●          විදෙස් රටවල් සමඟ කරන කටයුතුවලින් අහිතකර විපාක

●          රට තුළ විවිධ හැලහැප්පීම්

●          කැලෑ නීති මතුවීමක්

●          විදුලි බලයට හානිවන බලපෑම්

●          විදේශිකයන් මෙරට ඉඩම් කොල්ලයකට යොමුවන හැඩ

මෙම නොවැම්බර් 16දා සඳුදා ප.ව. 07.20 ට පමණ නීච රවි මිතුරු වෘශ්චිකයේ විසා නැකතේ 4 වැනි පාදයට පැමිණෙයි. එවිට නැගෙනහිර ක්ෂිතිජයේ නීච සිකුරුට අයත් වෘෂභ රාශිය තත්කාල ලග්නය ලෙස උදා වී පවතී. තිර රාශියක් වන සිංහය සිව්වැන්න වී ඇති අතර එහි ගුරු, කුජ සමඟ ලැඟු‍ම් ගෙන සිටීම එතරම් සුබදායක නැත.

 

විදේශ රටවල් සමඟ සිදුකරන කටයුතුවලදී ශ්‍රී ලංකාවට අහිතකර ප්‍රතිවිපාක අත්විඳින්නට සිදුවනු ඇත. විශේෂයෙන් ප්‍රංශය, ඉතාලිය, ස්වීඩනය, රුමේනියාව වැනි රටවල භයානක ප්‍රතිඵල ගෙන දිය හැකි ගිනි විපත් සහ භූචලන ආදිය ඇතිවන අතර, ඒවායේ ඍණාත්මක අතුරු ප්‍රතිඵල ලෙස ශ්‍රී ලංකාවටද වෙස්වළාගත් නස්පැත්තිදායක තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවනු ඇත.

 

මෙම ග්‍රහචාරය තුළ ශ්‍රී ලාංකිකයන් අතර අනර්ථකාරී විප්ලවකාරී තත්ත්වයක් මතුවිය හැකිය. ආණ්ඩුවිරෝධී සහ කැලෑ නීති මතුකෙරෙන අනීතික තත්ත්වයක් තුළ කැරලි කෝලාහල මතු කෙරෙනු ඇත. ඒ නිසාම ප්‍රතිසංස්කරණවාදී ක්‍රියාකලාපයක්ද දියත් වනු ඇත. මෙම තත්ත්වය තුළ විවිධාකාර ක්ෂේත්‍ර හරහා නවතම සංවිධාන බිහිවන බවක් පෙනෙයි.

 

වෘශ්චික රවියේ පවතින පාප ග්‍රහ සංයෝග හේතුකොටගෙන රට තුළ විවිධ හැලහැප්පීම් මතු කෙරෙනු ඇත. ජනතාව ඒකරාශී වන විවිධ ආයතන සහ ස්ථාන ගිනිගැනීම් හා විනාශවීම්වලට ලක්වෙමින් පීඩාකාරී තත්ත්වයන් ඇතිවිය හැකිය.

 

මැණික් පතල්, මිනිරන් පතල්, පැරණි පතල්, අත්හැර දැමූ ළිං, වැසිකිළි වළවල් ආදියෙන් මතුවන විස වායු පිටවීම්, ගිනිගැනීම්, කඩාවැටීම් හා බිඳීම් හේතුවෙන් විදුලි බලයට හානි ඇතිකරන අහිතකර බලපෑම් ව්‍යාප්ත වනු ඇත.

 

වෙළෙඳපොළ දෛනික සමබරතාව වෙනස්වීමෙන් ජනතාව තවදුරටත් පීඩාවට පත්වෙයි.

එසේ වුවද, විවිධ ජනකොටස් තුළ යහපත් මානසිකත්වයක් ඉහළ යාමක් දක්නට ලැබෙනු ඇත. නැන නුවණ පහළ වන අතර නූගත් අය පවා ඉගෙනීමේ වටිනාකම අවබෝධ කරගනිති. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පවා යම් යම් දේ ඉගෙන ගැනීමටත් හඳුනා ගැනීමටත් පෙළඹෙති. ආහාර කල්තබා ගැනීමේ උපක්‍රමවල දියුණුවක් ඇතිවන අතර ලාංකික නිෂ්පාදන සඳහා විදෙස් වෙළෙඳපොළ උත්පාදනය වෙයි.

 

පවතින මත්ද්‍රව්‍ය වෙනුවට මත් දියරයක් හෝ එන්නත් කර ගැනීමේ ක්‍රම මතුවිය හැකි බැවින් නිවාරණ කාර්ය මණ්ඩලවල අවධානය ඒ කෙරෙහි යොමු විය යුතුය.

ඉඩකඩම්වල මිල පහළ වැටීමේ අවදානමක් පෙනෙන්නට තිබේ. විදේශිකයන් විවිධ උපක්‍රම යොදමින් මහා පරිමාණයෙන් මෙරට ඉඩම් මිලදී ගැනීමට යොමුවනු ඇත. එහෙයින් යාපනයේ පවතින තේසවලමෙයි නීතියට සමාන නීතියක අවශ්‍යතාව ගැන කතිකාවක් මතුවනු ඇත.

 

රටටම වෙස්වළාගත් නස්පැත්තියක් මතුවීමේ අවදානම පවතින හෙයින් සිද්ධස්ථාන ඇසුරු කරගෙන විසිඅට මහා බුද්ධ පූජා පවත්වා, ජය පිරිත, ජයමංගල ගාථා, රත්නමාලා ගාථා සහ යන්ත්‍ර භාවිතය යෙහෙකි.

පූජ්‍ය තලගහ සද්ධානන්ද හිමි