ඇමෙරිකා එක්සත් ජනපදයේ තීරණාත්මක මධ්‍යවාර මැතිවරණයේ (US Midterm Elections) ඡන්ද විමසීම, වර්මොන්ට් ජනපදයෙන් ආරම්භ විය.

ඉන්පසු නිව් ජර්සි, වර්ජිනියා, කනෙනිකට්, කෙන්ටකි සහ ඉන්දියානා යන ජනපදවල ඡන්ද මධ්‍යස්ථානවල විවෘත විය.

මැතිවරණ කටයුතු සාමකාමීව සහ විනිවිදභාවයෙන් යුතුව පවත්වාගෙන යෑම සඳහා ඇමෙරිකාවේ ප්‍රාන්ත 50 පුරාම මැතිවරණ නිරීක්ෂකයන් 1,000 දෙනෙකු යෙදවීමට අධිකරණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මැතිවරණයේදී ජනාධිපති ට්‍රම්ප්ගේ ජනාධිපති ධුරය අභියෝගයට ලක් වන්නේ නැත. සිදුවන්නේ ඇමෙරිකන් පාර්ලිමේන්තුව හෙවත් කොංග්‍රස් මණ්ඩලයට නියෝජිතයන් තෝරා ගැනීමය.

කොංග්‍රස් මණ්ඩලය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සහ සෙනෙට් සභාවකින් සමන්විතය.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ (House of Representatives) ආසන 435 සඳහාත් සෙනෙට් සභාවේ ආසන 100 න් ආසන 35 ක් සඳහාත් නියෝජිතයන් තෝරා ගැනීම මැතිවරණයේදී සිදුවෙයි.

මීට අමතරව ජනපද 36 ක ආණ්ඩුකාරවරුන් තේරී පත් කර ගැනීම ද සිදුවෙයි.

ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින මිලියන 210 ක් වන ලියාපදිංචි ඡන්දදායකයන් අතරින්, මිලියන 58 කට වැඩි ප්‍රමාණයක් කල්තියා ඡන්දය ප්‍රකාශ කර ඇත. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි විරෝධයට හේතු වූ තැපැල් ඡන්ද ක්‍රමය ඔස්සේ ද වැඩි දෙනකු තම මනාපය සලකුණු කර අවසන් බව ද පැවැසෙයි.

මධ්‍යවාර මැතිවරණය දේශපාලනයේ ඉදිරි ගමන්මඟ තීරණය කරන ප්‍රධාන සාධකයයි.

යම් හෙයකින් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂය කොංග්‍රස් මණ්ඩලයේ බලය හිමිකර ගතහොත්, රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන ට්‍රම්ප්ට ඔහුගේ අභිමතය පරිදි තීන්දු තීරණ ගැනීමට බාධා එල්ල වනු ඇත.

කෙසේ නමුත්, ජනමත සමීක්ෂණ අනුව, ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂය ඉදිරියෙන් පසුවෙයි. ඒ ට්‍රම්ප්ගේ තීන්දු තීරණ නිසා රටේ ජීවන වියදම දිනෙන් දින ඉහළ යෑම සැලකිල්ලට ගනිමිනි. 

ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වුණු සැණින් ප්‍රතිඵල නිකුත් වනු ඇත.