කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත



සුද්දාට සුද්දයක් දෙන්න ගිය සුද්දාගේ සංචාරක මග පෙන්වන කළු සුද්දාට යන එන මං නැතිවූ අපූරු කතාවක් ගාලු‍ දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.
සුද්දා රටය. රට ජර්මනිය ය. ඔහුගේ මග පෙන්වන්නා මෙරට කළු සුද්දෙකි. ඔහු බෙන්තර ගඟෙන් මෙපිටය.
සුද්දා ලංකාවට ආ සැනින් ඔහුත් සමග ගමන් බිමන් යන්නේය. දැනට දෙන්නාගේ ආශ්‍රය වසර දහයකටත් වැඩි මිසක් අඩු නොවේ. සුද්දාට ඔහු ගැන තිබුණේ ලොකු විශ්වාසයකි. ඒ නිසාම මෙරට සියලු‍ වියපැහැදම් කිරීමට සුද්දා මාරු කරන ලද රුපියල් ශත දුන්නේ අපේ රටේ කළු සුද්දාටය.
මේ සුද්දා සමාජ සේවකයෙකි. ඔහු ලැගුම් ගෙන සිටින නවාතැන අවට දරුවන් ඇතුළු ජනතාවට එක එක ව්‍යාපෘති කළේය. ඒ සඳහා සියලු‍ම සම්බන්ධීකරණය කළේ අපේ කළු සුද්දාය.
මෙවර තිබුණේ අඩුආදායම්ලාභී පාසල් සිසුන්ට පාසල් උපකරණ සහ අභ්‍යාස පොත් පිරිනැමීමය.


සුද්දගේ මේ ව්‍යාපෘතියේ සියලු‍ කටයුතු සම්පාදනය කළේ ඔහුගේ මගපෙන්වා වන කළු සුද්දාය. ඒ අවස්ථාව ඡායාරූපකරණය කිරීම සඳහාද ඡායාරූප ශිල්පියකුද කැඳවා තිබුණේය. ඒ සුද්දාගේ මග පෙන්වන්නාය. ඒ පොරොන්දු වූ මුදලකටය.
පාසල් සිසුන් වෙනුවෙන් පැවති මේ සත් කාර්යය නිමාවට පත්විය. ඒ අවස්ථාවේදී සුද්දාගේ මග පෙන්වන්නා අවශ්‍ය වෙනත් කටයුත්තකට බැහැරට ගොස්‍් ය. ඡායාරූප ශිල්පියා රස්තියාදු වනු නොඉවසූ සුද්දා කවදාවත්ම නැතිව ඔහුගේ ළඟට පැමිණ ඔහුගේ කාර්යය වෙනුවෙන් ගාණ කීයද ඇසුවේය. ඔහු සංචාරක මග පෙන්වන්නාට පොරොන්දුවූ මුදල බැරි බැරි ගාතේ සුද්දාට කීවේය.
එවිට සුද්දාගේ සුදු මුහුණ කළුවූවේය. නළලේ රැලි මතුවුණේය. ඒ එක්කම සුද්දා සිය මුදල් පසුම්බිය ඇද තමාගේ විශ්වාසදායී සංචාරක මග පෙන්වන්නා ඡායාරූප ශිල්පියාට ගෙවීමට තමාගෙන් ඉල්ලා තිබූ මුදලින් භාගයක් ගෙව්වේ එම සංචාරක මග පෙන්වන්නාගේ සේවයට විරාමයක් දෙමිනි.