• අදාළ කොන්ත්‍රාත්තු පිරිනැමීම ස්ථිර කරන ලිපි පසුගිය 19 වැනිදා මාර්ග සංවර්ධන අධිකාරිය හරහා හිමිවෙලා

මෙරට ප්‍රමුඛතම ඉදිකිරීම් සේවා සමාගමක් වන ඇක්සස් ඉන්ජිනියරින් පීඑල්සී සමාගම වෙත මහාමාර්ග ඉදිකිරීම සඳහා වන රුපියල් බිලියන 67.997ක් වටිනා රජයේ කොන්ත්‍රාත්තු හිමිව ඇතැයි පවසයි.

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගමක් වන එම සමාගම පසුගියදා ලිපියක් මගින් එම හුවමාරුව වෙත මේ පිළිබඳව දැනුම් දී තිබේ.

පසුගියදා රැස්වුණු කැබිනට් මණ්ඩල හමුවේදී අනුමත කෙරුණු මාර්ග සංවර්ධන ව්‍යාපෘති යටතේ මෙලෙස ඇක්සස් ඉන්ජිනියරින් සමාගමටත් කොන්ත්‍රාත්තු කිහිපයක් හිමිවිය. 

ඒ අනුව අදාළ කොන්ත්‍රාත්තු පිරිනැමීම ස්ථිර කරන ලිපි පසුගිය නොවැම්බර් 19 වැනිදා මාර්ග සංවර්ධන අධිකාරිය හරහා හිමිවුණු බවත් සමාගම පවසයි. 

මෙහිදී මධ්‍යම අධිවේගී මාර්ගයේ - 4 කොටස, IJ පැකේජය සඳහා රුපියල් බිලියන 22.389කි. 

රුවන්පුර අධිවේගී මාර්ගයේ- අදියර 1, 1G පැකේජය සඳහා රුපියල් බිලියන 17.619ක් සහ රුවන්පුර අධිවේගී මාර්ගයේ- අදියර 1, 1E පැකේජය සඳහා රුපියල් බිලියන 27.989ක් ලෙස මෙම මුදල් වෙන් කර තිබේ. 

කෙසේ වෙතත් මෙම මිල ගණන් අගය මත එකතු කළ බද්ද හැර සකස් කර ඇති බවත් ඇක්සස් ඉන්ජිනියරින් සමාගම වැඩිදුරටත් පවසයි.