• 2025 දී රැපියල් මිලියන 13,456ක ආදායමක් වාර්තා කිරිමට සමත් වෙලා 
  • 2020 දී රැපියල් 80,695ක් වූ Cash on Delivery  ආදායම 2025 දී රැ.මි. 687 ක් 
  • Speed Post  සහ ජාත්‍යන්තර EMS සේවා වාර්තාගත ආදායම් ඉපැයීමක 
  • තැපෑලට විද්‍යුත් යතුරැපැදි 165ක් සහ විද්‍යුත් ත්‍රිරෝද රථ 60ක් සඳහා ප්‍රසම්පාදන 

තැපැල් දෙපාර්තමේන්තුව සඳහා මෙම වසර වෙනුවෙන් ලබාදී ඇති රුපියල් මිලියන 15,000 ක ආදායම් ඉලක්කය සාර්ථකව ළගා කරගැනීමට හැකියාව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. 

පසුගිය ඔක්තෝබර් 09 දිනට යෙදුණු ලෝක තැපැල් දිනය වෙනුවෙන් එම දෙපාර්තමේන්තුව සංවිධානය කළ ජාතික සැමරුම් උත්සවයේදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබේ. 

2025 වසරේදී මහා භාණ්ඩාගාර ආදායම් ඉලක්කය ඉක්මවා යමින් රුපියල් මිලියන 13,456ක ආදායමක් වාර්තා කිරීමට තැපැල් දෙපාර්තමේන්තුවට හැකි වු අතර, 2023 වසරේ රුපියල් බිලියන 13.6ක් සහ 2024 වසරේ රුපියල් බිලියන 14.1ක් ලෙස එය සටහන්ව තිබී ඇත. 

එම දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 2020 දී රුපියල් 80,695ක් පමණක් වූ COD (Cash on Delivery)  ආදායම, 2025 වන විට රුපියල් මිලියන 687 දක්වා අතිවිශාල වර්ධනයක් අත්කරගෙන ඇත. 

එසේම Speed Post  සේවාව, 2023 දී වාර්තා කළ රුපියල් මිලියන 391ක ආදායම 2025 දී රුපියල් මිලියන 733 දක්වා දෙගුණයකින් පමණ වැඩි කරගෙන ඇත. 

මීට අමතරව ජාත්‍යන්තර EMSසේවාව 2025 දී රුපියල් මිලියන 807ක ආදායමක් උපයමින් තැපෑලේ ගෝලීය සබඳතා ද ශක්තිමත් කරගැනීමට සමත්ව තිබේ. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ඉදිරි වසර 02 ක් වැනි කාලයක් තුළ ලබාදී ඇති ඉළක්ක සපුරාලීමට කටයුතු කරමින් ආදායම් ඉලක්ක ජය ගැනීමට කටයුතු කළ යුතු බව පවසා තිබේ. 

විශේෂයෙන්ම තැපැල් කාර්යාල, උප තැපැල් කාර්යාල පිහිටා තිබෙන ස්ථානය නොසලකා විශාල ඉළක්ක සපුරාලමින් ජයග්‍රහණ අත් කරගෙන ඇති බව අද සනාථ වූ බවත්, එම තත්ත්වය ඉලක්කවලට යෑමට ඇති හැකියාව පෙන්නුම් කිරීමේ සලකුණක් බවද අමාත්‍යවරයා පවසා තිබේ. 

මේ අතර, තැපෑලේ යටිතල පහසුකම් සංවර්ධනය සිදු කරමින් 2025 වසරේ රුපියල් මිලියන 600ක ප්‍රතිපාදන යටතේ ඇරඹූ ගොඩනැගිලි ව්‍යාපෘති 17න් 13ක් මේ වන විට අවසන් කර ඇත. 

2026 වසර වෙනුවෙන් නව ව්‍යාපෘති සඳහා තවත් රුපියල් මිලියන 400ක් සහ ගොඩනැගිලි 94ක් අලු‍ත්වැඩියාවට රුපියල් මිලියන 600ක් ද වෙන් කර ඇතැයිද සඳහන් වෙයි. 

කොළඹ තදබදයට හසු නොවී තැපැල් බෙදාහැරීමට නව මාර්ග 9ක් සමඟින් ලොරි රථ 10ක් සහ ක්‍ෂණික කැදවුම් රථ 20ක් එක් කර ඇති අතර, ඩිජිටල් හා මෙහෙයුම් නවීකරණය යටතේ පරිගණක 225ක් සහ ටැබ් යන්ත්‍ර 1,500ක් ද ජාලගත කර ඇත. 

ආරක්ෂාවට මධ්‍යම තැපැල් හුවමාරුවේ රුපියල් මිලියන 26.9ක් වැය කර CCTV කැමරා 209ක් සවිකර ඇති අතර, බලශක්ති පිරිවැය අවම කිරීමට රුපියල් මිලියන 24ක සූර්ය පැනල පද්ධති ස්ථාපිත කර ඇත. 

තැපෑලේ ඉදිරි ගමන පරිසර හිතකාමී එකක් වන අතර විද්‍යුත් යතුරුපැදි 165ක් සහ විද්‍යුත් ත්‍රිරෝද රථ 50ත් 60ත් අතර ප්‍රමාණයක් සේවයට එක් කිරීමට මේ වන විටත් ප්‍රසම්පාදන කටයුතු සිදු කෙරෙමින් පවතී. 

වසර 2020න් පසු ප්‍රථම වරට 2025 සහ 2026 වසරවලදී උප තැපැල් ස්ථානාධිපතිවරුන් 521 දෙනෙකුට ස්ථිර පත්වීම් ලබාදීමටත්, එමෙන්ම තරඟ විභාග මඟින් තැපැල් සේවා නිලධාරීන් 459ක්, විධායක නිලධාරීන් 21ක්, රියදුරන් 40ක් සහ තැපැල් සහායකයන් 732ක් බඳවා ගැනීමට ද කටයුතු කරමින් තැපෑලේ මානව සම්පත ශක්තිමත් කිරීමට ද රජය කටයුතු කර ඇතැයි පවසයි.