ඉන්දුනීසියාවේ බැන්ටන් පළාතේ රසකැවිලි කර්මාන්ත ශාලාවක හටගත් ගින්නකින් තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් 36 දෙනකු තුවාල ලැබූ බවත් එරට මාධ්‍ය පවසයි. 

ගින්න හටගත්තේ ජකර්තා අගනුවරට මායිම්ව 'ෆොනුසා අගුන් මුලියා' නමැති තෙමහල් කර්මාන්ත ශාලාවේය. ගින්නෙන් කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම විනාශ විය. 

ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට ද සිදුවුණු බව පැවැසෙයි. ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කළේ ගින්න නිවා දැමීමට පැය 12 කට වැඩි කාලයක් ගත වුණු බවය. සේරන්ග් දිස්ත්‍රික්කයේ සහ බැන්ටන් පළාතේ ගිනි නිවන භටයෝ ගින්න නිවා දැමීමට එක් වී සිටියහ.

ගින්න හටගන්නා අවස්ථාවේ සේවකයන් 300 දෙනකු පමණ කර්මාන්ත ශාලාව තුළ සේවය කරමින් සිට ඇති බව පැවැසෙයි. තුවාල ලැබූවන්ගෙන් 15 දෙනකුගේ තත්ත්වය බරපතල බවත් වරණ සංඛ්‍යාව ඉහළ යනු ඇති බවත් පැවැසෙයි.

ගින්නට හසුවී, කර්මාන්ත ශාලාවේ ඉහළ මහලවල කොටුවුණු පිරිස් මුදා ගැනීමට ඉන්දුනීසියානු රතු කුරුස සංවිධානයේ නිලධාරීන්ගේ ද සහාය හිමිවිය. 

'මිල්කිටා' නමැති කිරි ආශ්‍රිත රසකැවිලි නිෂ්පාදනය කරන මෙම කර්මාන්තශාලාවේ ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ඉන්දුනීසියානු ආපදා කළමනාකරණ ඒජන්සිය පවසයි.

ඉන්දුනීසියාවේ ගිනි ගැනීම් බහුලය. ඊට හේතුව, ගොඩනැගිලි නිසි ලෙස නඩත්තු නොකිරීම හේතුවෙන් සිදුවන විදුලි ක්නාදුවීම් යැයි පැවැසෙයි. පසුගිය දෙසැම්බරයේ ජකර්තාහි කාර්යාල ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 22 දෙනකු මියගිය අතර, 2023 වසරේ නිකල් සැකසුම් කර්මාන්තශාලාවක සිදුවූ පිපිරීමකින් 13 දෙනකුට දිවි අහිමි විය.