සැමියාගේ මත් වතුර පානයට සහ මත් වතුර පානය කර නිවසට පැමිණ තමන්ටත් දරුවන්ටත් කරනු ලබන අඩන්තේට්ටම් නතර කිරිමට ඇය සමත්වූයේ ගැහැනියක සතු හැටහතර මායමෙන් එකක් ඔහුට පෙන්වා බය කිරීම නිසා බව ඇය තම මිතුරියන්ට පැවසුවේ “ඔන්න උඹලගේ දඟකාරයොත් මේ විදිහට මට්ටු කරපල්ලා” යැයි කියමිනි.
එදිනෙදා කුලී වැඩෙන් ජීවත්වෙන ඔහු 34 හැවිරිදි දෙදරු පියෙකි. දෛනික කුලී වැඩෙන් පසු සවස නිවස බලා එන සෑම දිනකම ගමේ තිප්පොළකට ගොස් මත් වතුර බිඳක් පානය කර ඒම ඔහුගේ පුරුද්දක් වී තිබිණි. මොහුගේ මේ ක්‍රියාව නිසා නිතර පවුලේ ගැටුම් ඇති වී තිබූ අතර පවුලේ සාමයට ආර්ථිකයට මෙන්ම දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලටද අහිතකර බාධා එල්ල වී තිබිණි.
මේ නිසා පීඩාවට පත් වූ තිස් එක් වියේ පසු වූ ඇය වරක් දෙවරක් නොව කීප වරක්ම දරුවන්ද රැගෙන ඇයගේ මහ ගෙදරටද ගොස් තිබිණි. එහි ගියත් පසු දින ඔහු එම නිවසට ගොස් නැවත මත් වතුර පානය නොකරන බවත් නිවැසියන්ට අඩන්තේට්ටම් නොකරන බවටත් පොරොන්දු වී බිරිය සහ දරුවන් නිවසට රැගෙන ආවේය.
ගත වන්නේ දින කීපයකි. නැවතත් ඔහු පෙර පරිදිම කටයුතු කරන්නේය. මෙය කෙසේ හෝ නතර කර තම සැමියා යහමගට ගන්නවාමයි අධිෂ්ඨානයක් ඇති කර ගත් ඇය දරුවන් දෙදෙනාටද අදාළ සැලැස්ම කියා ඔවුන්ද එයට කැමති කරවා ගත්තාය. මෙදින සවස 4ට පමණ පෙර පරිදි මත් වතුර පානය කර සැමියා නිවසට පැමිණි පසු යම් සිද්ධියක් මුල් කරගෙන ඇය ඔහු සමග ආරවුලක පැටලුනාය.
ආරවුල අතරේ පැවසුවේ “‘‘තමුසෙත් එක්ක ඉන්නවට වඩා හොඳයි අපි තුන්දෙනා වැවේ පැනලා මැරෙනවා.” යැයි කියමින් හඬමින් දොඩමින් ඇය කුඩා දරුවන් දෙදෙනාගේ දෑත් අල්ලාගෙන ඔවුන් සමග නිවසට ආසන්නයේ තිබෙන කුඩා වැව දෙසට දිව යන්නට වූවාය. සැමියාද ඔවුන් පසු පස දිව ආ අතර වැව අසලට ගිය ඇය දරුවන් සමග දියට බැස දරුවන්ගේ ඉණවට දක්වා බැස ‘‘“ඔන්න අපි තමුසෙගෙන් සමු ගන්නවා. දැන් ඉතින් හොඳ ජිවිතයක් තමුසෙට ගත කරන්න පුළුවන්.” යැයි කියමින් ඇය දියේ ගිලෙන්නට යන අයුරින් පහත් වුවාය.
ඒ සමගම ඔවුන් සිටි තැනට දිව ආ ඔහු හඬමින් පැවසුවේ ”අනේ මට සමාවෙයල්ලා. මම ආයේ නම් කවදාකවත් මේ දහජරාව කටේ තියන්නේවත් උඔලා කිසි කෙනෙකුට කරදරයක් කරන්නේවත් නැහැ. අනේ පිං සිද්ධවෙයි. දරුවන් සමග ගෙදර යමන්.” යැයි කියමින් ඇයගේ අත අල්ලාගෙන ඇයගෙන් ඉල්ලා සිටියේය.
එහිදී ද ඇය පැවසුවේ “මීට පෙරත් තමුන් ඔවැනිම පොරොන්දු අපිට දුන්නානේ කෝ පලක් වුණාද? තමුන් අපිට විශ්වාස නැහැ. අපි තුන්දෙනා මේ ලෝකේ හැරලා යනවා අයින් වෙනවා” යැයි කියා ඔහුගේ අත පසෙකට තල්ලුකර තවත් ගැඹුරු දෙසට යන්නට සූදානම් වූවාය. එහිදී ඔහු දෑත් ඔසවා ඇයට පැවසුවේ “‘‘අනේ ආයේ එහෙම වෙන්නේ නැහැ. වරෙල්ලා ගෙදර යන්න. අද ඉඳලා අපි හතර දෙනා සාමයෙන් ඉදිමු.” කියා ඇවිටිලි කරන්නට විය. එහිදී ඇය පැවසුවේ “හා කමක් නැහැ පුතේ අද විතරක් මෙයාට සමාව දීලා බලමු හැබැයි ආයේ එහෙම බීලා ගෙදර ආවොත් තමුසෙට අපි දකින්න වෙන්නේ නම් නැහැ.” යැයි කියමින් ඇය දරුවන් සමඟ නැවත නිවස බලා පිය මැන්නේ මේ ගැටයෙන් වත් විසඳුමක් ලැබේවි දෝයි සිතමිනි. දින සති ගෙවී මාසයකුත් උදාවිය. ඇයගේ උපක්‍රමයෙන් පසු සැමියා පෙර පරිදි මත් වතුර පානය කර නිවසට නොපැමිණි අතර පෙරට වඩා දරුවන්ටත් බිරිඳටත් ළෙන්ගතුව ඔවුන්ගේ ඕනෑ එපා කම් සොයා බලා කටයුතු කරන්නට වූ බවත් තමන්ගේ මායම්වලින් එකකින් සැමියා මට්ටු කරන්නට පුළුවන් වුවා යැයි සිය මිතුරියන්ට පැවසුවේ දඟකාරකම් පාලනය කරගන්නට බැරි සැමියන්ට මෙවැනි මායමක්වත් පෙන්වලා ඔවුන් හදා ගන්නා ලෙස ඔවුන්ටද උපදෙස් දෙමිනි.
හසලක සුනිල් ඒකනායක
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd