• විදුලි SUV රථ ලියාපදිංචිය සියයට 20 ක් දක්වා ඉහළට
  • විදුලියෙන් ක්‍රියාත්මක මෝටර් රථ ලියාපදිංචිය සියයට 63ක ප්‍රතිශතයක්

ඒ අනුව මෙය අගෝස්තු මාසයේදී පැවැති සියයට 87ක ප්‍රතිශතය හා සැසඳීමේදී කැපී පෙනෙන අඩුවීමක් බව සැප්තැම්බර් මාසය සඳහා වන මෝටර් රථ වෙළෙඳපොළ වාර්තාව ඉදිරිපත් කරමින් HNB Stockbrokers පවසයි. 

එහිදී විදුලියෙන් ක්‍රියාත්මක මෝටර් කාර් රථ සම්බන්ධයෙන් වන මිල ගණන් ඊට හේතුව වී තිබෙන බව ඔවුහු සඳහන් කරති. 

“මෙයින් ඇඟවෙන්නේ, ගැනුම්කරුවන් විදුලියෙන් ක්‍රියාත්මක කාර් රථ වෙතම යොමුවීමට වඩා, දැරිය හැකි මිල ගණන් යටතේ පවතින පුළුල් පරාසයක විකල්ප පිළිබඳව සලකා බලමින් සිටින බවයි.” 

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව සකස් කළ මෙම වාර්තාවට අනුව, සැප්තැම්බර් මාසයේදී ලියාපදිංචි කෙරුණු බ්‍රෑන්ඩ් නිව් මෝටර් කාර් සංඛ්‍යාව 751 කි. එය අගෝස්තුවේ සිදු වූ පහළ වැටීමට සාපේක්ෂව සියයට 18.8 ක ඉහළ යෑමකි. 

මේ අතර සැප්තැම්බර් මාසය තුළ අලු‍තින් ලියාපදිංචි කළ SUV අතරින් සියයට 20ක් විදුලියෙන් ක්‍රියාත්මක ඒවා බව හඳුනාගෙන තිබේ. මෙය අගෝස්තුවේදී පැවැති සියයට 14ක ප්‍රතිශතය හා සැසඳීමේදී සියයට 6ක ඉහළ යාමක් ලෙස සටහන්ව තිබේ.

එසේම ඉන්ධන දහන මෝටර් රථ ලියාපදිංචිය අගෝස්තුවේ පැවැති සියයට 37ක ප්‍රතිශතයක සිට සැප්තැම්බරයේදී සියයට 47ක් දක්වා ඉහළ ගොස් ඇත. එහෙත් හයිබි්‍රඩ් SUV ලියාපදිංචිය සියයට 49 ක සිට සියයට 33 ක් දක්වා පහළ වැටී තිබේ. 

“මෙලෙස හයිබ්‍රිඩ් පංගුව පහත වැටීම, දුර්වල ඉල්ලු‍මට වඩා ඉන්ධන දහන සහ විදුලියෙන් ක්‍රියාත්මක SUV රථ ලියාපදිංචි කිරීම්වල ශක්තිමත් වර්ධනයක් පිළිබිඹු කරනවා.” HNB Stockbrokers පවසයි. 

මෙම දත්ත අනුව, සැප්තැම්බර් මාසයේදී ලියාපදිංචි කෙරුණු බ්‍රෑන්ඩ් නිව් SUV සංඛ්‍යාව 1586 කි. එය අගෝස්තුවේදී සිදු වූ පහළ වැටීමට සාපේක්ෂව සියයට 45.1 ක ඉහළ යෑමකි.