- විශේෂයෙන්ම දැනට පවතින මහ බැංකුවේ දැඩි මුදල් ප්රතිපත්තිය සහ විදේශීය අස්ථාවරත්වය තවදුරටත් පැවතීම මේ සඳහා හේතු වනු ඇති
2026-27 මූල්ය වර්ෂයේ තෙවැනි කාර්තුවේදීද ආර්ථිකය තවදුරටත් මධ්යස්ථ වර්ධනයක් පෙන්නුම් කරනු ඇතැයි KPMG ආයතනය සඳහන් කරයි. විශේෂයෙන්ම දැනට පවතින මහ බැංකුවේ දැඩි මුදල් ප්රතිපත්තිය සහ විදේශීය අස්ථාවරත්වය තවදුරටත් පැවතීම මේ සඳහා හේතු වනු ඇතැයි එම ආයතනය පෙන්වා දෙයි.
KPMG ආයතනය විසින් පසුගියදා නිකුත් කළ 2026 මූල්ය වර්ෂයේ තෙවැනි කාර්තුව සඳහා වන ශ්රී ලංකා සාර්ව ආර්ථික ඉදිරි දැක්ම වාර්තාව තුළ මෙම කරුණු සඳහන් කර තිබේ.
විශේෂයෙන්ම මහ බැංකු වාර්තා අනුවද වසරේ දෙවැනි කාර්තුව අවසන් වනවිට පෞද්ගලික අංශය වෙත ලබාදුන් ණයෙහි වටිනාකම රුපියල් ට්රිලියන 11.3 ක් බවට පත්ව තිබෙන බවත්, එම ණය දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 32.7 ක ප්රතිශතයක් ගන්නා බවත් ඔවුහු පවසති.
“කෙසේ වෙතත් පසුගිය මැයි මාසයේදී මහ බැංකුව සිය ප්රතිපත්ති පොලී අනුපාතය පදනම් අංක 100 කින් ඉහළ දැමීමට ගත් තීරණයත් සමගින්ම එම ණය පහළ බැසීමක් සිදු වුණා. ඒ අනුව අගෝස්තු මාසයේදී මෙම පෞද්ගලික අංශයේ ණය රුපියල් බිලියන 105.7 ක් ලෙස සටහන් වූ අතර, එය ජූලි මාසයේදී පැවැති රුපියල් බිලියන 169.1 ට සාපේක්ෂව සියයට 37.3 ක අඩුවීමක්.
ඒ වගේම එය ජූනි මාසයේ වාර්තා කළ රුපියල් බිලියන 245.3 ක ණය ප්රමාණයට සාපේක්ෂව සියයට 56.9ක අඩුවීමක්.”
ඒ අනුව මෙම දැඩි මුදල් ප්රතිපත්තිය මේ වනවිට ආර්ථිකය වෙත බලපා තිබෙන බව පැහැදිලි යැයි ද KPMG පවසයි.
ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවට අනුව 2026 දෙවැනි කාර්තුවේදී මෙරට ආර්ථිකය සියයට 4.2 ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. එය පළමු කාර්තුවේදී පැවැති සියයට 5.1 ක ආර්ථික වර්ධනයට සාපේක්ෂව කැපී පෙනෙන අඩුවීමකි.
“පළමු කාර්තුවේදී ඇති වූ මැදපෙරදිග අර්බුදය, ඉහළ ගිය බලශක්ති මිල ගණන්, ඉන්ධන සැපයීම් සීමා කිරීම් සහ වාහන ආනයනය මත තාවකාලිකව පැනවූ අධිභාරය යනාදී කරුණු මැද වුවත් ආර්ථික වර්ධනය තවදුරටත් ඔරොත්තු දෙන මට්ටමකින් පවත්වාගෙන ගොස් තිබෙනවා.” KPMG පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd