දින 12 ක ලතින් ඇමෙරිකා සංචාරයක් ආරම්භ කළ ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප්තුමා ආජන්ටිනාවට පැමිණියේය.  පාප්තුමා පිළිගැනීමට ආර්ජන්ටිනා ජනාධිපති හාවියේ මිලෙයි සහ රජයේ මැති ඇමැතිවරුන් බුවනොස් අයර්ස් නගරය ආසන්නයේ පිහිටි ජෝර්ජ් නෙව්බෙරි ගුවන් තොටුපළට ගොස් සිටියහ.

පාප්තුමා ආජන්ටිනාව බලා මෙසේ පැමිණියේ ආජන්ටිනා රජය සහ එරට කතෝලික සභාව අතර නොසන්සුන්තා වර්ධනය වී ඇති පසුබිමක වීම ද විශේෂත්වයකි. පාප්තුමා පිළිගැනීමට ජනාධිපති හාවියේ මිලෙයිගේ සොහොයුරිය මෙන්ම ජනාධිපති ලේකම්වරිය ලෙස ද කටයුතු කරන කරීනා මිලෙයි ද ගුවන්තොටුපොළට ගොස් සිටියාය.

ආජන්ටිනා ජනාධිපති මන්දිරයේ දී පාප්තුමා සහ ජනාධිපති හාවියේ මිලෙයි අතරේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිත බව ද වාර්තා වේ.

ආර්ජන්ටිනා සංචාරයට පෙර, පාප්තුමා උරුගුවේ රාජ්‍යයේ සංචාරය කළේය. පාප් ධුරයට පත් වීමෙන් පසු එතුමන්, ලතින් ඇමෙරිකාවේ නිල සංචාරයක නියැළෙන පළමු අවස්ථාව මෙයයි. පාප්තුමා ආජන්ටිනාවට පැමිණියේ තෙදිනක් උරුගුවේ රාජ්‍යයේ ගත කිරීමෙන් පසුවය.‍

1987 වසරේ දෙවනි ජෝන් පෝල් පාප්තුමාගේ පැමිණීමෙන් වසර හතළිහකට ආසන්න කාලයකට පසු, ආර්ජන්ටිනාවට පැමිණි පළමු පාප්තුමා වන්නේ ලියෝ පාප්තුමා යැයි මාධ්‍ය වාර්තා කරයි. ඊට අමතරව, පෙණහල්ලේ පිළිකා ගැටිත්තක් ඉවත් කිරීමේ සැත්කමකින් පසු පාප්තුමා සහභාගී වන පළමු විදෙස් සංචාරය මෙයයි. 71 ක් හැවිරිදි ලියෝ පාප්තුමා ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ආර්ජන්ටිනාව සංචාරයෙන් පසු පාප්තුමා පේරු රාජ්‍යය වෙත යෑමට නියමිතය. මීට පෙර පාප්තුමා වසර ගණනාවක් පේරු රාජ්‍යයේ මිෂනාරිවරයකු සහ බිෂොප්වරයකු ලෙස කටයුතු කර ඇති බැවින්, එතුමාගේ මෙම පේරු සංචාරය ඉතා වැදගත් එකක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.