බිරියගේ මඟ පෙන්වීම අනුව වාහනයකින් බිරිද සමඟ කොළඹ ප්‍රදේශයේ ඥාති නිවසකට වැදගත් ගමනක් ගිය සැමියාට අවසානයේ කසළ කන්දක් අසලට ගොස් යන එන මං නැතිව සිටීමට සිදුවීමේ පුවතක් කන්ද උඩරට ප්‍රදේශයෙන් වාර්තා වෙයි. වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේයි.
මෙම යුවළ කන්ද උඩරට ප්‍රදේශයේ එක්තරා ගම්මානයක පදිංචි මැදිවියේ පසුවන යුවළකි. අගහිඟකම් එතරම් නැති වුවත් ලොකු වත්කම් ඇති පවුලක් ද නොවේ. කෙසේ වුවත් නිවසේ පාවිච්චියට මෝටර් රථක් තිබුණ බැවින් නිතර ගමන් බිමන් සඳහා එම මෝටර් රථය යොදා ගැනීම සැමියාගේ පුරුද්දක් විය. 
මෙලෙස පසුගිය දිනෙක සැමියා කොළඹ ප්‍රදේශයේ පදිංචි සිය දුරින් ඥාති වන නිවසක පැවති උත්සවයක් සඳහා යාමට බිරිඳ සමඟ පිටත් වූයේ මෝටර් රථයෙනි. ළඟ ඥාතින් වුවද මින් පෙර ඔහු මෙම නිවසට ගොස් නොතිබූ බැවින් ඔවුන්ගෙන් අසා දැනගත් මඟ ඔස්සේ ගමන් කිරීමට තීරණය කළේය. 


මෙලෙස නගරයට පැමිණීමෙන් පසුව මාර්ග සියල්ල එක වගේ පෙනුන නිසා ඔහු අන්දුන් කුන්දුන් විය. මෙහිදී ඥාති නිවසට ඇමතුමක් ගෙන නිවසට එන මාර්ගය ගැන වැඩි විස්තර ඉල්ලා සිටියේය. නිවසින් පිළිතුරු දුන් තරුණයකු සඳහන් කළේ, අන්කල් මං ලොකේෂන් එක දාන්නම් ඒක බලාගෙන එන්න යනුවෙනි. 
මේ ගැන හොඳ දැනුමක් සැමියාට තිබුණත් බිරිය එකවරම හා හා මං ඒවා දන්නවා මං මාර්ගය  පෙන්වන්නම් යැයි කියා සැමියාගේ දුරකථනය ගෙන එම තරුණයා විසින් එවා තිබූ  ගුගල් මාර්ග සිතියම බලාගෙන පාර කියන්නට වූවාය. 
එම සිතියම ගැන නිසි අවබෝධයකින් තොරව දිගින් දිගටම  ඇය පාර කියා ගෙන ගිය නිසා සැමියාටද සැකයක් ඇති විය. ඔයා පාර කියනව හරිද දෙතුන් වරක්ම සැමියා බිරියගෙන් විමසා සිටියේය. හරි අනේ හරි ඔහොම යං කියා ඇඟට පතට  නොදැනීම ඇය  කීවාය. 
මෙලෙස පැයකටත් වැඩි කාලයක් නගරයේ අහුමුළුවල කරක් ගැසූ ඔවුනට අවසානයේ මහ කුණු කන්දක් ගොඩ ගසා ඇති ස්ථානයක් ළඟට යාමට සිදු වූ අතර එතැනින් එහාට මාර්ගයක් ද නොවීය. මෙය දැක සැමියාට තරු පෙනෙන්නට විය. ඔයා ඔය හරියට ද පාර පෙන්නුවේ. මේකද අපේ නෑදැ ගෙදර යැයි  තරහින් විමසා සිටියේය.  තොල් හපමින් මුහුණ නරක් කර ගෙන කල්පනාවේ යෙදී සිටි බිරිඳට  කියන්න උත්තරයක් නොවීය.
බිරිය මාර්ග සිතියම ගැන කිසිදු අවබෝධයක් නැතිව සිතියම බලාගෙන තමන්ට හිතෙන හිතෙන මාර්ගයන් පෙන්වා අවසානයේ එක් මාර්ගයක කෙළවර ඇති කුණු කන්දක් ළඟට රැගෙන ගොස් තිබේ. 
දැන් ඉතින් කළ හැකි දෙයක් නොවූයෙන්  වාහනය එම ස්ථානයේ බොහෝම අමාරුවෙන් හරවා ගෙන පටු මාර්ගය ඔස්සේ නැවත  හන්දියකට ඇවිත්  සැමියා නැවත ගුගල් සිතියම නිවරැදිව ලබා ගෙන එම මාර්ගයන් ඔස්සේ ගමන් කර පැය කිහිපයකට පසුව සිය ඥාති නිවස සොයා ගත්තත් ඒ වන විටත් නිවසේ උත්සවය නිමා වෙමින් තිබිණ. 

හාරිස්පත්තුවේ  මොහොමඩ් ආසික්