2024 අවසන් වනවිට සමස්ත රජයේ සේවකයන් සංඛ්‍යාව ලක්ෂ 13.59ක්


ඒ අතරින් 355,186ක් අධ්‍යාපන සහ පර්‌යේෂණ අංශයේ ආයතන 54ක


ආරක්ෂක අංශයේ ආයතන 28ක් තුළ නිරත පිරිස 343,999ක් 


රාජ්‍ය පරිපාලනය සතු ආයතන 461ක සේවකයන් 158,012 යි


තාක්ෂණ සහ නවෝත්පාදන අංශයේ ආයතන 5ක සිටින්නේ සේවකයන් 616 යි


භානුක අමරසිංහ


2024 අවසන් වනවිට මෙරට රජයේ සේවකයන් සංඛ්‍යාව ලක්ෂ 13.59ක් (1,359,242ක්) වන බවත්, ඒ අතරින් සියයට 51ක් එනම් ලක්ෂ 6.9ක් (699,185ක්) අධ්‍යාපන සහ පර්‌යේෂණ අංශයේ සහ ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිටින බව වාර්තා වෙයි. 

වෙරිටේ රිසර්ච් ආයතනයට අනුබද්ධ public finance වෙබ් අඩවිය නිකුත් කළ අලු‍ත්ම අන්තර්ක්‍රියාකාරී දත්ත විශ්ලේෂණ සටහනක මෙම කරුණු සඳහන් වෙයි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2024 වසර සඳහා ප්‍රකාශයට පත් කළ රාජ්‍ය සහ අර්ධ - රාජ්‍ය අංශයේ සේවක සංගණනයේ දත්ත යොදා ගනිමින් මෙම සටහන සකස් කර තිබේ. 

කෙසේ වෙතත් එම සංගණනයේ සඳහන් වූ ආකාරයට මෙරට සමස්ත රජයේ සේවකයන් සංඛාව ලක්ෂ 11.56ක් විය.

“ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදු කළ මෙම සංගණනයට ශ්‍රී ලංකා යුද, නාවික සහ ගුවන් හමුදාවල නිල ඇඳුම් සහිත කාර්ය මණ්ඩලය ඇතුළත් වුණේ නෑ. ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය යටතේ දැක්වෙන සංඛ්‍යාවලට ඇතුළත් වන්නේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පිරිස් (32,665) සහ ත්‍රිවිධ හමුදාවලට අනුයුක්ත සිවිල් කාර්ය මණ්ඩලය පමණක් වන අතර, එහි මුළු එකතුව 48,281ක්.”

කෙසේ නමුත් සේවා ව්‍යුහය (cadre) අනුව සකස් කිරීමේදී, සංගණනයේ සඳහන් සිවිල් කාර්ය මණ්ඩල සංඛ්‍යාව වෙනුවට, එක් එක් හමුදා අංශයේ 2024 වාර්ෂික කාර්ය සාධන වාර්තාවල දැක්වෙන මුළු සේවා බලකාය ආදේශ කරනු ලැබ තිබෙන බව public finance පවසයි. 

“ඒ අනුව මෙහි ප්‍රතිඵලයක් ලෙස, ආරක්ෂක අංශයේ මුළු සංඛ්‍යාව 48,281 සිට 251,286 දක්වා ද, ජාතික මට්ටමේ මුළු සංඛ්‍යාව 1,156,237 සිට 1,359,242 දක්වා ද ඉහළ ගොස් තිබෙනවා.”

මෙම සටහනේ දැක්වෙන ආකාරයට අධ්‍යාපන සහ පර්‌යේෂණ අංශයේ හඳුනාගත් රජයේ ආයතන 54ක් තුළ සේවයේ නිරත රජයේ සේවකයන් සංඛ්‍යාව 355,186ක් වන අතර, එය සමස්තයෙන් සියයට 26.1 කි. එසේම ආරක්ෂක අංශයේ ආයතන 20ක් තුළ සේවයේ නිරත පිරිස 251,286ක් වන අතර, එය සියයට 18.5 කි. එම අගයට මහජන සාමය සහ ආරක්ෂාව යටතේ වන ආයතන 08ක සිටින රජයේ සේවකයන් 92,713 දෙනාත් එකතු කළ විට ආයතන 28ක් තුළ එය 343,999ක් එනම් සියයට 25.3ක් බවට පත්ව තිබේ.

ඒ අනුව ඉතිරි රජයේ සේවකයන් ලක්ෂ 6.6ක් (660,057ක්) එනම් සියයට 49ක ප්‍රතිශතය තවත් ක්ෂේත්‍ර 17ක් පුරා බෙදී සිටින බවත් මෙම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

එහිදී රාජ්‍ය පරිපාලනය සතු ආයතන 461ක් තුළ සේවකයන් 158,012 ක්, සෞඛ්‍ය යටතේ ආයතන 86ක් තුළ සේවකයන් 157,543ක් ලෙස පවතී. එසේම ප්‍රවාහන සහ නාගරික සංවර්ධන යටතේ වන රජයේ ආයතන 47ක් තුළ සේවකයන් 84,055ක් සිටියි.

කෙසේ වෙතත් මූල්‍ය සහ ආර්ථික කටයුතු යටතේ වන ආයතන 125 ක් තුළ සිටින්නේ රජයේ සේවකයන් 60,559කි. කෘෂිකර්මාන්තය හා සම්බන්ධව රජයේ ආයතන 94ක් තුළ සේවකයන් 58,314ක් ලෙස සටහන්ව ඇත.
බලශක්ති සහ දුරකතන හා තැපැල් සේවා යටතේ වන ආයතන 10ක් සහ 15ක් තුළ රජයේ සේවකයන් පිළිවෙළින් 28,851ක් සහ 25,420ක් සිටින බවත් මෙම සටහනේ දැක්වෙයි. 

පවුල් සහ සමාජයීය සංවර්ධනය යටතේ වන ආයතන 49ක් තුළ 23,934ක්ද, පරිසරය යටතේ වන ආයතන 21ක් තුළ 21,267ක්ද සිටියි. වරාය, නෞකා සහ ගුවන් සේවා යටතේ වන ආයතන 10ක සිටින රජයේ සේවක සංඛ්‍යාව 19,799 ක් වෙයි. අධිකරණ යටතේ වන ආයතන 20ක් තුළ සිටින සංඛ්‍යාව 18,047ක් වෙයි. ජල හා සනීපාරක්ෂාව යටතේවන ආයතන 6ක් තුළ 9,774ක්ද, සමාජ සහ සංස්කෘතික යටතේ වන ආයතන 20ක් තුළ 7,387ක් ලෙසද රජයේ සේවකයන් සිටින බව හඳුනාගෙන තිබේ.

කම්කරු අංශය යටතේ වන රජයේ ආයතන 10ක සිටින සේවකයන් සංඛ්‍යාන 4,252කි. විදේශ කටයුතු යටතේ ආයතන 64ක් පවතින අතර එහි සේවක සංඛ්‍යාව 1,227 ක් වෙයි. අවසන් වශයෙන් තාක්ෂණය සහ අනෙකුත් උපයෝගිතා යටතේ ආයතන 5ක් පවතින අතර ඒවායේ සිටින රජයේ සේවකයන් සංඛ්‍යාව 616 කි.