SLIIT  පරිගණක පීඨය විසින් සංවිධානය කරනු ලබන එහි ප්‍රමුඛතම ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) තරගාවලිය වන CODEFEST  හි 15 වන අඛණ්ඩ අදියර, SLIIT 2026 සැප්තැම්බර් 24 වන දින SLIIT මාලඹේ පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදී.
“Shaping the Intelligent Future”  යන තේමාව යටතේ පැවැති CODEFEST 2026, කෘතිම බුද්ධිය, සයිබර් ආරක්ෂණය, දත්ත, ස්වයංක්‍රීයකරණය (Automation),  නැගී එන තාක්ෂණයන් (Emerging Technologies) සහ ඩිජිටල් නවෝත්පාදනය යන ක්ෂේත්‍රවල සිදුවන ශීඝ්‍ර පරිවර්තනය මනාව පිළිබිඹු කළේය. ශ්‍රී ලංකාව පුරා පිහිටි පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් මෙන්ම ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සිසුන් ද එකට එක් කළ මෙම තරගාවලිය, තරුණ නවෝත්පාදකයන්ට සිය තාක්ෂණික දැනුම, නිර්මාණශීලීත්වය, ගැටලු‍ විසඳීමේ හැකියාව සහ ව්‍යවසායකත්ව චින්තනය ප්‍රදර්ශනය කිරීම සඳහා සුවිශේෂී වේදිකාවක් නිර්මාණය කළේය.
මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් SLIIT පරිගණක පීඨයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය නුවන් කෝදාගොඩ මහතා මෙසේ පැවසීය. “වසර 15ක CODEFEST  ගමන යනු SLIIT  හි අප නිරන්තරයෙන් ප්‍රවර්ධනය කරන කුතුහලය සහ උනන්දුව පිළිබඳ මනා සාක්ෂියක්. වසර ගණනාවක් පුරා CODEFEST යනු නව අදහස් අත්හදා බලන, අනාගත තාක්ෂණික නවෝත්පාදකයන් අලු‍ත් දේ නිර්මාණය කිරීමට, එකිනෙකා හා එක්ව කටයුතු කිරීමට සහ නායකත්වය දීමට පුහුණුවක් ලබන වේදිකාවක් බවට පත්ව තිබෙනවා. මෙම චාරිකාවේ කොටස්කරුවන් වූ සෑම සහභාගිවන්නකු පිළිබඳවම අප ආඩම්බර වෙනවා.”
මෙවර වැඩසටහනට කෘතිම බුද්ධිය, සයිබර් ආරක්ෂණය, ඇල්ගොරිතම (Algorithms), (Algorithms), Full-Stack Development,  දත්ත විශ්ලේෂණය, UI/UX, අන්තර්ජාලගත උපාංග තාක්ෂණය (Internet of Things - IoT) සහ ව්‍යවසායකත්වය ඇතුළු විවිධ තාක්ෂණික ක්ෂේත්‍ර ආවරණය වන තරග 14ක් ඇතුළත් විය. 
එහි සුවිශේෂීම අදියර සලකුණු කරමින්, CODEFEST 2026  සඳහා උසස් අධ්‍යාපන සහ පාසල් යන ක්ෂේත්‍ර දෙකෙන්ම ඉහළ සහභාගිත්වයක් වාර්තා විය. 
උසස් අධ්‍යාපන මට්ටමේදී ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල29ක් සහ විදේශීය විශ්වවිද්‍යාල 9ක් ඇතුළුව විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන 38ක් මීට සහභාගි විය. එහිදී කණ්ඩායම් ලියාපදිංචි කිරීම් 586 ක් සහ සිසුන් 1,929 දෙනෙකුගේ සහභාගිත්වයක් වාර්තා විය. 
ජාත්‍යන්තර සහභාගිත්වය යටතේ රටවල් 6ක් නියෝජනය කරමින් විදේශීය කණ්ඩායම් 22ක් සහ විදේශීය සිසුන් 37 දෙනකු එක්ව සිටි අතර, එමගින් ශ්‍රී ලාංකේය සහ ගෝලීය ශිෂ්‍ය ප්‍රජාව එකිනෙක සම්බන්ධ කරන ප්‍රමුඛ වේදිකාවක් ලෙස CODEFEST  හි පැවැත්ම තවදුරටත් තහවුරු විය.
පාසල් මට්ටමින් දිස්ත්‍රික්ක 18ක් නියෝජනය කරමින් පාසල් 70ක් ආවරණය කිරීමට CODEFEST 2026  සමත් වූ අතර, ඒ සඳහා පාසල් කණ්ඩායම් 228ක් සහ පාසල් සිසුන් 755 දෙනෙක් සහභාගි වූහ. මෙම වැඩසටහන යටතේ සෘජු (physical)  වැඩමුළු 43ක් සහ මාර්ගගත වැඩමුළු 21ක් පැවැත්වූ අතර, ඒ ඔස්සේ සමස්තයක් ලෙස සිසුන් 7,000 කට ආසන්න සංඛ්‍යාවක් වෙත ළඟා වීමට හැකි විය.
තරගාවලියේ අවසන් මහා තරගයේ ප්‍රධාන අමුත්තා ලෙස ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා සහ ගෞරවනීය අමුත්තා ලෙස IFS R&D International (Pvt) Ltd  හි තොරතුරු තාක්ෂණ මෙහෙයුම් පිළිබඳ උප සභාපති නිලංක විජේසූරිය මහතා සහභාගි වූහ.
ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ අනාගතයට සූදානම් උපාධිධාරීන් බිහිකිරීම සඳහා CODEFEST  සතුව ඇති පුළුල් කැපවීම ද CODEFEST  මගින් පිළිඹිඹු වේ. කොළඹ කොටස් වෙළෙඳපොළේදී සමාරම්භය සටහන් කළ SLIIT Business School Accounting & Finance Club  වැනි වැඩසටහන් සමග එක්ව, අධ්‍යයන ඉගෙනුම කර්මාන්ත අත්දැකීම්, ව්‍යාපාරික දැනුවත්භාවය, නවෝත්පාදනය සහ ප්‍රායෝගික භාවිතය සමග ඒකාබද්ධ කිරීමටSLIIT දක්වන නිරන්තර අවධානය CODEFEST මගින් තවදුරටත් කැපී පෙනේ.
මෙම උත්සවය පිළිබඳව අදහස් දක්වමින් SLIIT  පරිගණක පීඨයේ CODEFEST 2026  සංවිධායක මහාචාර්ය අනුරාධ ජයකොඩි මහතා සඳහන් කළේ, අනාගතය සකස් කිරීම සඳහා අවශ්‍ය දැනුම, නිර්මාණශීලීත්වය, විශ්වාසය සහ ගැටලු‍ විසඳීමේ කුසලතාවලින් තරුණ නවෝත්පාදකයන් සන්නද්ධ කිරීමට CODEFEST  මගින් විශාල පිටුවහලක් ලැබෙන බවයි. නවෝත්පාදනය යනු නව තාක්ෂණයන් වැළඳගැනීම පමණක් නොව, තරුණ ප්‍රජාව සැබෑ ලෝකයේ පවතින අභියෝග හඳුනාගෙන ඒවාට අර්ථවත් විසඳුම් නිර්මාණය කිරීමට යොමු කිරීම බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.