(නිමල කොඩිතුවක්කු)

බෙංගාල බොක්කේ නැගෙනහිර- මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති“ඔර්නබ්” සුළි කුණාටුව ප්‍රබල සුලි කුණාටුවක් දක්වා හෙට(27) දිනයේ වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වුවද එහි වක්‍ර බලපෑමෙන් දිවයිනේ නිරිති දිග කොටසට තද වැසි සහ තද සුළං මෙම දින කිහිපය තුළ අපේක්ෂා කරන බවද එහි අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජයමාන්න මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව උතුරු, බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ, මධ්‍යම සහ උතුරුමැද පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩිතද වැසි ඇති විය හැකි බවද ඔහු පැවසීය.

මෙය ඉතා චණ්ඩ සුළි කුණාටුවක් බවට පත් වෙමින්, අනිද්දා 28 දින පෙ.ව. 11.30 පමණ වන විට අන්ද්‍රා ප්‍රදේශය හරහා ඉන්දියානු වෙරළ තීරයට ඇතුල් වේ යැයි අපේක්ෂා කරන බවද විජයමාන්න මහතා කීය.