
ඔහු ලාංකීය සංගීතයේ “යළි උදා වූ වසන්තයක්” සේය. ඒ හඬ අපේ පරිසරයට, රටට, අපට වඩා ලෙංගතුය. ළමා, තරුණ, බාල, මහළු ජීවිත පරාසයන්ට ඔහුගේ ස්වර පරාසයෙන් ගයා ඇති අයුරු මිහිරිය, ආදරණීයය, අරුත්බරය. නිරුක්ති විද්‍යාවට අනුව එඩ්වඩ් (Edward) යනුවෙන් අරුත් ගන්වා ඇත්තේ, ධනය වාසනාව යන අරුත ඇති ආරක්ෂකයා හෙවත් භාරකරු යනුවෙනි.
ඒ කෙසේ වෙතත් අපට ‘එඩ්වඩ් ජයකොඩි’ යනු අතිශය සුන්දර මිනිසෙකි. මනුස්සකම උතුරා යන අව්‍යාජ මිනිසෙකි. ගීතයට ලාංකීය රසය රැගත් රස අරුතක් දුන් විශාරද එඩ්වඩ් ජයකොඩි ශූරීන් මේ පසු කරමින් සිටින්නේ 72 වැනි වයස් ඉලක්කමය. එය ඉලක්කමකට පමණක් සීමා වූ බව හැඟෙන්නේ එදා වසර ගණනාවකට පෙර දුටු පෙනුමින්ම ඔහු අපට හමුවන නිසාය. සංගීතයෙහි විවිධ අංශ පිළිබඳ මනා දැනුමක් ඇති එඩ්වඩ් ජයකොඩි ශූරීන් සමග ‘ඉරිදා ලංකාදීප’ය මතකාවර්ජන පිළිසඳරක යෙදුණේ මෙසේය.
● අපි අතීතයට යමු, ඔබගේ සංගීත දිවිය පටන් ගැනීම සිදු වූ හැටි මතකාවර්ජනය කරන්න?
ගායකයකුවීමේ වස්තු බීජය පටන් ගත්තෙ ගෙදරින්. ඉන් පස්සේ පාසලෙන්. මගෙ ලොකු අක්කාගෙ නම චාලට්. අපි හිටියෙ කෑගල්ලෙ හෙට්ටිමුල්ල ගමේ. කොළඹ එහෙම එන්න එච්චර ශක්තියක් පුළුවන්කමක් තිබුණෙ නැහැ. ඒ අතරේදී ශ්‍රී ලංකා පොලිසියට කාන්තාවන් බඳවා ගන්නා මුල්ම කාලයේදී අපෙ ලොකු අක්කාත් ඊට අයදුම් කරලා තිබුණා. එවකට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තිබුණෙ ගුවන් විදුලි සංස්ථාවට යාබදව. ඒ කාලයේ ගුවන් විදුලියෙ ආධුනික වැඩසටහන් එහෙම පැවැත්වුණා. අපේ චාලට් අක්කටත් හොඳට ගයන්න පුළුවනි. නමුත් අක්කා ආධුනික තරගවලට ගියේ නැහැ. එයා මා වෙනුවෙන් ආධුනික ගී වැඩසටහනකට අයදුම්පතක් යොමු කරලා තිබුණා. ඒකෙ නම “මොරවක ගුවන් තොටිල්ල” රියැලිටි වැඩසටහන්වල මුල් කාලය කිව්වොත් හරි. එතකොට තිබුණෙ ගුවන් විදුලිය විතරයි. එතැන් සිට අවුරුදු නමයක්ම ආධුනික වැඩසටහන්වලට ඉදිරිපත් වුණා. ඒ කියන්නෙ ගී ගැයුවේ ආධුනික වැඩසටහන්වල.
● ඒ වගේ වැඩසටහන්වලට ආව පසු කලෙක ඔබ මෙන් ජනප්‍රිය වෙච්ච තරු එහෙම හිටියද?
මොරවක ගුවන් තොටිල්ල වට කීපයක් පැවැත්වුණා. අවසාන 16 දෙනා අතරට මම තේරුණා. 16 දෙනා අතරට පිළියන්දලින් පැමිණ සිටිය නීලා වික්‍රමසිංහ නමැති තරුණිය හිටියා. ඩී.එස්. මාලිනි කියලා තරුණියකුත් හිටියා. එයා තමයි පසු කලෙක මාලිනි බුලත්සිංහල වුණේ. හැබැයි විශ්වාස කරන්න, එදා ඒ 16 දෙනාගෙ වටයෙන් එහාට අපි තුන් දෙනාගෙන් කාටවත් ඉදිරියට යන්න බැරි වුණා. අපි තේරුණේ නැහැ.
● ඔබ කිව්වනෙ මුලින්ම සංගීත ආභාසය ආවේ ගෙදරින් කියලා, ඒ කොහොමද?
මගෙ අම්මයි තාත්තයි කතෝලික. පල්ලියේදි ඇහෙන්නෙ බොහොම පරීක්ෂණයකින් යුතු සංගීතයක්. ඕනෑම කතෝලිකයකුට ඒ රිද්මය පිහිටනවා. ඒත් අපට ඒ ගැන දැනුමක් තිබුණෙ නැහැ. අක්කලා, අයියලා කළ දේ මාත් කළා. අපේ ගම කෘෂිකාර්මික ගමක්නෙ. ඒ කාලයේ අපට ඇහුණේ ගොයම් කවි, කරත්ත කවි, පාරු කවි. අපේ ගැමියෝ ඒවා ගායනා කළා. කඩමණ්ඩියට ගියාම කතාන්දර, කවි වගේ දේ අහන්න ලැබුණා. මට මතකයි පාරු කවි කඩේට ආ මිනිස්සු කී හැටි. හැබැයි අපට ඒ ගැන අගයක් තිබුණෙ නැහැ. රේඩියෝ එකේ සිංදු ඇහුවා. හැබැයි අපි අහපු ඒ කවි, ගී අපේ ජීවිතවලට මුසුවෙන්න ඇති. නෙළුම් කවි, ගොයම් කවි, පතල් කවි ඇහුණා. ඒ අතරේ පල්ලියේ ඇහුණේ වෙනස් සංගීතයක්. අපි කතෝලික වුණාට අපේ ගමම බෞද්ධ. දානයක් දෙනකොට අපේ තාත්තා පියතුමන්ලා වගේම පංසල් තුනක ස්වාමීන්වහන්සේලා ගෙදරට වැඩියා. ඔක්කෝමලා එකට ඉඳගෙන දානය වැළඳුවේ. හැබැයි එදා ඒ ගැන අපට වැදගත්කමක් දැනුණෙ නැහැ. පසු කලෙක ඒ සංහිඳියාව ගැන ඇති වුණෙත් ලොකු ගරුත්වයක්. තාත්තයි, අම්මයි උග්‍ර කතෝලික වුණාට අපේ ජීවිත ගොඩනැගුණෙම පංසල, පල්ලිය, පාසල, ගම එක්ක. ගමෙන් සහ පවුලෙන් ආ ආභාසය එක්ක මට හොඳ ගායන හැකියාවක් පිහිටා තිබුණා.
● පාසල් ගියේ?
මුලින් ගියේ හෙට්ටිමුල්ල බණ්ඩාරනායක කනිෂ්ඨ විද්‍යාලයට. පසුව කෑගල්ලෙ ශාන්ත මරියා විද්‍යාලයට.
● ඔබ ගැන අනාවැකි එහෙම කියලා තිබුණද? කවදාහරි ජනප්‍රිය වෙනවා කියලා එහෙම?
හෙට්ටිමුල්ල බණ්ඩාරනායක කනිෂ්ඨ විද්‍යාලයට ගියේ දෙකේ පංතිය වෙනකල් විතරයි. අපේ පවුලේ ඔක්කෝම හත් දෙනයි. කෑගල්ලෙ පල්ලියේ පාසල් දෙකක් තිබුණා. එකක් ශාන්ත මරියා පිරිමි විද්‍යාලය. ශාන්ත ජෝෂප් කන්‍යාරාමය කාන්තා. අපේ අක්කලා නංගිලා ගියේ ශාන්ත ජෝෂප් කොන්වන්ට් එකට. පිරිමි තුන් දෙනාට ශාන්ත මරියා විද්‍යාලයට යන්න අවස්ථාව ලැබුණා. පවුලේ 6 වැනියා මම. නංගි තමයි ලකී සෙවන්. පොලිස් තූර්ය වාදක කණ්ඩායමේ ස්ථාන භාර නිලධාරිනිය ලෙස ඇය විශ්‍රාම යන විට තනතුරු දැරුවා. මා ගැන කවුරුවත් අනාවැකි කියලා තිබුණෙ නැහැ. හැබැයි ගෙදරට ආ නැදෑයින් අනිවාර්යයෙන් මා ලව්වා ගීතයක් ගයවා ගත්තා. මටත් වඩා හොඳටම අපේ පවුලේ ගයන්න පුළුවන් ලොකු අයියට. අපේ පවුලේ ජනප්‍රියම ගායකයා තවමත් අපේ ලොකු අයියා. එයාගෙ නම ඇන්ටනි ජයකොඩි. නිලමේ අයියා කියලා තමයි අපි එයාට කිව්වෙ. අනෙක් සහෝදරියන්ටත් හොඳට ගයන්න පුළුවනි.
● කොහොම වුණත් පසු කාලෙක ඒ පවුලෙන් ලෝකයට ගියේ ඔබනෙ, ඔබගෙ ගමන පටන් ගත්තෙ අමරදේව ශූරීන් යටතේ නේද? කොහොමද එතුමාගෙ ගෝලයා වුණේ?
එදා ආධුනික ගී වැඩසටහනට අක්කා මාව කොළඹ එක්කගෙන ආවනෙ. ඒ වනවිට සා/පෙළ වගේම උසස් පෙළට කළේ වාණිජ විෂයන්. ඒත් සංගීත විෂයත් හැදෑරුවා. වාණිජ කරලා සංගීතය කළ එකම කෙනා මම වෙන්නැති. ඒ අතරවාරයේදී අක්කා රජයේ සංගීත විද්‍යාලයට මගේ අයදුම්පතක් යොමු කළා. ඒ පරීක්ෂණයට ආවේ 1972දී. ඉන්පසුව 1973දී රජයේ සංගීත විද්‍යාලයට ඇතුළත් වුණා. එහි ප්‍රධානියා ලෙස හිටියෙ ලයනල් එදිරිසිංහ මහතා. පසුව ඩී.එස්. විජේරත්න මහතා පත්වුණා. ඒ දෙන්නම හිටියෙ කෙටි කාලයයි. ඉන්පස්සෙ ඒ තනතුරට පත්වුණේ අමරදේව ශූරීන්. මම හිතාගෙන හිටියෙ ලොකු, උස මහත කෙනෙක් වෙන්නැති කියලයි. සැර රළු කෙනෙක් වෙන්නැති කියලත් හිතුවා. බැලින්නම් හරිම අහිංසක කාටවත් කරදරයක් නැති ශාරීරිකව බොහොම කුඩා නමුත්, දැවැන්ත චරිතයක් විදිහට මුලින්ම මම එතුමා හඳුනාගත්තෙ. පළමු වසරට හොඳ දක්ෂ කොල්ලෙක් පැමිණ සිටින වග එතුමාට හෙක්ටර් සොයිසා සර් කියලා තිබුණා. මගේ මිත්‍ර බන්ධුල විජේවීර, රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර, මාලිනි බුලත්සිංහල, ආනන්ද වීරසිරි මට වඩා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයින්. බණ්ඩාර ආතාවුදත් එහෙමයි. ඒ කණ්ඩායමට අමරදේව සර් සහ තවත් අය එක්ක විවිධ වැඩසටහන්වලට සහභාගි වෙන්න ගියා. ඒ අය යන හැටි දැක්කාම අනේ මටත් ඒ අය එක්ක යන්න ඇත්නම් කියලා ආසා හිතුණා. හෙක්ටර් සොයිසා සර් සහ බන්ධුල විජේවීර අමරදේව සර්ට මා ගැන කියලා තිබුණා. “අර ෆර්ස්ට් ඉයර් එකේ ජයකොඩි කියන ශිෂ්‍යාට එන්න” කියලා අමරදේව සර් පණිවුඩයක් එවලා තිබුණා.
● එදා අමරදේව සර් හමුවෙන්න ගියාම? 
එතුමාගේ මෝටර් රථයට නගින්න කිව්වා. ඉතින් ඒකෙ නැගලා මාත් උජාරුවෙන් යන්න පටන් ගත්තා. ඊට ඉස්සෙල්ලා, රෝහණ, ලක්ෂ්මන්, මාලිනිලා සර් එක්ක වැඩසටහන්වලට කලින් ගිහින් තිබුණාට කාර් එකේ එහෙම ගිහින් තිබුණෙ නැහැ. ඉතින් සර් මොකද මේ අලුත් කොල්ලව කාර් එකේ දාගෙන ගුවන් විදුලියෙ වැඩසටහන්වලට යන්නෙ කියලා එයාලත් පුදුම වෙන්න ඇති. ඒ විදිහට එක්කාගෙන ගිහින් අමරදේව සර් අපට ගීතයක් පුහුණු කළා.
“වැසි වසිනා අහස අපි
පිනි දිලෙනා පොළව අපි.....
ගීතය වෙනුවෙන් අත්වැල් ගැයුමට එක්කර ගත්තෙ.
● ඉතින් ඒ විදිහට එදා කාර් එකේ යද්දී අමරදේව සර් එක්කමොනවා ගැනද කතා කළේ?
මොනවත් කතා කරන්න ගියේ නැහැ. සර්ට බයයි. සුළු පටු චරිතයක්ද? කතා කරන්න බය හිතුණා. අනෙක කොහේටද මේ එක්ක යන්නෙ කියලා දැන ගෙන හිටියෙත් නැහැ. මුළු ලෝකෙම එක්ක ඉන්න රජ්ජුරුවෝ එක්ක යනවා වගේ හැඟීමක් ඇති වුණේ.
● කොහොම වුණත් ඔබ එතුමාගෙ ගෝලයානෙ මොනවද එතුමා ඔබට කිව්වෙ!
එතුමා එහෙම කියන්නෙ නැහැ. එයා කරන දේ අපට මැජික් වගේ වුණා. ඒ දේවල් ඉගෙන ගත්තා. වෙන වැඩ පාඩු කරගෙන හරි එතුමා එක්ක කාර් එකේ යන්න අපි ආස කළා. සර්ගෙ කාර් එකට නගින්න ලෑස්ති වෙලා හිටියෙ. ඒ වෙලාවට ’ජයකොඩි’ යමු නේද එහෙනං කියලා කොහේ හරි එක්කගෙන ගියා. සමහර වෙලාවට හැතැප්ම දහය පහළොව ගිහින් එහෙනං ජයකොඩි බැහැලා යන්න කියන අවස්ථා තිබුණා. සල්ලිත් නැතුව ආපහු එන්න වුණේ පයින්ම. ඒත් සර්ගෙ කාර් එකේ ආවනෙ. ඒක ලොකු සතුටක්.
තනුවක් හදන්න වරු ගණන් පැය ගණන් එතුමා ගත කළේ නැහැ. පටිගත කිරීම්වලදී වාදක මඩුල්ලත් ඇවිත්, ශබ්ද පරිපාලක ඉංජිනේරු ඇවිත්, රෙකෝඩින් කරන්නත් ලෑස්තියි. සමූහ ගායක කණ්ඩායමත් ඇවිත්. ඒත් ඒ වෙනකල් එතුමා ගීතය හදලා නැහැ. එතුමා සර්පිනාව හරි, පියාණෝව හරි ළඟට අරගෙන, සුදු කොළ අරගෙන කාබන් කොළ ඒ අතර තියනවා. ඔන්න ඉතින් ස්වර ප්‍රස්ථාරය සට පට ගාලා හදලා වාදක මණ්ඩලයට බෙදලා දෙනවා. ඒක හරි විශ්වකර්ම වැඩක්. අවසන රස ගිතයක් නිර්මාණය වෙන්නෙ. පෝෂ්‍යදායි දේ එන ෆැක්ටරියක් වගෙයි.
● එතුමා භාත්ඛණ්ඩෙ ගියානෙ. ඒ කාලයේ භාත්ඛණ්ඩෙ යාම රැල්ලක් වගේ ජනප්‍රිය වුණානේ? ඔබ ගියෙත් ඒ රැල්ලටද භාත්ඛණ්ඩෙට?
එතුමා ඊට බොහෝ කලකට පෙර ගිහින් ඇවිත් හිටියෙ. සෑම රටකම තමුන්ගේ රටට ආවේනික වූ දේශීය සංගීතයක් තියෙනවනෙ. සමහර රටවල එය දියුණුයි. සමහර රටවල දියුණු නැහැ. අපටත් වටිනා දේශීය සංගීතයක් තියෙනවා. ඩබ්.බී. මකුළුලොව, සී. ද එස්. කුලතිලක වගේ මහත්වරු උත්සාහ කළේ ඒ විශිෂ්ට සංගීතයට පණ දෙන්න, ලයනල් රංවල, රෝහණ බැද්දගේ මහත්තුරු සටන් කළෙත් අපේ සංගීතය ලෝකයට පෙන්වන්න. ඒක වටිනව වුණාට ශාස්ත්‍රයක් විදිහට අදටත් දියුණු නැහැ. ඉන්දියාවේ භාරතීය සංගීතය භාවිතා කරන්න අපට අවශ්‍ය වුණේ ඒ නිසයි. ඒ නිසා අපි හැමෝම භාරතීය සංගීතය වැළඳ ගත්තා. විෂය නිර්දේශයටත් බටහිර – පෙරදිග ලෙස වෙන් වුණා. විෂය නිර්දේශ ගත්තාම පෙරදිග සංගීතයේ සියයට 75ක් විතර තියෙන්නෙ භාරතීය සංගීතය. රජයේ සංගීත විද්‍යාලයට පවා බඳවා ගත්තෙ භාරතීය සංගීතය පරීක්ෂණයක් තියලා. හැබැයි මම ඉන්දියාවට ගිහින් ඉගෙන ගත්තෙ නැහැ.
● එහෙනම් ඔබ කොහොමද විශාරද විභාගය කළේ?
ඉන්දියාවේ ඉල්ලුම වැඩි වෙද්දී, එයාලා වෙන වෙන රටවලට එය ව්‍යාප්ත කළා. විභාගයට නියමිත දිනයට අදාළව ප්‍රශ්න පත්‍ර ඒ ඒ රටවලට යැව්වා. ඒ විදිහට තමයි භාත්ඛණ්ඩේ විභාග පැවැත්වෙන්නෙ ඒ වෙනුවෙන් භාත්ඛණ්ඩෙ මධ්‍යස්ථාන මෙහේ තිබෙනවා.
● එතකොට ඒ විභාග ලියන්න හිංදි ඉගෙන ගත්තෙ කොහොමද?
ඉංග්‍රීසියෙන් සහ හිංදියෙන් ලියන්න තිබුණෙ. ප්‍රායෝගික පරීක්ෂණයට එහේ අය මෙහේ ආවා. මෙහේ ඉගෙන ගන්න පහසුකම් තිබුණා. අද මම වුණත් විශාරද විභාගයට උගන්වනවා. රාගධාරී සංගීතය තමයි ඒ සියල්ලට මූලය වුණේ. ඉන්දියාවේ ලක්නව් භාත්ඛණ්ඩේ සංගීත විද්‍යා පීඨය තමයි විශාරද පට්ටම සහතික කරන්නෙ. ගීත එහෙම හිංදි භාෂාවෙන් ඉගෙන ගත්තෙ අදාළ වචන සියල්ල හිංදියෙන්. හැබැයි අපි විභාගය ලිව්වෙ ඉංග්‍රීසි භාෂාවෙන්.
● හිංදි දන්නවද?
තේරුම් ගන්න පුළුවනි. මම විශ්ව විද්‍යාල විභාගයට කළේත් භාරතීය සංගීතය, දේශීය සංගීතය සහ හිංදි භාෂාව. අපි ඇතුළත් වුණේ රජයේ සංගීත විද්‍යාලයට. ඉස්සර හේවුඩ් එක කියලා කිව්වේ ඒ ආයතනයට. නැටුම්, චිත්‍ර හා මූර්ති සහ සංගීත යන අංශ එහි තිබුණා. මම හේවුඩ් එකට යද්දි සංගීත අංශයේ ප්‍රධානියා වුණේ අමරදේව සර්. නර්තන අංශයේ ප්‍රධානියා වුණේ පණීභාරත සර්, චිත්‍ර හා මූර්ති අංශයේ ප්‍රධානියා වුණේ මහගමසේකරයන්. ඉතින් ඒකම අපට ඇති. වෙන තව මොනවද අවශ්‍යය! මහ බල කණු තුනක් යටතේ අපි හිටියේ. හේවුඩ් එකේදී මුලින්ම මම ඉගෙන ගත්තෙ ජී.එච්. පීරිස් සර් යටතේ. බොහොම රසවත්ව ඉගෙන්වූ ගුරුවරයෙක්. අපේ පළමු වසරේදීම තමයි සනත් නන්දසිරි තරුණ ගුරුවරයා ආවෙත්. විජේරත්න රණතුංග තරුණ ගුරුවරයා වගේම අයිවෝ ඩෙනිස් තරුණ ගුරුවරයා ආවෙත් ඒ කාලයේදීයි. අමරා රණතුංග ගුරුවරියත් හිටියා. මේ වගේ මහ බල කණු රැසක් හිටියා. මේ සෑම ගුරුවරයෙක්ගෙන්ම වගේ මම ඉගෙන ගත්තා.
● හිංදි ඉගෙන ගන්න අමාරු වුණොද?
ෆයිනල් විභාගයටත් ලිව්වා. සංගීත විද්‍යාලයෙන් අපට ලැබුණෙ ලොකු වරමක්. විභාගයට අවශ්‍ය විදිහට හිංදි ටික ඉගෙන ගත්තා. සංගීත විද්‍යාලයට ගිහින් විශාරද විභාගය කිරීම දක්වා ආ ගමන හරියට මට දැනුණෙ ලොතරැයියක් ඇදුණ විදිහටයි. ජී.වී. නන්දසිරි සර්, බී. වික්ටර් පෙරේරා සර් එහෙමත් හිටියා. මේ වගේ පිරිසක් යටතේ ඉගෙන ගනිද්දි ඒ නිසාම අපි මාර වැඩකාරයොනෙ කියන හැඟීම ඇති වුණේ ඉබේටම. සුනිල් ශාන්ත මහත්මයා එක්කත් වැඩසටහනක් කරන්න ලැබුණා අයිවෝ ඩෙනිස් සර් නිසා. අයිවෝ සර්ගෙ ප්‍රධාන ගෝලයෙක් මම.
● ඔය උඩුරැවුල ඒ කාලයේදීත් ඔබට තිබුණාද?
ඒ කාලයේ ඉඳලම උඩු රැවුල තිබුණා.
● හේවුඩ් එකේදී උඩු රැවුලයි බොකුටු කොණ්ඩෙයි තියෙන ලස්සන එඩ්වඩ් තරුණයාට කෙල්ලෝ වශීවෙලා ඉන්න ඇති?
එහෙම නැහැ, අපි හරි කෙසඟ කොල්ලො. ගමේ ඉඳලා ආපු බොහොම සාමාන්‍ය පෙනුම තිබූ අය. සංගීත විද්‍යාලයේ සහ නැටුම් විද්‍යාලයේ අපට වඩා ලස්සන අය හිටියා.
● දැනුත් භාත්ඛණ්ඩේ ගිහින් ඉගෙන ගන්න ඕනෑය කියන රැල්ල තියෙනවද?
දැන් ඒ විභාග ඉගෙන ගන්න බොහොමයක් මධ්‍යස්ථාන තියෙනවා. ඒත් ඊට වඩා විශ්වවිද්‍යාල මට්ටම උඩට ගිහින්. දැන් දරුවන්ගෙ පැතුම සෞන්දර්යය විශ්ව විද්‍යාලයට යාමයි. විශ්ව විද්‍යාල උපාධියත් එතැනින් ලැබෙනවනෙ. හැබැයි උපාධිය වෙනයි, විශාරද විභාගය වෙනයි. හැබැයි මෑතක සිට විශාරද විභාගයෙන් ගුරු පත්වීම් දෙන එක නතර වෙලා තියෙන්නෙ. ඒ නිසා සමහර ළමයි හිතන්නෙ විශාරද කරලා ගුරු පත්වීමක්වත් ගන්න බැහැ කියලයි. විශ්ව විද්‍යාල උපාධියක් තියෙන අයට විතරයි ගුරු පත්වීම් ලැබෙන්නෙ. විශ්ව විද්‍යාලයට යාමට නොහැකි වූ ලකුණකින් දෙකකින් අඩු අයට විද්‍යා පීඨ තිබෙනවා. එයාලටත් ගුරුපත්වීම් දෙනවා. ගුරුපත්වීමක් දෙන විට විශාරද විභාගය කළ අයට අමතර ලකුණක් ලබා දුන්නා. ඒත් විශාරද විභාගය කිරීමේ අඩුවක් වෙලා නැහැ. මගේ පංතියේ එනම් එඩ්වඩ් - චරිතා “සැරිසර” ආයතනයේ විශාරද විභාගය කරන්න විවිධ මට්ටම්වල අය රාශියක් පැමිණෙනවා. විශ්ව විද්‍යාලයට යන දරුවොනුත් එනවා. වෛද්‍ය, ඉංජිනේරු, ව්‍යාපාරික, ගෘහණියන් පවා එනවා.
● විශාරද හැදෑරුවාම තියෙන වෙනස මොකක්ද? සංගීත අංශයේදී විශාරද සහ සාමාන්‍ය කෙනෙක් හඳුනා ගන්න පුළුවන් විදිහ? විශේෂයෙන්ම ගායනයේදී එයා විශාරද කියන විදිහ හඳුනා ගත හැකි විදිහ?
ගායනය කියන දේ තමුන්ට සහජයෙන්ම ලැබුණු, උපතින්ම පිහිටවූ දෙයක්. කට හඬ ගායන හැකියාව ඒ විදිහයයි. ඒ නිසා විෂයක් හැටියට එය ඉගෙන ගත්තද කියන දේ ගැයුමට බලපාන්නෙ නැහැ. ඒකට අපේ රටේ ඕනෑ තරම් උදාහරණ තියෙනවා. හොඳම උදාහරණය තමයි එච්.ආර්. ජෝතිපාල මහත්මයා. ඇන්ජලීන් ගුණතිලක මහත්මිය, ලතා වල්පොල මහත්මිය. ඒ වගේම වික්ටර් රත්නායක මහතා, සනත් සර්, සුජාතා මහත්මිය වගේ චරිත හැකියාව එක්ක විෂය හැදෑරු අය. ඊට උදාහරණ බොහෝ තිබෙනවා. සංගීතය හදාරලා තිබෙන විට, ස්වර ප්‍රස්ථාර යොදන්න ඉවහල් වෙනවා. අමරා රණතුංග මහත්මිය, දයාරත්න රණතුංග සර් වගේ අය එක්ක වැඩ කරද්දි අපි ඒ ස්වභාවය දැකලා තියෙනවා. හැබැයි අමතක කරන්න බැරි දේ තමයි ජෝතිපාල මහතා. එයාට ස්වර ප්‍රස්ථාරත් නැහැ. රාග දාන්නෙත් නැහැ. ස්වර දන්නෙත් නැහැ. ඒත් තවමත් අපේ රටේ නම්බර් වන් ගායකයෙක්.
● රාග, තාල, ස්වර, ප්‍රස්ථාර, මේ ඔක්කෝම දන්න ‘‘එඩ්වඩ්’’ ජයකොඩි, ජෝතිපාලයන්ගෙ කැමතිම ගීතය?
එතුමාගේ ගීත තොගයකට මම කැමතියි. ඒ අතරින්, මම ගයන්න ආසම ‘කොතැනක හිටියත් ඔබ මෙලොවේ දිගු කල් ජීවත් වෙන්නකෝ...’ ගීතයට. පාසල් කාලයේදී ඒකට පිස්සු හැදිලා වගේ හිටියෙ. සරත් දසනායකයන්ගේ සංගීතයට ජෝතිපාලයන් ගැයූ චිත්‍රපට ගීත එකකට එකක් නෑර මම ආසයි.
● ජෝති එක්ක එකම වේදිකාවේ ගී ගයද්දී, ඔහුගෙන් ඔබට ලැබුණු ප්‍රතිචාර මොන වගේද?
චිත්‍රපටයක ගීත ගැයීම සිහිනයක්ව තිබූ අවදියක, සෝමපාල ලැනරෝල් අධ්‍යක්ෂණය කළ කිරිකවඩි චිත්‍රපටයේ ගීතයක් ගයන්න ලැබුණා. එහි මම ගායනා කළේ ‘ත්‍රිත්ව’ ගැයුමක්. චන්ද්‍ර අරංගල්ලගේ සංගීතයට ඒ ගීතය ගැයුවේ. එච්.ආර්. ජෝතිපාල මහතා සහ නිරංජලා සරෝජනී මහත්මිය සමග මම. ඒක මට ලැබුණු මහා වාසනාවක්. පොඩි කාලයේ ඉඳලා පිචර් බලලා, ජෝතිපාල මහත්තයාගේ ගීත අහලා හිටපු මට එය ලොකු අවස්ථාවක් වුණා. අමරදේව සර් මගේ ගුරුතුමා වුණාට මගේ ප්‍රියතම ගායකයා වුණේ ජෝතිපාලයන්. ඒ වගේම පොඩි කාලයේදී මොහිදින් බෙග් මගේ වීරයා වුණා. ඉස්සර ජෝතිපාල මහතා චරිතගෙ තාත්තා ආරියදාස පීරිස් මහතාගේ ගෙදරට ආ ගිය කෙනෙක්. එතැනදී තමයි මට එතුමා හඳුනාගන්න ලැබුණෙ. චරිතාගෙ ගෙදර යන්න එන්න පටන් ගත්ත කාලයේදී මම ඉතින් හිතාගෙන හිටියෙ මම මහා ලොකු ගායකයෙක් කියලා. හැබැයි ආරියදාස පීරිස් මහතා හමුවන්න ජෝති අයියා වගේ දැවැන්තයින් යන එන හැටි දැක්කාම මම කවුද කියලා මට හිතුණා.
● ඔබ එදා ආරියදාස පීරිස් මහතා හමුවෙන්න ආවේ “චරිතා” එක්ක තිබූ ප්‍රේමය නිසාද?
මාව ආරියදාස පීරිස් මහතා ළඟට එක්කාගෙන ගියේ, මගේ පාසල් සමයේ මුල්ම ගුරුවරයා වන කෑගල්ලෙ සමරපාල සර්. මගේ ගුරු දෙවියෝ තමයි ශාන්ත මරියා විද්‍යාලයේ මගේ සර් සමරපාල මහතා. මාව මේ තත්වයට ගෙනාවේ එතුමා. මාව කොළඹ එක්කගෙන ආවාම අපි නතර වුණේ ආරියදාස පීරිස් මහතාගේ ගෙදර. ඒ විදිහට ආපු අපි දෙන්නා අතරින් ආරියදාස පීරිස් මහතාගේ නංගි එක්ක විවාහ වුණේ සමරපාල සර්. එතුමාගේ ගෝලයා එඩ්වඩ් විවාහ වුණේ ආරියදාස පීරිස් මහතාගේ දියණිය චරිතා එක්ක. දිග කතාවක් මම කිව්වෙ කෙටියෙන්. ගායනා වැඩසටහන්වලදී ජෝතිපාලයන් හමුවුණාම, මෙහෙම කියපං මල්ලි, මේ විදිහට ගයපං කියලා මාව උනන්දු කළා. බොහොම සහයෝගයක් දුන් චරිතයක්. නිරංජලාත් හරිම නිහතමානී චරිතයක්.
● එතකොට කොයි කාලයේදී ද ඔබ කොළඹ නාලන්දාවේ ඉගැන්නුවේ?
1980 සිට 1982 දක්වා. ඉන්පසුව 1982 සිට 86 දක්වා ගුරුකුල විද්‍යාලයේ සංගීත ගුරුවරයා ලෙස කටයුතු කළා. 1986දී අධ්‍යාපන අමාත්‍යාංශයේ සංගීත අංශයේ මාණ්ඩලික අධ්‍යාපන නිලධාරිවරයකු වශයෙන් පත්වීමක් ලැබුවා. විශ්‍රාම යන විට කටයුතු කළේ, සංගීත විෂය භාර අධ්‍යාපන අධ්යක්ෂවරයා තනතුර දැරුවා.
● ගායනයට අමතරව රඟපෑමටත් එක්වුණා නේද? අපට ඒ ගැනත් කියන්න.
‘‘ගුත්තිල’’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපෑවා. ඒ විදිහට මහා ලොකුවට නැතත් කලා විෂයෙහි විවිධ අංගවලට දායක වෙලා තියෙනවා. ගීත ලියලා තියෙනවා, තනු නිර්මාණය කරලා සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙනවා. වේදිකාවේ රඟපාලා සම්මාන අරන් තියෙනවා. සංගීත අධ්යක්ෂණයට, ගායනයට සම්මාන ලබා තිබෙනවා. පෙර පාසල්වල සිට වැඩිහිටියන් දක්වා සංගීත විෂය තවමත් උගන්වනවා. ගුරු වෘත්තියට මම ආසයි. මම දන්න දේ කියා දීලා මැරෙන එකට මම ආසයි. අපේ ගමේ ‘‘ළිඳ’’ ගත්තොත් වටේම අයට ඇවිත් ‘වතුර’ අරගෙන යන්න පුළුවන්. තහංචි නැහැ. අපේ අම්මලා, තාත්තලා එහෙම කළේ ළිඳෙන් වතුර ගන්න තරමට උල්පත්වලින් පිරිසිදු ජලය එන නිසයි. ඒ ආදර්ශය මට තිබෙනවා. මම දන්නා දේ හැමදාම පූජා කරන්න කැමතියි තවත් පරපුරකට. ඒ නිසා මගේ දැනුමේ ළිඳෙන් පිරිසිදු වෙනවා කියලා මම විශ්වාස කරනවා.
● ‘චරිතා’ නමැති අකුරු ත්‍රිත්වය ඔබට විග්රහ කරන්න කිව්වොත් කොහොමද ඔබ එය කරන්නෙ?
අනුන්ට උදවු කරන්න කැමති, කිසිම වයස් භේදයක් නැතුව ඉගෙන ගන්න කැමති, මා ගැන, එඩ්වඩ් ගැන, එඩ්වඩ්ටත් වඩා හොඳින් ආදරයෙන් සොයා බලන චරිතයක් තමයි චරිතා.
( I J)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd