- AI සඳහා වන ආයෝජන ආකර්ෂණයට කටයුතු කළ යුතු බව පවසයි
භානුක අමරසිංහ
|
ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සභාපති මොතිලාල් ද සිල්වා |
ශ්‍රී ලංකාවේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණ හැකියාවේ ඉදිරි සංවර්ධනයට අවශ්‍ය විශාල භාෂා ආකෘති (Large Language Models) සඳහා ප්‍රමාණවත් යටිතල පහසුකම් මේ වනවිට රට තුළ නොමැති බව ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සභාපති මොතිලාල් ද සිල්වා මහතා පවසයි.
පසුගියදා කොළඹදී පැවැත්වුණු AI EXPO කෘත්‍රිම බුද්ධි සමුළුව අමතමින් සභාපතිවරයා මෙම කරුණු සඳහන් කළේය. ඒ අනුව ශ්‍රී ලංකාව දැනටමත් එම යටිතල පහසුකම් සඳහා වන ආයෝජන ආකර්ෂණයට කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
“මම අවංකවම සඳහන් කළොත්, ශ්‍රී ලංකාව තුළ කෘත්‍රිම බුද්ධිය සඳහා ප්‍රමාණවත් ග්‍රැෆික් සැපයුම් ඒකක (GPU - Graphics Processing Unit) ධාරිතාවක් දැනට නැහැ. විශාල භාෂා ආකෘති පරිමාණයෙන් පුහුණු කිරීමට අවශ්‍ය පරිගණකමය යටිතල පහසුකම් අපට නැහැ. ස්වෛරී AI නවෝත්පාදනයට බලය සපයන ඉහළ පරිමාණ දත්ත මධ්‍යස්ථාන අප සතුව නැහැ. මෙය තමයි ගැටලුව. GPU යටිතල පහසුකම් සඳහා ආයෝජන ආකර්ෂණය කර ගැනීමට ශ්‍රී ලංකාව සැබවින්ම කටයුතු කරමින් සිටිනවා. ඒ සඳහා ගෝලීය ඉහළ සමාගම් සමගින් සාකච්ඡා සිදුවෙමින් පවතිනවා. රජය AI සහ ඩිජිටල් යටිතල පහසුකම් සඳහා රුපියල් මිලියන ගණනක් වෙන් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සිය දත්ත මධ්‍යස්ථාන කෘත්‍රිම බුද්ධියට සූදානම් වන පරිදි ඉහළ නැංවීම සිදු කරනවා. යටිතල පහසුකම් AI සඳහා මූලික පදනමයි.” සභාපතිවරයා පැවසීය.
යටිතල පහසුකම් යනු සුඛෝපභෝගී අංගයක් නොව, එය අත්‍යවශ්‍ය පදනමක් බවත්, ඇමරිකාවේ ප්‍රධාන පෙළේ තාක්ෂණික සමාගම් හතරක් වන Amazon, Alphabet, Microsoft සහ Meta යන සමාගම්, 2026 වසර සඳහා ඩොලර් බිලියන 750ක ප්‍රාග්ධන ආයෝජනයක් සිදු කිරීමට කැපවී සිටින බවත් සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd