(තිලකරත්න දිසානායක)

එකලස් කොට සකස්කරන ලද වාහන හයක් සමග පුද්ගලයන් දෙදෙනකු අත් අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සදහන් කරයි.

ගම්පහ කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත දිවුලපිටිය සහ දූනගහ යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් දෙදෙනකු අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදු කරන ලද පරීක්ෂණ අනුව කොටස් එකලස් කොට සකස්කරන ලද වෑන් රථ දෙකක් සහ ජීප් රථ හතරක් අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.

මෙම වාහන සදහා ලියා පදිංචි සහතිකද සකස් කොට ඇති බවත් එකලස් කරන ලද මෙම වාහන ගම්පහ , දූනගහ , දිවුලපිටිය සහ බණ්ඩාරවෙල යන ප්‍රදේශයන්හිදී අත් අඩංගුවට ගැනීමට හැකිව ඇති බවත් පොලීසිය සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු සදහා අත් අඩංගුවට ගනු ලැබූ වෑන් රථ සහ ජීප් රථ මිනුවන්ගොඩ පොලීසියට වාහන හතරක් සහ දිවුලපිටිය පොලිස්ථානය වෙත වාහන දෙකක් බාරදීමට පියවර ගෙන ඇත.

බස්නාහිර පළාත උතුර බාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි ගම්පහ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සනත් අමරසිංහ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (1) ජයපත්ම යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දමිත් වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂකවරුන් වන බණ්ඩාරනායක සහ රත්නායක යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් මේ සම්බන්ධයෙන් කටයුතු කොට ඇත.