රජයේ රැකියාවට අමතරව කේන්දර බැලීම සිදුකළ අයකු බිරිඳ  සහ  දරු දෙදෙනා අතහැර කේන්දරය බලා ගැනීමට පැමිණි රූමත් තරුණියක  සමග පැනගිය අපූරු කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ.
උපතේ සිට මරණය දක්වා ජනතාවට සේවය සපයන ආයතනයක රැකියාව කරන ඔහු අතිශයින් තැන්පත් හා අහිංසක ආකාරයට ජීවත්වූ අතර කේන්දර බැලීම පිළිබඳව ප්‍රසිද්ධියට පත්ව සිටියේය.  
විශේෂයෙන් කේන්දරය බලා අනාවැකි කීමට  ප්‍රසිද්ධය. සිය සේවා  ස්ථානයේ  මෙන්ම සෙසු ස්ථානවලත් ඔහු අතිශයින් ජනප්‍රිය පුද්ගලයෙක්ද විය. 


සිය රාජකාරිය දේවකාරියටත් ඉහළින් සිදුකරන පුද්ගලයෙකු  ලෙසින් ජනතාව අතර ද ප්‍රසිද්ධියක් උසුලන ලද පුද්ගලයකු වන ඔහු  විශේෂයෙන් කාන්තාවන් අතර විශේෂ  ප්‍රසිද්ධියක් උසුලන අයෙක්ද විය.
කාර්යාලයේ මිතුරකුගේ සම්බන්ධතාවක් මත විදෙස්ගතව සිට පැමිණි රූමත් තරුණියක පසුගිය දිනක කේන්දරය බලාගැනීමට  ඔහු  හමුවීමට පැමිණ ඇති අතර කේන්දර බැලීම සහ අනාවැකි කීම අපූරුවට  සිදුකිරීමට ඔහු කටයුතු කර ඇත.
කියන ලද අනාවැකියට අනුව තරුණිය ද කෙටිකාලයකින්   දියුණුවක් ලබා ඇති  අතර ටික දිනක්  ගතවෙද්දී දෙදෙනාම කිසිවකුටත්  නොකියා ප්‍රදේශයෙන් අතුරුදන් වී ඇති බව පැවසේ.
කේන්දර බලන පුද්ගලයාගේ බිරිය දරුදෙදෙනා සමග කාර්යාලයට ගොස් සැමියා නොමැති බව පවසමින් හඬා වැලපීම නිසා මිතුරු මිතුරියෝ සිදුව ඇති දේ පිළිබඳව විපරම් කළහ. 
සිය මිතුරා කිසිවකුටත් නොකියා ස්ථාන මාරුවීමක් ද  ලබාගෙන  තරුණිය සමග දුරබැහැර ප්‍රදේශයකට ගොස් ඇති බව සියලුම දෙනා දැනගත් අතර ඒ බව ඔහුගේ බිරියට පැවසූහ.
සිද්ධිය වසන්කර ගැනීමට බොහෝ දෙනා උත්සාහ දැරුවද  ආණ්ඩුවේ කාර්යාලවල රස කතාවක් ලෙස කතාව පැතිර යාමට වැඩි  දිනක් ගත නොවීය.

 හක්මණ විශේෂ  - දෙනගම යසන්ත ආරියසේන