(රංජිත් රාජපක්ෂ)

අස්වැසුම ප්‍රතිලාභ වංචනික ලෙස තම නමට සහ තම ඥාතීන්ගේ නමට ලබා ගත්  නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයේ සේවකයන් රැසක් විමර්ෂණයක් ආරම්භ කිරිමට ප්‍රථම ස්වේච්ඡාවෙන් ප්‍රාදේශීය ලේකම්වරයා හමුවේ වංචාවක් සිදු කළ බවට පිලිගෙන ඇතැයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආරංචි මාර්ග කියයි.

එම කාර්යාලයේ විවිධ අංශවල සේවය කරන සේවකයන් රැසක් 2023 වසරේ සිට අස්වැසුම මුදල් ඔවුන්ගේ නම්වලට සහ ඔවුන්ගේ ළඟම ඥාතීන්ගේ නම්වලට ලබා ගෙන ඇති බවට නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිදු වී ඇති අස්වැසුම මුදල් වංචාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ෂණ කටයුතු වලදී අනාවරණය විමෙන් පසු එම නිළධාරින්ගේ නාම ලේඛනයක් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරිය වෙත ලිඛිතව යොමු කර ඇත.

ප්‍රාදේශීය ලේකම්වරයා විසින් එම නාම ලේඛණය දිස්ත්‍රික් ලේකම්වරිය වෙත යොමු කිරිමෙන් පසු එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන සංවර්ධන නිළධාරින්, සමෘද්ධි නිළධාරින් ඇතුලු තවත් අංශ කිහිපයක සේවය කරන සේවකයන් ගණනාවක් තමන් සිදුකළ වංචාව සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරයා හමුවේ පවසා ඇත.

එම මුදල් වංචාව සිදු කල අස්වැසුම අංශයේ නිළධාරින් දෙදෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අතර, එම නිළදාරින් දෙදෙනා විසින් අස්වැසුම මුදල් බැර කළ ඔවුන්ගේ ළගම ඥාතියකු ඇතුලු ගුරුවරුන් 6 දෙනකු විමර්ෂණ කටයුත්තකට යටත්ව වැඩ තහනමකට ලක් වී ඇත.