• නිෂ්පාදන, ආයෝජන, බෙදාහැරීම් ඇතුළු අංශවල තම ව්‍යාපාර කටයුතු ස්ථාපිත කිරීමට ව්‍යාප්ත කිරීමට උනන්දුවක් දක්වන්නන්ට අවස්ථාව

එක්සත් ජනපදයේ නිෂ්පාදන, ආයෝජන, බෙදාහැරීම් ඇතුළු අංශවල තම ව්‍යාපාර කටයුතු ස්ථාපිත කිරීමට සහ ව්‍යාප්ත කිරීමට උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකික සමාගම් සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ ‘මිසිසිපි සංවර්ධන අධිකාරිය’ (MDA) සමග සෘජු ද්විපාර්ශ්වික සාකච්ඡා සංවිධානය කිරීමට ලංකා වාණිජ මණ්ඩලය මෑතකදී පියවර ගෙන තිබේ.

මෙම හමුව සඳහා උසස් තාක්ෂණික නිෂ්පාදන, කෘෂි ව්‍යාපාර සහ ආහාර සැකසුම්, බලශක්ති, මෙන්ම බෙදාහැරීම් සහ සැපයුම් ජාලකරණය යන ක්ෂේත්‍ර නියෝජනය කරමින් දේශීය සමාගම් රැසක් එක්ව සිටියේය.

මෙහිදී සහභාගී වූ සමාගම්වල ව්‍යාපාරික ව්‍යාප්ති අරමුණු සහ මිසිසිපි ප්‍රාන්තයේ පවතින ආයෝජන අවස්ථා පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. විශේෂයෙන්ම මිසිසිපි හි කර්මාන්ත පද්ධතිය, යටිතල පහසුකම්, ශ්‍රම බලකායේ හැකියාව සහ ජාත්‍යන්තර ව්‍යාපාර සඳහා ලබාදෙන සහයෝගය පිළිබඳව දේශීය ව්‍යාපාරිකයන් දැනුවත් කෙරුණු අතර, එමගින් ඇමරිකානු වෙළෙඳපොළට ප්‍රවේශ විය හැකි ක්‍රමවේද සහ එහිදී සැලකිල්ලට ගත යුතු කරුණු පිළිබඳව ද අවධානය යොමු විය.

ලංකා වාණිජ මණ්ඩලය සංවිධානය කළ මෙම පියවර හරහා ශ්‍රී ලාංකික ව්‍යාපාරවලට මිසිසිපි හි ව්‍යාපාරික පරිසරය පිළිබඳව සෘජුවම අධ්‍යයනය කර තමන්ගේ ඉදිරි ව්‍යාපාරික සැලසුම් ඇගයීමට ලක්කිරීමට හැකියාව ලැබිණි. එමෙන්ම, ජාත්‍යන්තරව ව්‍යාප්ත වීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකික සමාගම් හඳුනාගැනීමටත්, ඒ සඳහා මිසිසිපි ප්‍රාන්තයෙන් ලබාදිය හැකි සහයෝගය තීරණය කිරීමටත් මිසිසිපි සංවර්ධන අධිකාරියට (MDA) මින් මගපෑදිණි.