• සැප්තැම්බරයේ සියයට 8.1ක් වූ උද්ධමනය ඔක්තෝබරයේ සියයට 8.5ක් වෙයි 
  • 2023 වසරේ ජ‌ූනි මාසයේදී උද්ධමනය සියයට 10.8යි 
  • ප්‍රවාහන පිරිවැය ඉහළ යෑම උද්ධමනය ඉහළ යෑමට මූලික හේතුවක් 
  • උද්ධමන පීඩනය ආර්ථිකය පුරා කෙසේ පැතිරේද යන්න ගැටලු‍වයි - ආර්ථික විශ්ලේෂකයෝ පවසති 
  • උද්ධමනය ඉලක්කගත සියයයට 5ට එන්නේ 2027 දෙවැනි භාගයේදී 
  • උද්ධමන පුරෝකථනයක් යනු පොරොන්දුවක් හෝ බැඳීමක් නොවේ - මහ බැංකුව 

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව ඔක්තෝබර් මාසයේදී ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වාර්තා කර ඇති සියයට 8.5ක උද්ධමනය 2023 වසරේ ජූනි මාසයෙන් පසුව එනම් මාස 40 කට පසුව වාර්තා වී ඇති ඉහළම ජාතික උද්ධමන අගය ලෙස සටහන්ව තිබේ. 2023 ජූනි මාසයේදී උද්ධමනය සියයට 10.8ක් ලෙස සටහන් විය. 

එතැන් සිට ක්‍රමයෙන් අඩු වී 2023 අගෝස්තුවේදී තනි අගයක් බවට පත් වූ උද්ධමනය 2024 සැප්තැම්බරයේදී ඍණ අගයක් දක්වාද පහළ යමින් මේ වනවිට යළිත් වටයකට ඉහළ යමින් තිබෙන බව ආර්ථික විශ්ලේෂකයෝ සඳහන් කරති. 

විශේෂයෙන්ම මෙම වසරේ පෙබරවාරි මාසය අගදී හටගත් මැදපෙරදිග යුද ගැටුම් නිසා ඇති වූ ඉන්ධන සහ බලශක්ති පීඩනය මේ සඳහා හේතුව වී තිබේ. 

ආසන්න වසර කිහිපයේ මහ බැංකු දත්ත වාර්තා අනුව මෙම උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේදී ඍණ අගයකට පත් වෙමින් අවධමනයක් පෙන්නුම් කළ අතර, 2025 අප්‍රේල් දක්වා එය පැවතුණි. කෙසේ වෙතත් එතැන් සිට ක්‍රමයෙන් ඉහළ ගිය උද්ධමනය පෙබරවාරි මාසය අගදී ආරම්භ වූ මැදපෙරදිග යුද ගැටුම්වලින් පසුව මාර්තුවේ සිට ක්‍රමයෙන් ඉහළ යාමක් සිදු විය. 

ඒ අනුව මාර්තුවේදී සියයට 2.4ක්, අප්‍රේල් සියයට 4.7ක් සහ මැයි සියයට 5.4ක් වූ එම උද්ධමන අගය, මහ බැංකුවේ උද්ධමන ඉලක්කයද 2024 පෙබරවාරියෙන් පසුව පළමුවරට අභිබවා යාමට සමත් විය. 

ඉන් අනතුරුව ගත වූ මාස කිහිපයේදී උද්ධමනය කැපී පෙනෙන ලෙස ඉහළ ගිය අතර, ජූනි මාසයේදී සියයට 6.5ක් වූ එය ජූලියේදී සියයට 7.2ක් දක්වාත් අගෝස්තුවේදී සහ සැප්තැම්බරයේදී පිළිවෙළින් සියයට 8.1ක් දක්වාත් ඉහළ යාම සිදු විය. 

“මැදපෙරදිග අර්බුදය නිසා ජනජීවිතයට එල්ල වූ බලපෑම් අවම කිරීමේ අරමුණින් රජය ලබාදුන් ඉන්ධන සහනාධාරය මෙන්ම බලශක්ති මිල ගණන් නියමිත පිරිවැය මිලට ලබා නොදීම යනාදී කාරණා නිසා ආසන්න මාස කිහිපයේදී රට තුළ සැබෑ උද්ධමනයක් පෙන්නුම් කළේ නෑ.” ඇතැම් ආර්ථික විශ්ලේෂකයෝ සඳහන් කරති. 

මෙලෙස ඔක්තෝබර් මාසයේදී උද්ධමනය සියයට 8.5ක අගයකට පත්වීම සඳහා සැප්තැම්බර් මාසයේදී සියයට 6.9ක් ලෙස සටහන් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය ඔක්තෝබරයේදී සියයට 7.2ක් දක්වා ඉහළ යෑමත්, සැප්තැම්බරයේදී සියයට 9.1ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ඔක්තෝබරයේදී සියයට 9.5ක් දක්වා ඉහළ යෑමත් හේතු වී තිබෙන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 

ඒ අනුව ජාතික පාරිභෝගික මිල දර්ශකය සැප්තැම්බර් මාසයේදී පැවැති 224.2 ක සිට 225.1 ක් දක්වා ඉහළ නැග තිබේ. මෙය මාසිකව සියයට 0.4 ක වර්ධනයක් ලෙස සටහන්ව ඇත. 

මෙහිදී ඔක්තෝබරයේ උද්ධමනය ඉහළ යෑම සඳහා මූලිකවම බලපා ඇති ආහාර නොවන කාණ්ඩයේ උද්ධමන ඉහළ යෑමට ප්‍රවාහන පිරිවැය දරුණු ලෙස බලපා තිබේ. ඒ අනුව ප්‍රවාහන උද්ධමනය සැප්තැම්බරයේ පැවැති සියයට 18.7 ක සිට ඔක්තෝබරයේදී සියයට 20.9ක් දක්වා ඉහළ නැග ඇත. 

 “උද්ධමනය ඉහළ යාම මිල ගණන්වලට පමණක් නොව, මිලදී ගැනීමේ ශක්තිය, ගෘහස්ථ අයවැය, ව්‍යාපාරික පිරිවැය සහ පුළුල් මූල්‍ය ප්‍රතිපත්ති දැක්ම කෙරෙහි ද බලපෑම් ඇති කරනවා. ඒ අනුව මෙහිදී වැදගත් ප්‍රශ්නය වන්නේ මිල ගණන් කොපමණ ප්‍රමාණයකින් ඉහළ යන්නේද යන්න පමණක් නොව, උද්ධමනකාරී පීඩනය ආර්ථිකය පුරා කෙතරම් පුළුල් ලෙස පැතිර යන්නේද යන්නයි.” යනුවෙන් ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. 

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයද, පසුගිය නොවැම්බර් 19 වැනිදා රැස් අවස්ථාවේදී, ඉහළ යන උද්ධමනය පාලනය සඳහා එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය සියයට 9ක් දක්වා ප්‍රතිශතාංක 0.25කින් ඉහළ දැමීමට තීරණය කළේය. 

කෙසේ වෙතත් ලබන මාසයේදී මෙම උද්ධමනය තවදුරටත් ඉහළ යමින් සියයට 9ක අගයකට පත් වෙනු ඇතැයි අපේක්ෂා කරන බවද මහ බැංකු මුදල් ප්‍රතිපත්ති විවරණයේදී අදහස් දැක් වූ මහ බැංකු අධිපතිවරයාද සඳහන් කර තිබුණි. 

එසේම වර්තමානයේදී ඉහළ යමින් පවතින උද්ධමනය, එහි ඉලක්ක ගත සියයයට 5ක මට්ටමකට පත්වනු ඇත්තේ 2027 දෙවැනි භාගයේදී පමණ බවට සිය අපේක්ෂා යැයි ශ්‍රී ලංකා මහ බැංකුව එම මුදල් ප්‍රතිපත්ති විවරණයේදී සඳහන් කර තිබේ. 

එතෙක් මැදි කාලින උද්ධමන අපේක්ෂා, උද්ධමන ඉලක්කය වටා ස්ථාවරව පවතින නමුත්, විශේෂයෙන්ම ඉතිරි වසරක කාලය සඳහා වන උද්ධමන අපේක්ෂා මෑත කාලිනව ඉහළ යාමක් පෙන්නුම් කරනු ඇති බවත් මහ බැංකුව පවසයි. 

විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ ගැටුම්කාරී තත්වය අපේක්ෂා කළ කාලයට වඩා දිගු කාලයක් පැවතීම හේතුවෙන් ඉහළ ගිය ගෝලිය බලශක්ති මිල ගණන් සහ ආහාර මිල ගණන් හේතුවෙන් ඔක්තෝබරය වන විට මෙරට උද්ධමනය සියයට 8.3ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පවසයි. 

එසේම නවතම පුරෝකථනවලට අනුව උද්ධමනය, නුදුරු කාලීනව පෙර පුරෝකථනය කළ කාලයට වඩා දිගු කාලයක් ඉහළ මට්ටමක පැවතිය හැකි බවත් මහ බැංකුව පවසයි. 

මේ අතර පුරෝකථනයක් යනු පොරොන්දුවක් හෝ බැඳීමක් නොවන බවත් මහ බැංකුව මෙම වාර්තුව තුළ වැඩිදුරටත් සඳහන් කරයි.