චමෝදි සෙව්වන්දි
අස්වැසුම සුභසාධක ප්රතිලාභ වැඩසටහන යටතේ සිදුකළ තොරතුරු යාවත්කාලීන කිරීමේ සමීක්ෂණයෙන් පසුව ප්රතිලාභීන් නව ලක්ෂ පනස් හතර දහස් අටසියය අසූ පස් දෙනකු (954,885) ගේ නම් පමණක් ලැයිස්තුවෙන් ඉවත් වී ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපති නිමල් කොටවලගෙදර “ඉරිදා ලංකාදීප”යට සඳහන් කළේය.
මාධ්ය මගින් වාර්තා කළ පරිදි එකවර ලක්ෂ 12ක හෝ 13ක පිරිසක් අස්වැසුමෙන් කපා හැර නොමැති ද ඔහු අවධාරණය කළේ ය.
පනතට අනුව වාර්ෂිකව තොරතුරු යාවත්කාලීන කළ යුතු අතර 2023 වසරේ පැවති තෝරාගැනීම්වලදී සුදුසු අයට සහනාධාර ලැබී නැති බවටත් නුසුදුසු අයට ලැබී ඇති බවටත් පාර්ලිමේන්තුවේ මාධ්යවල සහ සමාජයේ පොදු මතයක් පැවති බැවින් මෙම යාවත්කාලීන කිරීම නැවත සිදුකළ බව සභාපතිවරයා ප්රකාශ කළේය.
අස්වැසුම මුලින් ආරම්භ කළේ අන්ත දුප්පත්, දුප්පත්, අවදානම් සහ සංක්රාන්ති යන කාණ්ඩ හතර යටතේය. ගැසට් නිවේදනයට අනුව සංක්රාන්ති කාණ්ඩය 2025 දෙසැම්බර් මස අවසන් වීමට තිබුණද එය අප්රේල් දක්වා දීර්ඝ කළ අතර අවදානම් කාණ්ඩයේ ගෙවීම් ජූනි මාසයෙන් අවසන් විය. ඒ අනුව ඉදිරියට අස්වැසුම ප්රතිලාභ හිමිවන්නේ "අන්ත දුප්පත්" සහ "දුප්පත්" යන කාණ්ඩ දෙකට පමණි. දීමනා මුදල් සහ ගෙවීම් නව ලැයිස්තුවට අනුව අන්ත දුප්පත් කාණ්ඩයට මසකට රුපියල් 17 500ක් ද දුප්පත් කාණ්ඩයට මසකට රුපියල් 10 000ක් ද හිමිවේ.
අන්ත දුප්පත් සහ දුප්පත් යන කාණ්ඩ දෙකට අයත් සමස්ත පිරිස 980 000කට ආසන්න වේ. මීට පෙර ප්රකාශයට පත්කළ ලක්ෂ 33ක පිරිසෙන් දැනට ලක්ෂ 23කට පළමු වටයේ ගෙවීම් සඳහා අනුමැතිය දී තිබේ. ප්රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් කටයුතු අවසන් වූ ලක්ෂ 30යි 95 000ක සංඛ්යාව පදනම් කරගෙන මෙම අනුමැතිය ලබා දී ඇත. තවත් ලක්ෂ 7ක පමණ පිරිසක් ඇතුළත් දෙවැනි ලැයිස්තුව නොවැම්බර් මාසය වන විට නිකුත් කිරීමට නියමිත අතර එම ලැයිස්තුවට ඇතුළත් වන අයට නොවැම්බර් මාසයේදී හිඟ දීමනා ද සමගින් මුදල් ගෙවනු ලැබේ.
2023 වසරේ සිදු වූ වැරදි වළක්වා ගනිමින් ග්රාම නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් පුහුණු කර ගෙයින් ගෙට ගොස් ස්වයං ප්රකාශන සත්යාපනය කර ඇත. මෙහිදී IWMS පද්ධතිය හරහා ලකුණු ලබාදීම සිදුවන්නේ දර්ශක 22ක් පදනම් කරගෙන වන අතර උදාහරණයක් ලෙස පොල් අතු ගෙයකට ලකුණක් ලැබෙන අතර උළු ගෙයකට ලකුණු නොලැබේ. කිසිදු නිලධාරියකුගේ පෞද්ගලික, දේශපාලනික හෝ හිතවත්කම් මත මැදිහත් වී ප්රතිලාභීන් කපා හැරීමට හෝ ඉවත් කිරීමට හැකියාවක් නොමැත.
ලැයිස්තුවෙන් ඉවත් වූ අයට ඉදිරියේදී නැවත ඉල්ලුම් කිරීමේ අවස්ථාව පවතින අතර දැනට ප්රකාශයට පත් කර ඇති ලැයිස්තුව සම්බන්ධයෙන් අභියාචනා හෝ විරෝධතා ඉදිරිපත් කිරීමට නොවැම්බර් 11 වැනිදා දක්වා දින 14ක කාලයක් ලබා දී ඇත. කටයුතු ඉක්මන් කරගැනීම සඳහා හැකිතාක් දුරට මාර්ගගත ක්රමයට අභියාචනා ඉදිරිපත් කරන ලෙසත් එසේ නොමැති නම් ප්රාදේශීය ලේකම් කාර්යාල වෙත අයැදුම්පත් භාරදෙන ලෙසත් උපදෙස් දී ඇත. ප්රාදේශීය ලේකම්වරුන්ගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන අභියාචනා කමිටු මගින් නැවත සමීක්ෂණය කර තීරණය කරනු ලබන පිරිස් වෙත ඉදිරියේදී ගෙවීම් කිරීමට සුබසාධක ප්රතිලාභ මණ්ඩලය කටයුතු කරනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd