(සුජිත් හේවාජුලිගේ)

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරන්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ඇතිවූ වාද විවාද හේතුවෙන්  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දැඩි උණුසුම්කාරී තත්වයක් අද (30) පෙරවරැවේ  ඇතිවිය.

විපක්ෂය විසින් බාර දෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට නම් එය  සංශෝධනය කර  බාරදෙන ලෙස ආණ්ඩු පක්ෂය එහිදී ඉල්ලා සිටියේය.

එහිදී අදහස් දක්වා ඇති විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කර ඇත්තේ  යෝජනාව වෙනස් කර බාරදීමට විපක්ෂය කිසිසේත්  සූදානම් නැති බවයි.

ආණ්ඩුවට ඕනෑ විදිහට විපක්ෂය විශ්වාසභංග බාර නොදෙන බවද ඔහු ප්‍රකාශ කර ඇත.

විශ්වාසභංග  යෝජනාව සංශෝධනය කර බාරදුනහොත් එය ලබන 03 වැනිදා විවාදයට ගැනීමට මුලින් තීරණය කර තිබිණ. මේ අනුව  විපක්ෂය විශ්වාසභංගය සංශෝධනය  නොකරන හෙයින්  එම යෝජනාව විවාදයට ගැනීම තවදුරටත්  කල් යනු ඇත.

විශ්වාසභංග යෝජනාව ලබන 03 වෙනිදා විවාද නොකෙරෙන හෙයින් එදිනට ආණ්ඩු පක්ෂයේ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවකට ඉඩකඩ  වෙන්කර ගෙන ඇත.

මෙම රැස්වීමේදී යෝජනාව න්‍යාය පුස්තකයට  ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු  පක්ෂයෙන් ලේකම් මණ්ඩලයටද  චෝදනාවක් එල්ලවී ඇත. මේ අවස්ථාවේදී පාර්ලිමේන්තු මහ ලේකම්වරිය සහකාර මහලේකම් සමග එම ස්ථානයෙන් පිටවීමට සූදානම්වී   ඇතත්  එහි සිටි  ඇතැමුන්  එය වළක්වා ඇතැයි වාර්තාවේ.

හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාටඑරෙහිව ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව නඩු නවයක් තිබියදී දින තුනක්  විවාදයට ගැනුණු හෙයින් මෙම යෝජනාව විවාදයට  ගැනීමට කිසිදු බාධාවක් නැතැයි විපක්ෂ මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.

මෙම යෝජනාවේ  අධිකරණ කටයුතුවලට බලපාම් ඇතිවන කිසිවක් නැතැයිද ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ. 

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව  නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ  ප්‍රධානත්වයෙන් රැස්විය.

යෝජනාවේ අධිකරණ කටයුතුවලට බලපාම් ඇතිවන කරැණු අැතුළත් බව පවසමින් එම යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයෙන්ද පසුගියදා ඉවත් කෙරිණ.