කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත



පෙරහරේ කාවාඩි නටන්න මුදල් බැඳ නොහිතූ අකරතැබ්බයකට මුහුණදී නැටූ කාවාඩියක් මෙන්ම ඒ වෙනුවෙන් බැන්ඳ මුදල්ද නැතිවූ තරුණයකු පිළිබඳව කතාවක් ගාල්ලේ නගරයකින් අසන්නට ලැබේ.
ගාලු‍ දිසාවේ ප්‍රසිද්ධ නගරයක පැවැත්වූ පෙරහරකි. පෙරහර පැවතියේ රාත්‍රියේය. එම පෙරහරේ කාවාඩි නටන්න මුදල් බැඳිය යුතුය. ඒ වෙනුවෙන් බැඳිය යුතු මුදල රුපියල් තිස්දහසකි.
ප්‍රදේශවාසී තරුණයකුටද පෙරහරේ කාවාඩි නටන්න ආශාවක් ඇතිවූවේය. ඔහු ඒ සඳහා අවැසි මුදල් ද බැන්ඳේය. ඊට පසු ඔහු දතකට මැදගෙන සිටියේ පෙරහරේ කාවාඩි නටන්නටය. දිනය උදාවූවේය.
එදින පස්වරුවේ සිට වැසි සලකුණු තිබුණේය. ඒනිසාමදෝ පරිසරය සීතලය. පොඩි වැස්සක්ද පටන් ගත්තේය. පෙරහරේ කාවාඩි නටන්න සිදුවෙනුයේ මහ රෑ නිසා කොල්ලා රෑ හතට පමණ පොඩි ඇලට් එකක් දැම්මේය. දැන් කොල්ලා තද නින්දේය. පෙරහරේ කාවාඩි නටන අයුරු සිහිනෙන්ද දුටුවේය. පෙරහර නරඹන කෙල්ලන් ඉදිරියේ ඔහු කැපුණු පණුවෙක් මෙන් දඟලමින් කාවාඩි නටන අයුරුද මේ සිහිනයේ තිබුණේය.


මේ සමගම කොල්ල ඇහැරුණේය. ඔහුගේ සූදානම දැන් කාවාඩි නටන්නට යන්නය. කාමරයෙන් සාලයට ආ ඔහු විදුලි පහන දැල්ලු‍වේය. සාලයේ එල්ලා තිබුණු ඔරලෝසුව දිහා බැලු‍වේ නිකමට මෙන්ය. එහි වෙලාව සටහන්වී තිබුණේ අලු‍යම පහ ලෙසය. කොල්ලාට තුන් මුහුණෙන්ම දහඩිය දැම්මේය. වෙලාව ඔරලෝසුවට වැරදිලාවත් දැයි සිතා ඔහු සිය ජංගම දුරකතනයේද වෙලාව බැලීය. එහිත් සටහන්වී තිබුණේ අලු‍යම පහ පසුවී විනාඩි කිහිපයකි.
කොල්ලා පෙරහර පිළිබඳව විමසීමට ඔහුගේ මිතුරකුට දුරකතන ඇමතුමක් දුන්නේය. හා මචං දැන් තමයි පෙරහරේ අවසාන අංගය වන කාවාඩි නැටුම පෙරහර ආරම්භ කරපු නටාපු  කාවාඩියකුත් නැහැ. ඒ සඳහා බැන්ඳ සල්ලිත් නැහැ යයි ඔහුගේ මිතුරන් කීවිට කොල්ලට මළ පැන්නත් ඔහු එය නොපෙන්නා ඉන්නේ ඉතා අමාරුවෙනි.