒ රුචිරා සෙව්වන්දිගේ හඬයි.

ඇය සුන්දර දූපතක සිටියද ඇගේ සිත නිතරම දුවන්නේ සැතපුම් දහස් ගණනක් ඈතින් ඇති පුංචි ගෙදරටය. වයසට යන අම්මාගේ මුහුණ දකින්නටත්, පුතුගේ සෙනෙහස විඳින්නටත්, සහෝදර සහෝදරියන් සමඟ යළිත් එකම වහලක් යට සිනාසෙන්නටත් ඇය තවමත් සිහින දකින්නීය. ඇයට දැන් අවශ්‍ය වන්නේ අලු‍ත් ජීවිතයක් හෝ විශාල සම්පත් නොවේ. ජීවිතයේ ඉතිරි කාලය තමන්ගේ මිනිසුන් අතර, තමන්ගේ මව්බිමේ ගෙවා දමන්නට ලැබෙන පුංචි අවස්ථාවකි.

 

විදේශයක අතරමං වූ ඇගේ හඬින් තවමත් ඇසෙන්නේ එකම ඉල්ලීමකි. ඒ ඉල්ලීම තුළ ඇත්තේ වරදක් කළ අයකුගේ සමාවක් නොව, තම මව්බිමට යළි පැමිණීමට මඟක් සොයන ශ්‍රී ලාංකික කාන්තාවකගේ අහිංසක ආයාචනයකි. ඇතැම් විට මිනිසකුට ජීවිතයේ ලැබිය හැකි වටිනාම ත්‍යාගය වන්නේ තමන් ආදරය කරන මිනිසුන් අතරට නැවත පැමිණීමට ලැබෙන අවස්ථාවයි. රුචිරා තවමත් බලා සිටින්නේ ඒ දිනය උදාවන තුරුය. කුක් දූපතේ ඈත වෙරළට පතිත වන හැම හිරු උදාවකම ඇය දකින්නේ එකම සිහිනයකි.

 

දිශානි ජයමාලි කරුණාරත්න - ( I J )