(සුජිත් හේවාජුලිගේ)

දූෂණ විරෝධී පනත යටතේ වත්කම් බැරකම් ඉදිරිපත් කළ යුතු  නිලධාරීන්  අතරින් 34,000කට  ආසන්න පිරිසකගෙන් ප්‍රමාද ගාස්තු අයකර ගැනීමට හඳුනාගෙන  ඇතැයි අල්ලස්  හෝ  දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව කටයුතු කිරීමට  කොමිෂන් සභාවේ මෙහෙයුම් පුළුල් කර ඇති බව  එහි අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ප්‍රමාද ගාස්තු අය කර ගන්නා  ක්‍රියාවලියෙන් ලැබෙන දඩ මුදල් කොමිසමේ අරමුදලට බැර වන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී  රැස් වූ රජයේ මුදල් පිළිබඳ කාරක  සභාවට  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ  ප්‍රධානීහු  කැඳවනු ලැබ සිටියහ.  එහිදී අධ්‍යක්ෂ  ජනරාල්වරයා  මේ බව සඳහන් කළේය.

දූෂණ විරෝධී පනතේ 31 වගන්තිය යටතේ කොමි­ෂන් සභාව සඳහා වෙනම අරමුදලක් ස්ථාපිත කර ඇත. ඒකාබද්ධ අරමුදල සහ කොමිෂන් සභා පොදු අරමුදල මඟින් ගෙවීම් කරන ආකාරය පිළිබඳවද  මෙහිදී සාකච්ඡා  කෙරිණ.

මේ අතර  කොමිෂන් සභාව සඳහා කාර්ය මණ්ඩලය 971 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු කරන බවත්, 2026 දෙසැම්බර් 31 දිනට පෙර ප්‍රාදේ­ශීය කාර්යාල 23ක් පිහිටුවීමේ ඉලක්කය සපිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා දැනට පවතින රජයේ ගොඩනැගිලි පරීක්ෂා කර ඇති බවත් අනාවරණය  කෙරිණ.

ඇතැම් ගොඩනැඟිලි අලුත්වැඩියා කර භාවිතයට ගැනීමටත්, ඉතිරිය කුලී පදනම මත ලබා ගැනීමටත්  සැලසුම් කර ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.