තවමත් නව රජයක් පිහිටුවා ගැනීමට හැකියාව නොලැබුණත්, ඊශ්‍රායලයේ, 26 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භ විය. එහිදී විපක්ෂ නායක ගාඩි අයිසෙන්කොට්ගේ නායකත්වයෙන් යුත් ‘යෂාර්’ පක්ෂය ප්‍රමුඛ විපක්ෂ සන්ධානය, නව පනත් කෙටුම්පත් මාලාවක් පාර්ලිමේන්තුව හෙවත් ‘නෙසට්’ සභාවට ඉදිරිපත්  කළේය. 

2023 ඔක්තෝබර් 7 වැනිදා හමාස් සංවිධානය විසින් එල්ල කළ ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා රාජ්‍ය විමර්ශන කොමිසමක් පිහිටුවීම, ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍යවරයකුට ධුරයේ රැඳී සිටිය හැකි කාලසීමාව සීමා කිරීම සහ නෙදන්යාහුගේ රජය සම්මත කරගත් අධිකරණ ප්‍රතිසංස්කරණ නීති අවලංගු කිරීම මෙම පනත් කෙටුම්පත්වල ප්‍රධාන අරමුණු යැයි පැවැසෙයි.

අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ රජය විසින් සම්මත කළ නීතිපතිවරයාගේ බලතල සීමා කිරීමේ නීතිය, අධිකරණ තේරීම් කමිටු නීතිය සහ සන්නිවේදන අමාත්‍ය ෂ්ලෝමෝ කර්හිගේ මාධ්‍ය ප්‍රතිසංස්කරණ නීති අවලංගු කිරීමට අයිසෙන්කොට්ගේ ‘යෂාර්’ පක්ෂය සහ යායර් ගෝලන්ගේ ‘ඩිමොක්‍රටික්’ පක්ෂය එක්ව යෝජනා ඉදිරිපත් කළ බව පැවැසෙයි.

මේ අතර, ඊශ්‍රායලයේ නව පාර්ලිමේන්තුව ද දිවුරුම් දී තිබේ. ඒ, ඉකුත් ඔක්තෝබර් 27 වැනිදා පැවති මහ මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙනි. මෙවර මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නෙතන්යාහුට සිය පාර්ලිමේන්තු බහුතර බලය අහිමි විය. කෙසේ නමුත්, විපක්ෂ දේශපාලන පක්ෂවලට නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය සන්ධානය ගොඩනඟා ගැනීමට මෙතෙක් පැහැදිලි එකඟතාවකට පැමිණීමට හැකි වී නැත.