රුවී කියනා ආකාරයට මා රැවටෙන්නේ කැමැත්තෙන්ය. දැන දැනමය. මගේම ඕනෑකමටය. නැතිනම් රැවටීම විනෝදාංශය කොටගෙන ඇති බැවින්ය. මා කොපමණ වතාවක් නැවත නැවතත් රැවටුණත් ඇයට ගනණක් නැති බව කියන්නේ කිසිදු තෙතක් මෙතක් නැතිවය. මා සාදා දුන් කිරි කෝපි කෝප්පය තොලගාමින් ඇයම ගෙනා චොක්ලට් කේක් එකෙන් විශාල කැබැල්ලක් හපමින් ඇය පවසන දෙයට හිනාවෙන්නද? අඬන්නද? නැතිනම් හොම්බට අනින්නදැයි සිතාගනු නොහැකිව මා පසුවන්නේ අසීරුම අවස්ථාවකය.

          රුවී පවසන්නේ සත්‍යයට ඉතා ළඟින් යන අදහසක් වුවත් එය පිළිගත් වගක් ඇයට අඟවන්නට හිත නැමෙන්නේ නැත.

" හරි මම කියන්නේ බොරුද? 
උඹම හිතපං
ඉස්සර හැබැහින් දැකලා, කතාබහ කරලා, ආශ්‍රය කරලා , ආදරය කරලා පස්සේ රැවටුණා.
ළඟදි ඉඳලා ඔන් ලයින් රැවටෙනවා.

රැවටෙනවා විතරද? 
කෝල් කරලා මට වද දෙනවා. 
බලපන්, අද මං ආවේ එන්න ඕනෑ ගමනක්ද ?
මට කියලා වැඩ නැද්ද? 
සති අන්තයේ විතරයි ටිකක් දවල් වෙනකම් නිදාගන්න තියෙන්නේ. බඩගිනි ජනතාව බලාඉන්නේ සති අන්තය එනකම්. මට කියලා උන් කැමති කෑම හදවගන්න. 
ඒත් ඒ ඔක්කොම පැත්තකට දාලා මං එන්න ඕනෑ උඹේ දුක අහන්න.
           රුවී කකුල් දෙක සෙටිය උඩට අරගෙන හරිබරි ගැහෙන්නේ දුක ඇසීම සඳහාම බව දැනුණත් දුක කියාගැනීමට බැරිව පසුබෑවේ මාය. රුවි බනින්නේ අනාදරයට නොව ආදරයටය. 

" ඇත්තටම උඹට බැරි වුණානේ අවුරුදු හතළිහත් පනිනකම් තමන්ටම කියලා ස්ථිර සම්බන්ධයක් හදාගන්න. ටික කලක් ආශ්‍රය කරනකොට ඒ මිනිහගේ අඩුපාඩු කන්දරාවක් පේන්න ගන්නවා. නැත්නම් ඒ මිනිහා හිමින් මග අරිනවා. ඊළඟට කන් කෙඳිරිය. 

අපිට හරියන මිනිස්සු මැවිලා නෑ බං.
දැන්වත් අම්මලා කියන දෙයක් කරපන්.

මොකෝ මට කියලා හරියටම හරියන ස්වාමිපුරුෂයා ලැබිලා තියෙනවද ?
නෑ නේ.
ඒත් අපි ඔය අගේට පවුල් කන්නේ. "

          රුවී කියන කතාවේද ඇත්තක් ඇත. අවුරුදු හතරක් පුරා පෙම් කළ පෙම්වතා නොදන්වාම වෙනත් අත්තකට මාරු වූ විට රුවී අඬ අඬා සුසුම් ලෑවේ නැත. ගෙදරින් ගෙනා පළමු විවාහ යෝජනාවටම කැමැත්ත පළකර විවාහ වූවාය. ඇය දැන් පාසල් යන පුතුන් දෙදෙනෙකුගේ මවකි. ගැහුවොත් ගැහුවා. බැන්නොත් බැන්නා ලෙවල් එකෙන් පවුල් කන ඔවුන් ගැන මට නම් හිතාගන්නටවත් බැරිය. මම බලාපොරොත්තු වන නිහඬ, නිස්කලංක, ආදරණීය විවාහ ජීවිතය ඔවුන් අතර නැත. එහෙත් ඔවුන් දෙදෙනාටම දෙන්නට දෙන්නා නැතිව බැරිය. මඟුල මෙහෙමවත් අල්ලා සිටින්නේද ඒ නිසාය.

" නලින්ද උඹව දාලා ගියේ උඹ ඕනවට වැඩිය ආදරය කරන්න, හොයලා බලන්න ගිය නිසයි. ඌට ඒක දරාගන්න බැරි වුණා. බර වැඩි වුණා. ඒ නිසා ඊට වඩා සැහැල්ලු සම්බන්ධයක් හොයාගෙන ගියා.
           හූනා කියන්නා සේ රුවී මේ දේවල් පවසන ආකාරය පුදුමය. නලින්ද අවසානයටම එවා තිබූ පණිවිඩයේ සඳහන්ව තිබුණේ 

" ඔයාගේ ආදරය මට බර වැඩී " කියාය.
             ප්‍රේමයට බරක් තිබිය යුතු බව කොතැනක හෝ මා කියවා ඇත. සැහැල්ලුව ප්‍රේම කරනා ආකාරය මා දන්නේ නැත. නලින්දගෙන් පසු සබඳතා කිහිපයක්ම බිඳී ගිය නමුදු ඒ කිසිවකුත් නලින්ද මෙන් පිළිගතහැකි හේතු දක්වා තිබුණේ නැත. හේතු මා අසන්නට ගියේද නැත. සති කිහිපයක් තනිව වැලපී රුවීට දුක කියා, බඩ කට පුරා බැනුම් අසා මමම මගේ හිත හදාගත්තා මිසක ඒ කිසිදු සම්බන්ධතාවක් මට ඉතිරිකර ගිය දෙයක් නැත.
             සම්බන්ධතාවක් පටන්ගැනීමේදී මෙවර නම් මුළු හදවතම ඔහු වෙනුවෙන් විවර නොකරමී තදින් හිතට ගත්තත් සතිය දෙක යනවිට මගේ සීමාවන් මා විසින්ම අතික්‍රමණය කිරීම ශෝකජනක කාරණාවකි.

" උඹ ආදරය කරන්නේ උංට නෙවෙයි.
ආදරයට.
උඹ තවම ජීවත්වෙන්නේ ලයිලා මජ්නූ කාලයේ.
ඒවගේ ආදරවන්තයෝ දැන් නෑ මෝඩියේ .
උඹ ආදරයට කෑදරයි. ඒක තමයි මෙතන තියන ලෙඩේ.
        ඒ රුවීගේ නිර්වචනයන්ය. 

" මාත් ඉසිදාසි වගේ .
ඉහත ආත්මෙක මොකක්හරි ලොකු අකුසලයක් කරලා ඇති. ඒකයි මම ආදරය කරන හැමෝටම ටික කාලයක් යනකොට මාව එපාවෙන්නේ."

" ඒක මම දන්නේ නැහැ.
පව් පිං කෙසේ වෙතත් උඹ අහිංසක වැඩී.
මේ ලෝකෙ ජීවත්වෙන්න නම් හයිය හදවතක් තියෙන්න ඕනෑ. 
නිතරම දියවෙන, වැගිරෙන, ගලන හදවත්වලට පිරිමි කැමති නැහැ.
උන් ආදරය කරන්න  මල් වගේ ගෑනු හෙව්වට ජීවත්වෙන්න හොයන්නේ හොඳ හයිය ගෑනු. "
         රුවී මට වචනවලින් දමාගසයි. ඒත් ඒ හැම වචනයකම ඇත්තේ මා කෙරෙහි වන සෙනෙහසයි. 
බැඳියාවයි.
               නලින්ද ඈත්වීමත් සමග හදවතට එබුණු සෑම පිරිමි ආත්මයකින්ම මම හෙව්වේ නලින්දවය. නලින්දගෙන් ලැබුණු සෙනෙහසය. නමුත් ඔවුන් කිසිවකු තුළවත් නලින්ද හිටියේ නැත. ඔවුන් කළේ සුවවෙමින් යන තුවාලය ළඟින් අලුත් තුවාලයක් සාදා පැරණි තුවාලය අලුත් කිරීමය. එහි වර්ගඵලය වැඩිකිරීමය. සිදුවූයේ හදවත අණ්ඩ දැමූ රෙදි වැරැල්ලක් බවට පත්වීමය.
            අවසානයේ හදවත නතර වූයේ ඔන් ලයින් ප්‍රේමයක් ළඟය. දිනකට තුනහතරක්වත් ලැබෙන නාඳුනන නොසලකා හරින ආරාධනා අතර ඒ ආරාධනය ළඟම හිත නතර වූයේ අහම්බෙන්ය. ඒ පණිවිඩය තවත් රිදුමකට ඇරියුමක් බව දන්නේනම් නොසලකා හරින්නට තිබුණා නේදැයි ඇතිවන්නේ පශ්චාත්තාපයකි.

" අඳුනගන්න කැමතී "
            කියූ පලියටම 
" මමත් "
       යැයි ලියා යැව්වේ මොන කෙහෙම්මලකටදැයි හිතෙන්නේ දැන්ය.
           ඇත්තටම හඳුනාගැනීමට කිසිම වුවමනාවක් තිබුණේ නැත. කරන්නටම දෙයක් නොමැති හුදෙකලා සැන්දෑවක කල් මරන්නට තෝරාගත් විකල්පයකි එය. දිගින් දිගටම ඇදී ගිය " චැට්" එක අතර මට ඔහුගෙන් නලින්දව පෙනීමට පටන්ගැනීමත් අහම්බයක්ය. එදා එතැනින් ඒ සම්බන්ධය නතර කළ යුතුයැයි සිතුවත් පසුවදාත් ඔහු බලාපොරොත්තුවෙන් වරින් වර ෆෝන් එකට එබෙමින් , පණිවිඩ පරීක්ෂා කරමින් බලාසිටියේ මා නොවේද ?
 බලාපොරොත්තුවෙන් සිටි පණිවිඩය ලැබුණේ මා ඇඳට ගියාටද පසුවය. පාන්දර තෙක් ඇඳී ගිය සංවාදය ගැඹුරු සම්බන්ධයකට පරිවර්තනය වූයේ කෙසේදැයි මටම සිතාගත නොහැකිය.
පසුව දැනගත් පරිදි ඒ දින කිහිපය ඔහු සිට ඇත්තේ රාජකාරි කටයුත්තකට නිවෙසින් බැහැරවය.
               ඔහු විවාහකයකු බව දැනගත් විටද මා කලබල වූයේ නැත. ඔහු පැවසුවේ ඔහුගේ විවාහ ජීවිතය ඉතා නීරස බවය. එය රඳා පවතින්නේ දරු දෙදෙනා නිසා පමණක්ම බවය. ඔහු සමග එක් වීමේ බලාපොරොත්තුවක් මගේ හදවතේ ඔහු විසින් පැළ නොකළ නමුත් එවැනි බලාපොරොත්තුවකට බිම සැකසුවේ ඔහුය. ඔහු බොහෝ විට කතාකළේ ඔවුන්ගේ බිඳී යමින් පවතින බැඳුම් පිළිබඳවය. ඔහු පැවසුවේ ඔහු මගෙන් බලාපොරොත්තු වන්නේ ප්‍රේමය පමණක්ම බවය. කොටින්ම ඔහුගේ මුළු ලෝකයම මා බවය.
           එය ප්‍රේමය ලැබීමේ සහ විඳීමේ පහසුම ක්‍රමය ලෙසත් රිදවීම් අඩු සුරක්ෂිතම ක්‍රමය ලෙසත් මා තේරුම් ගත්තත් දුර සිට වුවත් රිදවාගැනීමට කාරණා වරින් වර යෙදිණි.
            බොහෝ විට ඔහු " චැට් " කළේ වැඩ කරන අතතුර කාර්යාලයේදීය. නිවෙසට ගිය පසු ඔහු නිහඬවිය. ඔහුගේ ආදර ගඟ නතරවිය. දහවල රැලිති නගමින් ගලායන ආදර නදියේ ඉවුරෙහි රැයෙහි මා තනිවිය. මගේ නින්ද අහිමි විය. සති අන්තයේ ඔහු පණිවිඩ තැබුවේ ඉඳහිටය. ඒත් කෙටියෙනි. මා ලියනා දිග හෑලිවලට හදවතකි. නැතිනම් හිනා මූණකි. ඒ අතරතුර බිරිඳ සහ දරුවන් සමග ආගිය තැන්වල ඡායාරූප මුහුණු පොතේ සැරිසැරිනි. කාරණය නොවටහෙන්නට නම් මා මෝඩියක විය යුතුය. නමුත් මම නැවත වරක් අන්ධ වූවෙමි.
               ඊයේ , එනම් සිකුරාදා මා හට වැඩ අධික දිනයක් විය. එහෙත් ඒ අතරතුරද ඔහුගෙන් ලැබෙන පණිවිඩවලට පිළිතුරු ලිවීම අතපසු කළේ නැත. ඔහු කීවේ තමා හුදෙකලාවෙන් පෙලෙන බවකි. බිරිඳගේ වැරදි අඩුපාඩු ගොඩකි. නිවෙසට යාමට පවා නොසිතෙන බවකි. මා සමග කෙරෙනා ඔන් ලයින් ගනුදෙනුව නොවන්නට තමන් විශාදය දක්වා වුවත් යාහැකි බවකි. මගේ හදවත ඔහු වෙනුවෙන් දියවිනි.

" අනේ ඕවා ඔච්චර හිතන්න එපා.
එයා නරක කෙනෙක් නෙවෙයි වෙන්න ඇති.
එයාට ගෙදර වැඩ වැඩි ඇති.
එයා කොච්චර ලස්සනද? 
ඇයි එයත් එක්ක ජීවිතය බෙදාගන්න බැරි.
ඔයා ඕන දෙයක් මට කියන්න.
මට පුළුවන් අහගෙන ඉන්න.
ඔයාට මම ඉන්නවා."
           වැනි බොළඳ පිළිතුරු අවකාශය හරහා මාරුවී ගියේ ඒ හදවතේ කම්පාව නිසාවෙනි.

" සති අන්තය කියන්නේ මට එපාමකරපු දවස් දෙක "
        ඔහු අවසානයටම ලියා තිබිණි. 
          ඊයේ රාත්‍රියේ මා නින්දට ගියේද ඔහු පිළිබඳව විස්සෝපයෙනි. අද උදෑසන ඇඳෙන් බහින්නත් ප්‍රථම ඔහුගේ පිටුවට ගොස් බැලුවේ ඒ නිසාවෙනි. අලුත්ම ඡායාරාපයක් එහි පළකර තිබිණි.
          බිරිඳ, බෝල කොල්ලන් දෙදෙනෙක් පමණක් නොව සුරතල් බලු පැටවාද තුරුලු කරගත් ඔහු සතුටිනි. එහි උඩින් සඳහන් කර තිබුණේ

" My  whole world "
යනුවෙනි.

මගේ ලෝකය කඩා වැටුණේ දුක්ඛිත අන්දමිනි.