• මූල්‍ය පහසුකම් සඳහා ප්‍රවේශය පුළුල් කිරීම, ආර්ථික හා කාලගුණික කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම මෙහි අරමුණයි 
  • ඩොලර් මිලියන 100ක ප්‍රතිපත්ති පාදක ණයකින් සහ ඩොලර් මිලියන 40ක හරිත ණය ඊට ඇතුළත් 

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSMEs) ශක්තිමත් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් අනුමත කර ඇතැයි පවසයි. 

සියල්ලන් ඇතුළත් කරගත් මූල්‍ය පහසුකම් සඳහා ඇති ප්‍රවේශය පුළුල් කිරීම, ණය තොරතුරු පරතරය අවම කිරීම සහ ආර්ථික හා කාලගුණික කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම මෙහි අරමුණ වී තිබේ. 

ඒ අනුව මෙම මූල්‍ය පැකේජය ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා වන මූල්‍ය පරිසර පද්ධතිය වැඩිදියුණු කිරීම වෙනුවෙන් ලබා දෙන ඩොලර් මිලියන 100ක ප්‍රතිපත්ති පාදක ණයකින් (policy-based loan) සහ හරිත ණය (green loans) සඳහා වෙන් කෙරෙන ඩොලර් මිලියන 40ක් ද ඇතුළුව එම ව්‍යවසාය වෙත ආයෝජන ණය ලබා ගැනීමේ ප්‍රවේශය පුළුල් කිරීම සඳහා ලබා දෙන ඩොලර් මිලියන 100ක මූල්‍ය අතරමැදි ණයකින් (financial intermediation loan) සමන්විත වන බව පැවසෙයි. 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂිකා ෂැනන් කොව්ලින් මහත්මිය මෙසේ පැවසුවාය. “ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට වර්ධනය වීමට, නවෝත්පාදනය කිරීමට සහ ආර්ථික කම්පනවලට මෙන්ම දේශගුණික විපර්යාස හා සම්බන්ධ ආපදාවලට ඔරොත්තු දීමට හැකි වන පරිදි වඩාත් ශක්තිමත්, සියල්ලන් ඇතුළත් මූල්‍ය පරිසර පද්ධතියක් ගොඩනැගීමට මෙම වැඩසටහන ශ්‍රී ලංකා රජයට උපකාරී වනු ඇත,”

විශේෂයෙන්ම දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 52කට වැඩි ප්‍රමාණයකට සහ සමස්ත රැකියා නියුක්තියෙන් සියයට 45කට දායක වන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අතිශයින් තීරණාත්මක වන බව එම බැංකුව පවසයි. 

කෙසේ වෙතත්, මූල්‍ය පහසුකම් සඳහා ඇති සීමිත ප්‍රවේශය, ඩිජිටල්කරණයේ අඩු මට්ටම සහ දේශගුණික විපර්යාස සම්බන්ධ ආපදා වැනි කම්පනවලට ගොදුරු වීමේ අවදානම හේතුවෙන් මෙම ව්‍යවසාය තවදුරටත් සීමා වී පවතින බවත් ADB වැඩිදුරටත් සඳහන් කර සිටියි.