දිරාගිය තඹ තහඩුවක් හූනියමක් වී යාබද නිවෙස් දෙකක් ජන්මාන්තර වෛරක්කාරයන් වීමේ පුවතක් කන්ද උඩරට ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කන්ද උඩරට ප්‍රදේශයේ එක්තරා කුඩා ගම්මානයක යාබද නිවෙස්වල පදිංචි මෙම පවුල් දෙක දීර්ඝ කාලයක් තිස්සේ එකමුතුව සහයෝගයෙන් ජීවත් වූහ. තම නිවෙස්වල උයාගන්නා විශේෂිත ආහාර පාන පවා හුවමාරු කර ගත් ඔවුන් අතර පැවැතියේ ඉතා කිට්ටු සබඳතාවකි. එකිනෙක නිවෙස්වලට ගෙනෙන බඩු මුට්ටු ගැන පවා එම නිවැසි කාන්තාවෝ දෙදෙනා දැනුම හුවමාරු කර ගත්හ.
මෙලෙස ටික කාලයක් ගත වෙද්දී එක නිවසක ගෘහමූලිකයාගේ අත මිට සරු වන්නට පටන් ගත්තේය. ඔහු නිවසට දිනපතා විවිධ ගෘහභාණ්ඩ මිල දී ගෙන ආවේය. අනෙක් නිවසේ ගෙහිමියා දිනෙන් දින ආර්ථික අතින් ඇද වැටෙන්නට පටන් ගත්තේය. යාබද නිවස් හිමියා දිනෙන් දින දියුණු වෙන්නත් තමන්ගේ සැමියා දිනෙන් දින ආර්ථික අතින් ඇද වැටෙන්නත් හේතුව ගැන එම නිවැසි කාන්තාව නිරන්තරයෙන් කල්පනා කරන්නට වූවාය.
මේ සම්බන්ධයෙන් තමන්ගේ දුරින් ඥාති වන කාන්තාවක නිවසට පැමිණි අවස්ථාවක ඇය ඒ බව ඇයට කීවාය.‘ “අනේ අක්කේ බලන්නකෝ අපේ මනුස්සයා දවසින් දවස දුප්පත් වෙනවා. දවල්ට කෑවොත් රෑට කන්න විදිහක් නෑ. ඒකට අල්ලපු ගෙදර මනුස්සයා දවසින් දවස ඉහළට යනවා. සල්ලි විමානයක්. හැමදාම මොනව හරි ගෙදරට ගෘහ උපකරණයක් ගේනවා. මං දැක්කා ඊයේ ලොකු ටීවී එකක් ගෙනල්ලා අපිට පේන්නත් එක්ක හයි කරනවා. සැටලයිටුත් දාල ලු”‘ ඇය කීවේ හූල්ලමිනි.
එයට ඥාති කාන්තාව අපූරු ගින්නක් ඇවිළවූවාය. “නංගියේ උඹ මොනවත් හිතන්න එපා ඕකට හේතුව හූනියමක්. අල්ලපු ගෙදර මිනිස්සු උඹලත් එක්ක කොච්චර දිවෙන් දිව ගාගෙන හිටියත් උඹලත් එක්ක තරහයි. උඹලට හරියනවට උන් කැමති නෑ. උන් උඹලට මොනව හරි හූනියමක් කරලා ඒකයි. උන් ගේන ඒවා උඹලට පෙන්න පෙන්නා ඉන්නේ. උන් දන්නවගේ කරපු හූනියමේ තරමට උඹලට ඔළුව උස්සන්න බෑ කියලා” යැයි කීයා.
“ඉතින් අක්කේ මං මොනවද ඒකට කරන්නේ?“ “උඹ පොඩ්ඩක් ගේ වටේ හොයල බලපන් මොනව හරි අමුතු දෙයක් හොයා ගන්න තියෙනවද කියලා” මේ කතාව හිතේ තියා ගත් ඇය නිරන්තරයෙන් නිවස වටේ කැරකී කැරකී කුමක් හෝ හූනියමක් හමු වේදැයි සොයා බලමින් සිටියාය.
දින කිහිපයකට පසුව ඇයට එක්වරම කුඩා තඹ තහඩු කෑල්ලක් ඇගේ නෙත ගැටිණ. ඇයට උන් හිටි තැන් අමතක විය. මේ තියෙන්නේ අර අක්කා කිව්වා හරියට හරි. මුන් මේ අපිට හූනියමක් කරල තමයි මේ තරමට දියුණු වෙන්නේ. හොඳයි බලමුකෝ කියමින් යාබද නිවසේ කාන්තාවට කතා කර ඇයට දිගින් දිගටම දෙස් තියන්නට වූවාය. “උඹලා අපිට හූනියම් කරල තමයි මේ ඔක්කොම කරන්නේ” කියමින් දෙස් තිබ්බාය. යාබද නිවෙසේ කාන්තාව කෙතරම් පැහැදිලි කරන්න උත්සාහ කළත් එයට ඉඩක් ලැබුණේ නැත. මේ කතාව නිවෙස් දෙකේ පිරිමින් දෙදෙනාගේද කන වැකිණ. ඔවුන් දෙදෙනා ද මේ රණ්ඩුවට පැටලී මේ වන විට එම පවුල් දෙක ජන්මාන්තර වෛරක්කාරයන් බවට පත්ව සිටිති. තම සැමියා දුප්පත්වීමට හේතුව ඔහුගේ බීමත්කම බවත් තමන්ගේ මිදුලේ තිබී හමුවූයේ දිරාගිය පැරණි බැටරි කෑල්ලක තහඩු කෑල්ලක් බවත් අවබෝධ කර ගන්නට මෙම පවුලට සෑහෙන කාලයක් ගත වනු ඇත.
හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd