සුජිත් හේවාජුලිගේ 

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL)  නිකුත්කර ඇති නිල වාර්තාවලට අනුව, 2020 වසරේ සිට 2025 වසරේ මැයි මාසය දක්වා කාලයේදී පමණක් 79 දෙනකු පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගොස් ඇත.

පොලිස් සිරමැදිරිවල සිටියදී 49 දෙනකුද, අත්අඩංගුවට ගැනීමෙන් පසු සඟවන ලද ආයුධ පෙන්වීමට යෑම වැනි පොලිස් මෙහෙයුම්වලදී සිදු වූ ගැටුම්වලින් තවත් 30 දෙනකු ද මෙලෙස මියගොස් තිබේ.

ඒ අනුව එම වසර පහේ දී පොලිස් බාරයේ දී සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 79 කි.

හෝමාගම සහ කොබෙයිගනේ වැනි ප්‍රදේශවලින් මේ මාසයේ දී පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෝ දෙදෙනෙක් මිය ගියහ. ඒ සම්බන්ධයෙන්  පොලිස් නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර විමර්ශන  වැඩිදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

පොලිස් අත්අඩංගුවේ පසුවන පුද්ගලයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ අත්අඩංගුවේ සිටිය දී සිදුවන මරණ වැළැක්වීම සඳහා මානව හිමිකම් කොමිසම පොලිසිය වෙත විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත.

මෙයට අමතරව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද මෙවැනි මරණ වළක්වා ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා ලෙසට රජයෙන් ඉල්ලීමක් කරයි.