IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


රන් හිරුමඬලින් සිහිලස අයදිනවා

 

 

බන්දුල නානායක්කාරවසම්ගේ සුගේය පද සුරචනයෙන් ද විශාරද එඩ්වඩ් ජයකොඩිගේ කර්ණරසායන හඬ මාධුර්යයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ මියුරු මියැසියෙන් ද සමලංකෘත මෙි ගීමිණ මිනිස් සන්තානයේ නොතිත් ආශා පිළිබඳ අඳුරු පැතිකඩක් සුවිශද කරයි.

මිනිස් ආශා අසීමිතය.භෞතික සම්පත් සීමිතය.ඇතමෙක් තමන් නොලද සම්පත් පිළිබඳ පශ්චාත්තාප වෙමින් මොහාන්ධකාරයේ ගිලුණු අඳමිටුවන් සේ දේපළ වස්තු තණ්හාවෙන් ආශා සන්තර්පණය කරගැනීමට මාන බලති.තමන් නොලද සම්පත් පිළිබඳ ලොබලිය වඩමින් සිහින මවන්නෝ කවරහුද? ඔවුහු දුගියෝය.පීඩිත පන්තියේ අසරණ ජනතාව හැමදාම තමා සේවය කරන හාම්පුතාට කඹුරමින් අශා දෑසින් මිය යති.මිනිසුන් බොහෝ දෙනා තමා නොලද සම්පත් ගැන සිහින මවති.එහෙත් ඒ සිහින පියවි ලෝකයේ සැබෑ නොවේ.ඒ සියලු සිහින බිඳී ගොස් ශෝකයෙන් කෙළවර වෙයි.

වැඩි තණ්හාවට ගිය ගොවියකුට අත්වුණු ඛේදජනක ඉරණමක් පිළිබඳ අපුරු කෙටිකතාවක් විශ්ව සාහිත්‍යයේ මහගත්කරු ලියෝ තෝල්ස්තෝහිහු ලියූහ.How much land does a man need?(මිනිසකුට කොපමණ ඉඩම් ප්‍රමාණයක් අවශ්‍ය ද?) ඔවුහු මෙි කෙටිකතාවෙන් මිනිස් සන්තානයේ අඳුරු පැතිකඩක් මහත් අපූරුවට අනාවරණය කරති.කතාව සැකෙවින් මෙසේය.

පාහෝම් අඳ ගොවියෙක් වූයේය.එහෙත් ඔහුට දිනක් තමාට ම කියා ඉඩමක් මිලදී ගැනීමට සිතක් පහළ විය.මෙි අල්ලපනල්ලේ ඔහුගේ බලාපොරොත්තුව සපල වන ආරංචියක් අල්ලපු ගමෙන් ලැබිණ.මෙි වූකලි නොමිලයේ ඉඩමක් ලබාගැනීමට වරමකි.එහෙත් එය අභියෝගයකි.අල්ලපු ගමෙි දේපළ හිමි බක්ෂීර්වරු පාහෝම්ට අපූරු අභියෝගයක් බාර දුන්හ.එනම් තමන් සිටින තැන සිට ඇවිද ගොස් හැකිතරම් බම්කොටස් ප්‍රමාණයක් අල්ලාගෙන හිරු බැස යාමට පෙර නැවත එම ස්ථානයට ම පැමිණිය යුතු බවය.මෙකී අභියෝගය බාරගත් පාහෝම් උදෑසන සිට සවස්වන තුරු හතිහළමින් විශාල වපසරියක ඇවිද ගියේය.එහෙත් හිරු බැස යාමට මත්තෙන් ඔහුට නැවත තමා සිටි ස්ථානයට පැමිණීමට නොහැකි විය.අවසානයේ ඔහු වේගයෙන් දුවන්නට පටන් ගත්තේය.ඔහු එම ස්ථානය ආසන්නයට ම පැම්ණියේය.බක්ෂීර්වරු අත්පොලසන් දී ඔහු දිරිමත් කළහ.එහෙත් සිදුවූයේ අවාසනාවකි.දිවීමෙන් අධික වෙහෙසට පත්ව සිටි පාහෝම් දිනුම් කණුව පෙනි පෙනී මැරී බිම ඇද වැටුණේ ය.අවසානයේ ඔහුට අඩි 6 ක කුඩා බිම් අඟලක මිහිදන් වීමට සිදුවිය.⁣භෞතික සැප සම්පත්වලට අසීමිතව ආශා කරන මිනිසාට අවසානයේදී සිදුවන සන්තෑසිය මෙි කෙටිකතාවෙන් ලියෝ තෝල්ස්තෝයි අපූරුවට විවරණය කර ඇත.

මෙනයින් දේපළ තණ්හාවෙන් මඬින ලද මිනිසා අසංවෙිදී ආත්මාර්ථකාමියෙක් ද වෙයි.⁣නොසංසිඳෙන ආශා සංසිඳවීමට යත්න දරන්නෝ අමනෝඥයෝය.

මෙි අත්දැකීම ඉතා ප්‍රබල සංකල්ප රූප පොකුරක් මඟින් සුවිශද කිරීමට ප්‍රවීණ ගේය පද රචක බන්දුල නානායක්කාරවසමයෝ උත්සුක වෙති.ඔවුහු මැණික්කරුවකු ස්වකීය මැණික් කපා කොටා ඔපමට්ටම් කොට එහි ප්‍රහර්ෂවත් බවක් විශෝධනීය බවක් උත්ප්‍රේරණය කරන්නා සේ ජීවිතය වටා රොක්ත වූ වෙිදයිත මෙි ගීතය ඔස්සේ අපූරුවට ගළපති.

 

රන් හිරු මඬලින් සිහිලස අයදිනවා

පුන් සඳ පහනින් උණුසුම අයදිනවා

ලෝකය බිහිවූ දා සිට අරුමෙකි මිනිසා

ගිරි හිස ඉඳුවර සොයමින් ළතැවෙනවා

 

හිරු ලෝකයට ප්‍රභාමත් එළියක් දායාද කළ ද මිනිසාට එහි අහලකටත් ළංවීමට නොහැකිය.සූර්යාලෝකයේ රශ්මි කදම්බය එතරම්ම ප්‍රබලය.මැක්සීම් ගෝර්කි කී පරිදි හිරු වනාහි මිනිසාගේ පරම ශක්තියයි.මව්කිරිවලට සමාන ශක්තියක් හිරු මිනිසාට සපයයි.එහෙත් හිරුගෙන් සිසිලස අයැදීම කෙතරම් නුනුවණකමක්ද? පිච්චී මැරී වැටෙන තරම් රශ්මියක් ඇති හිරුගෙන් පවා සිසිලස සොයන මිනිසුන් සිටින බව නොවෙිද මෙි කියන්නේ?සිත්පිත් නැති අහංකාර, උඩඟු මිනිසුන්ගෙන් යහපතක් දායානුකම්පාවක්,අත්වැලක් බලාපොරොත්තු වීම නිෂ්ඵල වෑයමක් බව රචකයා ව්‍යංග්‍යාර්ථයෙන් කියයි.පුන්සඳ හෙවත් පූර්ණ චන්ද්‍රයා ද එබඳු ම ප්‍රබල රූපකයකි.සොඳුරු සෞම්‍ය සඳමඬලින් උණුසුම අයැදීම ද නිරර්ථක ප්‍රයත්නයකි.සඳ කෙතරම් රමණීය සොඳුරු වස්තුවක් වුවද සඳුට කිසිමදාක කෙනකුට උණුසුමක් සැපයිය නොහැකිය.එහි ස්වභාවය එසේය.ලොව නියාම ධර්ම,ස්වභාව ධර්මය මිනිසාට වෙනස් කළ නොහැකිය.තතු එසේ වූව ද භෞතික ආශා පිටුපස ලුහුබඳින මිනිසා යකකුගෙන් හෝ යමක් ගන්නට නොපසුබට වෙයි.මිනිසාගේ ජාගර ගති අවිචාරවත් මුග්ධ ඇවැතුම් පැවැතුම් මියෙනතුරු ම වෙනස් නොවෙි.ලෝකය බිහිවූ දා සිට තෘෂ්ණාවෙන් කාමාග්නියෙන් පෙළෙන මිනිසා ගිරිහිස හෙවත් කඳුහෙල් මුදුනේ පවා මහනෙල් මල් පිපෙතැයි විශ්වාස කරයි.මෙහි ඉඳුවර යනු මහනෙල් මලට කියන තවත් නමකි.වෑතල,පොකුණු ගං හෝ පිපෙන මහනෙල් කවරදාකනම් ගිරිහිස සුපුෂ්පිත වෙයිද?මෙි වූකලි කෙතරම් අමනෝඥ,අභව්‍ය සිතුවිල්ලක්ද?"ගිරිහිස ඉඳුවර සොයමින් ළතැවෙනවා" නමැති සංකල්ප රූපය නොහිමි සම්පත් ගැන පවත්නා දළ ලොබලිය ධ්වනිත කිරීමට කෙතරම් ප්‍රබලද?මිනිසා දකින මෙි සියලු අයථාර්ථවත් සිහිනවල අවසන් ප්‍රතිඵලය කුමක්ද?පශ්චාත්තාපය යි.පසුතැවිල්ල හද තෙරපමින් දුක් ගෙන දෙයි.රාග,ද්වෙිෂ,මෝහ සිතුවිලි දමනය කරගත්තෝ බොරුවළක නොවැටී ජීවිතය ජයගත්තෝය.

 

සයුරේ පැන් තොට සොයමින් වැළපෙනවා

කතරේ කෙම්බිම දකිමින් රැවටෙනවා

දිලිසෙන දිය රැලි මාලා

නෙත පුරවා නෙක මායා

මිනිසුන් හැමදා සිහිනෙක සැතපෙනවා

 

සයුර කෙතරම් විශාල දිය උල්පතක් වුව ද මිනිසාට එහි ඇති වතුර පානය කළ නොහැකිය.ඒවා ඒතරමට ම ලුණු රසයෙන් පිරි පවතී.එහෙත් ළිඳෙන් වතුර බී මුහුදට ආවඩන්නෝ ඔිනෑ තරම් සිටින්නෝය. ඇතමෙක් රස නීරස පිළිබඳ නිනව්වකින් තොරව සියල්ල අනුබව කරති.එහෙත් මිනිසාට කෑ නොහැකි දෑ බෝහෝය.මරුකතරක අතරමං වී තනිවී සිටිය ද එය කේෂමභූමියක් හෙවත් කෙම්බිමකැයි සිතා ඇතැම්හු රැවටෙති.ජීවිතය නමැති මායාවෙි වෙළෙන මිනිස්සු කාල්පනික ලෝකයේ තනිවී මොහාන්ධකාරයේ ගිලී සදාකාලික සිහින දකිති.ඔවුහු පියවි ලෝකයට නොපැමිණ එහිම සැතපී සිටිති.සයුරේ පැන්තොට සෙවීම,කතරේ කෙම්බම් දැකීම වැනි රමණීය යෙදුම් අගනා කාව්‍යෝක්ති නොවෙිද?

 

ගමනේ මං පෙත දවසක නිම වෙනවා

ලද දේ කළ කී දේ හිත හඬවනවා

නිවැරදි හැම සඟවාලා

වරදට මල් දම් දාලා

රකුසන් පුද දී මිනිසුන් සැනසෙනවා

 

මිනිසා කෙතරම් භෞතික ආශා පසුපස හඹා ගිය ද යම් දවසක මෙි කෙටි ජීවන චාරිකාවට තිත තැබිය යුතුය.එහෙත් මරණමංචකයේදී පවා තමන් කළ කී දෑ පිළිබඳ නැවත වරක් අාවර්ජනය කිරීමට මිනිසාට සිදුවෙයි.මෙහිදී බොහෝ දෙනකුට ඉතිරි වන්නේ ළතැවිල්ලක් පමණි.ඇතමෙක් නිවැරැදි දෙයට පිටුපාමින් උගුරට හොරා බෙහෙත් බොති.තවත් අයෙක් තමන්ට වින කටින එකා පස්සෙ ම ගොස් වැඩ වරද්දා ගනිති.ඔවුහු සත්‍ය පෙනි පෙනී ම බොරුව මායාව හඹා යති.සමහරු සුරයන් අමතක කර අසුරයන්ට වැඳ පිදුම් සත්කාර කරති.මෙනයින් විවිධ ඇස්බැන්දුම් සෙල්ලම් ඉදිරියේ මං මුළා වූ මිනිස්සු ලොව කෙතරම් සිටිත්ද?රචකයා මෙහි පරිහරණය කර තිබෙන සංකල්ප රූප පොකුර අපගේ ජීවිතවල අඳුරු ඇතුළාන්තය විනිවිද දැකීමට ප්‍රබල අත්වැලක් සපයයි.ඔහු ඒ ඔස්සේ මිනිසාගේ ජීවිතයේ අඳුරු අහුමුළු අවුස්සා විසල් ඥාන රශ්මි කදම්බයක්,ප්‍රඥාලෝකයක් දසත විහිදුවයි.මිනිස් සිතේ විලිලන අා⁣⁣ශාවෝ අප්‍රමාණයෝය.එය මිනිසාගේ ජීවන ලාලසාව තීව්‍ර කරයි.මෙනයින් ආශා,අපේක්ෂා,අභිලාෂ,සිතුම් පැතුම්, සිහින ඉපදී, පිබිදී,බිඳී මියයෑම ජීවිතයේ ස්වභාවය යි.අනියත ජීවිතයේ නියත කිසිවක් නොමැති බව පසක් කරමින් එහි ස්වභාවය මෙහි රචක බන්දුල නානායක්කාරවසමයෝ මනාව ප්‍රතිනිර්මාණය කරති.ජීවන වෙිදිකාවෙි මායාරංගනයක යෙදෙන මිනිසා එහි යථාර්ථය තේරුම් ගන්නා තුරු විවිධ සිහින සාප්පුවලට ගොඩවෙති.එහෙත් එහි තිබෙන කිසිදු දෙයක් මිලදී ගැනීමට නොහැකිබව දන්නේ කීයෙන් කීදෙනාද?මෙි ගීතයෙන් රචකයා මතුකරන සාරදර්ශනය කෙතරම් ප්‍රබලද?

 



අදහස් (0)

රන් හිරුමඬලින් සිහිලස අයදිනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

ගී විනිස

මහ වැස්සක පෙරනිමිති පෙනෙනවා
2025 අප්‍රේල් මස 01 333 0

කේ.ඩී කේ ධර්මවර්ධයන්ගේ ගේයපද රචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන ස්වර මාධූර්යයෙන් ද සංගීත නිපුන් සනත් නන්දසිරිගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගී


පූජාසනයේ ඔබ හිඳුවා
2025 මාර්තු මස 25 963 0

සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියුරු මියැසියෙන් ද යුතු ම


ගංගා එන්න කෝ ගංගා
2025 මාර්තු මස 18 1100 1

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සංකල්ප රූප සංකලනයෙන් ද වික්ටර් රත්නායකයන්ගේ සුමධුර ස්වර සංරචනයෙන් ද අබෙිවර්ධන බාලසූරියගේ හඬ මාධුර්යෙන් ද සුරංජිත මෙි


උඩඟු ලියන්
2025 මාර්තු මස 11 1153 1

ඩෝල්ටන් අල්විසුන්ගේ ගේයපද මාලාවෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ දේශානුරාග


දුරුකතර ගෙවාගෙන
2025 මාර්තු මස 04 1155 0

සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ සුගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනේගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්. එම් ජයවර්ධනයන්ගේ ස්වරාල


දස්කොන් සකිසඳ
2025 පෙබරවාරි මස 25 1250 0

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද මාලාවෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සහ නීලා වික්‍රමසිංහගේ ගායනයෙන් ද යුතු මෙි ගීමිණ අසම්මත ප්‍රේමය


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 171 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 758 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 769 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site