(මනෝ ප්‍රිය ගුණසේකර)

විරෝධතාවකට එක්වෙමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටින භීක්ෂුන් වහන්සේ ඇතුළු උද්ඝෝෂකයන්ට එම ස්ථානයෙන් ඉවත්වන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා මීට සුළු වේලාවකට පෙර නියම කළේය.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාවකට වරදකරු වී සිර දඬුවම් නියම වී සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිවුර අන්දවන්නයි ඉල්ලා  භික්ෂූන් වහන්සේලා පිරිසක් ආරම්භ කර ඇති පිරිසට ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිටින් ඉවත්වන ලෙස මෙසේ නියම කර ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලය ඇත්තේ අධි ආරක්ෂිත කලාපයක වන හෙයින් වහාම එම ස්ථානයෙන් ඉවත්වන ලෙස උද්ඝෝෂකයන්ට අධිකරණය වැඩිදුරටත් නියම කර ඇත.

කොටුව පොලිසිය කළ අධිකරණයෙන් කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.

කොටුව පොලිසියේ නිලධාරීන් මෙම උද්ඝෝෂකයෙන් පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරමින් ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුල්වන දොරටුව අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වන බව දැනුම් දුන්නේය.

මෙම උද්ඝෝෂණය හේතුවෙන් එම ප්‍රදේශයේ ආරක්ෂාවට දැඩි තර්ජන සහ බාධා එල්ල වී ඇති බවත් දැනුම් දුන් පොලිසිය උද්ඝෝෂකයන්ට අදාළ ස්ථානයෙන් ඉවත්වන ලෙස නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු පිළිගත් මහේස්ත්‍රාත්වරයා උද්ඝෝෂකයන්ට අදාළ නියෝගය නිකුත් කළේය.