කොස්ගම කඩුගොඩ හා බොරළුගොඩ ප්‍රදේශයේ දෙවසරක් පමණ තිස්සේ සිදු වු බව කියන අමානුෂික පහරදීම් ,දේපළ පැහැරගැනීම්,සොරකම් කිරීම්, නීතී විරෝධි ක්‍රියා ඇතුළු අපචාර ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිළි ලබා ගැනීම සදහා පොලිස් විශේෂ කාර්ය බළකායේ කඳවුරක් ආරම්භ කැර ඇත.
ප්‍රදේශයේ පැතිර ගිය භීෂණකාරී තත්ත්වය සම්බන්ධයෙන් ලත් පැමිණිළි මත කොස්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අරුණ ශාන්ත හේරත් මහතා පසුගියදා හදිසියේම ස්ථාන මාරු කැර යැවිමට පොලිස්පතිවරයා පියවර ගෙන තිබිණි.
දැරණියගල නුරි වත්තේ සිදු වු මැර ක්‍රියාවන්ට සමාන දේ මෙහිදීද සිදු වී යැයි ගැමියෝ පවසති.
පොලිස් විශේෂ සේවා බළකායේ නිලධාරීන් කිහිපදෙනකුගෙන් යුත් මෙම කඳවුර කොස්ගම සුමේධ විදුහලේ පිහිටා ඇත.
කටුගොඩ ප්‍රදේශයේ කසිප්පු ජාවාරම්කරුවෙක්ගේ මෙහෙයවීමෙන් මෙම අපරාධ කාලයක් තිස්සේ සිදුව ඇතැයිද ඒ සදහා පොලිසියේ සිටි ඇතැම් ප්‍රධානීන්ගේද සහාය ලබා ඇතැයිද ඔවුහු චෝදනා කරති.
ආරක්ෂක අංශයේ නිලධරයකුගේ පෞද්ගලික මෝටර් රථය පවා මෙම කසිප්පු ව්‍යාපාරිකයා විසින් පරිහරණය කරන ලදැයි ගැමියෝ කියති.
අපරාධකරුවන්ට රැකවරණය හා සහයෝගය ලබා දී ඇතැයි කියන ආරක්ෂක අංශ ප්‍රධානියා බුදුදහම ගැන දේශනා පැවසු බවද ගැමියෝ පවසති.
මත් උවදුර සම්බන්ධයෙන් විරෝධය පළ කළ මහා සංඝරත්නයට මෙම දාමරික පිරිස් ගිනි අවි පෙන්වා තර්ජනය කැර ඇතැයිද කියති.
මේ ගම්මානයේ තත්ත්වය පිළිබදව අදහස් දැක් වු කොස්ගම මුණ්ඩ්ගල සුමනගිරි ආරණ්‍ය සේනාධිපති අසරණ සරණ මිල්ලෑවේ මහින්ද නා හිමියෝ මෙසේ කීහ.
‘මම කොස්ගම ප්‍රදේශයේ සිදු වන නිති විරෝධි ක්‍රියා ගැන මාධ්‍යට කියන්න බය නෑ. වසරක් පාසාම කොස්ගම භක්ති ගිත අවුරුදු උත්සව පවත්වනවා. මෙවරද පැවැත්වුණා. ඒවාට ආරක්ෂාව දීම තමයි පොලිසිය කරන්නේ.
ප්‍රභූ නිවෙස්වලට ගොස් රුපියල් 50000 ,25000 බැගින් සල්ලි එකතු කළා. ඒ සල්ලිවලට වුණ දෙයක් නෑ. කොස්ගම ප්‍රදේශයේ පුරාවටම මහා පරිමාණ කුඩු ජාවාරම් තියෙනවා පොලිසියත් ඒ ගැන දන්නවා.
දිනක් උදෑසන මම ආරණ්‍යයේ මිදුල අතුලගාමින් සිටියා. යතුරු පැදියකින් පුද්ගලයකු ආවා .යතුරුපැදිය නතර නොකර හරවා මට මෙහෙම කිව්වා. ‘නායක හාමුදුරුවනේ අපේ වැඩවලට අත ගහන්න එපා.කුඩු වික්කට හාමුදුරුවන්ට ඇති කැක්කුම මොකක්ද? මේකෙන් එකෙක් යැව්වා වැඩිය දැඟලුවොත් මේකෙන් කන්න තමයි වෙන්නේ’ කියා පිස්තෝලයක් පෙන්නුවා. අද කොස්ගම තියෙන්නේ මෙවැනි තත්ත්වයක් .’’
එක්තරා පුද්ගලයකු මුළු ගමම බිය වද්දවාගෙන දෙවසරක් පුරාව කඩුගොඩ දෙහිගහවත්තේ මහා පරිමාණ ස්කාගාරයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඊට අමතරව මං කොල්ලකෑම් ගෙවල් බිදිම් ඇතුළු අපරාධ රැසක්ම සිදු කැර ඇති බව ප්‍රදේශවාසිහු කියති.
ඉකුත් මස 27 වැනිදා අලුයම වලාන දුෂණ මර්දන ඒකකය එම ස්කාගාරය වටලා ප්‍රධාන සැකකරු ගේ බිරිය අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවද නුරී වත්ත මෙන්ම ඔහු සිය අණසක පතුරුවාගෙන ඇතැයි ගම්වාසීහු කියති.
ඔහුගේ පහර කෑම්වලට ලක් වී බරපතල තුවාල ලත් කොස්ගම අරපත් ගම වෙන්දේසි වත්තේ ඩබ්ලිව් ජී සුනේද්‍ර ඉන්දික (39) මෙසේ කීවේය.
මම කොළඹ ගොස් පැමිණ රාත්‍රී 9 ට පමණ ගේ ඇතුලේ සිටියේ . කසිප්පු ගැන ඔත්තු දෙනවා ඔහු සැකයෙන් හිටියේ තුන්දෙනෙක් සමග අපේ ගෙදරට ආවා ඔවුන්ගේ අතේ පොලු තිබුණා. මට ඉන්දික ඉන්දික කියලා කථා කළා.ඔවුන් මට පොලු වලින් ගැසුවා.පහරදෙනවාට බයේ මගේ භාර්යාව වෙන ගෙදරකට දිව්වා.ඇය එතැන සිට දුරකථනයකින් දැනුම් දී තිබෙනවා. නමුත් පොලිසියේ කිසිම කෙනෙක් ආවේ නෑ.පස්සේ මම රාත්‍රී 10 ට පමණ පොලීසියට ගොස් රෝහල් ගත වුණා.ඒ නඩුව තවමත් විභාග වෙමින් පවතිනවා.
බොරළුගොඩ වලව්වත්තේ ජී බී අමරසේන (62)
බොරළුගොඩ මහ ගෙදර හෙවත් වලව්වත්තට අයත් රැපියල් ලක්ෂ දහයක් පමණ හරකුන් වරින් වර සොරු ගත්තා .රොබට් ගුණවර්ධන මහතාගේ පුත් විජිත ඥානවර්ධන මහතාට තමයි ඒ හරක් අයිතිය තිබුණේ.ඔක්කොම හරකුන් 15 ක් විතර නැති වෙලා.නමුත් ඒ ගැන පොලීසියට ගිහින් පැමිණිළි කරන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ පැමිළිළි භාර ග්න්නේ නෑ.පොලීසිය කියන්නේ ඒකට ඔයාලා වගකියන්න ඕනෑ. ඒ වගකීම අපට භාර ගන්න බෑ කියලා. ඒ නිසා මම රජයේ ඇමැතිවරයකුට දැනුම් දිමට කටයුතු සැලසුවා. ඒ ඇමැතිගේ ගෝලයකුගේ මාර්ගයෙන්.පසුව පැමිණිල්ල භාර ගත්තා. ඒ හරකුන් ගෙන ගියා කියන සැකකරු සොයාගෙන මම ගියා . නමුත් හොයාගන්න බැරි නිසා මම නැවත පොලීසිට ආවා.ඊට පස්සේ මම පොලිස් නිලධාරීන්ගෙන් ඇසුවා ඔබතුමාලා මේ හොරුන් ගැන දන්නවා නේද කියලා ඔවුන් කීවේ ඔව් අපි දැනගෙන හිටියා යන්නයි. ඔවුන් කලින් මේ හොරුන් ගැන දැනගෙන ඉඳලා තියෙනවා .පසුව මම හරකුත් එපා සල්ලිත් එපා කියලා පොලිසියෙන් ආවා.’
කොස්ගම සාලාව කැඩුම් බිදුම් වෛද්‍යාචාර්ය ආර් ඒ ඩී අනුර කාන්ත මහතා
මම පාරම්පරික කැඩුම් බිදුම් වෙදකම කරන්නේ. පසුගිය මාර්තු හත් වැනිදා බේත් සාප්පුව වහලා එ රාත්‍රි 8 30 ට පමණ මගේම ත්‍රිරෝද රියෙන් එමින් සිටියා ඒ වේලාවේ තුන්දෙනකු පාරට පැන ත්‍රිරෝද රථයට ගමන් කිරිමට නොහැකි අයුරින් මාර්ගය අවහිර කළා.ඔවුන් මා එළියට ඇදලා ඇස් දෙක රෙදි පටියකින් බැන්දා. පස්සේ අත් දෙක පිටුපස්සට බැද පිටුපස ආසනයට දමා ගත්තා.පිරිසක් මා අල්ලාගෙන සිටියා. ඔවුන් ත්‍රිරෝද රථය පන ගන්වාගෙන ගියා.අතේ තිබුණු මුදු , බ්‍රේස්ලට් එක හා ජංගම දුරකථනය පැහැර ගත්තා. පසුව රබර් කැලයකට ගිහින් දැම්මා අමාරුවෙන් පණ බේරා ගත්තා.පුව කොස්ගම පොලිසියට පැමිණි කළත් මෙතෙක් කිසිදු විසදුමක් නෑ.
කොස්ගම සාලාවත්ත මුත්තුමාරි කෝවිලේ සභාපති බී චන්ද්‍ර කුමාර (37)
මේ ප්‍රදේශයේ ජනතාවගේ පුජනීයත්වයට පත් වුණ කෝවිල තමයි මේක,හින්දු බැතිමතුන්ගේ ආධාර එකතු කරලා මුදලින් රුපියල් ලක්ෂයක් වටිනා තඹ පිත්තල පත්තිණි මෑණියන්ගේ ප්‍රතිමාවත් හොරු අරන් ගියා . පිත්තල පහන් දා හතක් සොරකම් කළා .මෙහේ ඉන්නේ දෙවියන් පවා සොරකම් කරන පිරිසක් .පාදුක්ක ,ඉංගිරියවත්ත ප්‍රදේශවලත් සොරකම් රැසක් සිදු වුණා. මේ ගැන පොලීසියට පැමිණිලි කළත් හොද ප්‍රතිචාරයක් නෑ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා පැවසුයේ මෙවැනි දෙයක් ගැන වාර්තා වි නැති බවයි. මේ ගැන සොයා බලන බවද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි අතු කැපුවට වැඩක් නැහැ. මුලින්ම ගලවලා දාන්න ඕනෑ. (නි)
හරක් හොරකම්, කුකුල් ගොවිපලවල් කොල්ලකෑම්, රබර් අස්ථානගත වීම් වගේම මෝටර් සයිකල් වලින් මහදවල් පැමිණිලා රත්තරන් මාල කැඩීමත් මේ ප්‍රදේශයේ සුලබව සිදුවෙන දේවල්. මිනිස්සු පැමිණිලි කරන්න පොලීසියට ගියාම කරන්නේ හොද බණ දේශනාවක් අහගන්න එක. රත්‍රන් මාල දාගෙන ගමන් බිමන් යන්න එපා, ඉන්න හරක් ටික හොදට බැදලා පරිස්සම් කරගන්න ... ඔන්න ඔයවගේ උපදෙසක් තමයි අවසානයේ ලැබෙන්නේ. හාමුදුරුවන්ගේ කථාවත් හරියටම හරි. කොහොම වුනත් මේ දෙවල් ඉස්මතු කරලා රජයේ අවධානය යොමු කරවපු මාධ‍්‍යයට පිංසිද්ද වෙන්න ඕනෑ. (නි)
පොලිසිය සම්පුර්ණයෙන්ම ඉවත් කරලා, සිවිල් වැසියෝ පත් කළා නම් හොද සේවයක් ලබාගන්න පුළුවන් ජනතාවට (නි)
දැන් ඉන්නේ සිංහයෝ නෙමෙයි.....
දැන් එතකොට මේ දූෂිත පොලිස් නිළධාරීන්ට දඩුවම් නැද්ද? (නි)
කියන හැම මනුස්සයම කියන්නේ පොලිසියට කිව්වා කියලා. එහෙත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන්නේ එහෙම දෙයක් ගැන දන්නේ නැහැ කියලා?? (නි)
ඒ කතාව නම් සහතික ඇත්ත. පොලීසිය පැමිණිලි බාරගන්නේ නැති නිසා වාර්තා වෙන්න විදියක් නැහැ තමයි. පැත්ත ගියත් ඇත්ත කියන පොලීසියක් ඉන්න එක ගැන අපිට ආඩම්බරයි :) (නි)
බොරළුගොඩ ඉස්සරයි සිංහයෝ හිටියා, මේ දාමරික වැඩ කරන්නේ බොරලුගොඩ නරි. (නි)
අපේ ලොක්කන්ට මේ කිසි දෙයක් වාර්තා වෙන්නේ නැති එකයි අපට දුක (නි)
අහෝ ශ්‍රී ලංකා! මුළු ලංකාවම නුරි වත්තක්. ආරක්ෂක ලේකම්තුමනි ,මේ ත්‍රස්තවාදය මැඩලිය නොහැකිද? (නි)
කෝ අර බන්දුල කියන තැනැත්තා ? මේවට එයා මොනවද කියන්නේ? (නි)
මේ මොනවාද වෙන්නේ රටට බලධාරීන්ට ආදරයක් නැද්ද
මේවා පිටුපස ඉන්න මහා ලොක්කට තියන බලයට ඉහල බලයක් මේ සඳහා යොදවන්න ඕනේ.
ආරක්ෂක ලේකම්තුමනි , නුඹට පමණයි මේ දේවල් කරන්න පුළුවන්. නමට පොලිස් තියලා වැඩක් නැහැ. මේක කොස්ගමට විතරක් පොදු දෙයක් නෙමෙයි. ලංකාවේ හැම මනුස්සෙයෙක්ගේම දුක් ගැනවිල්ලට පොලිසි වලින් හොද සේවාවක් ලබන්නේ නැහැ (නි)
මේක අපේ ලැබීම. දැන් නිකම්ම විනයක් නීතියක් නැති රටක් වෙලා අවසන්. (දී)
අලුත් පොලිස් පති තුමනි. ඔබත් ඇවිත් ගිය පොලිස්පති කෙනෙක් නොවී.මේවා මැඩ පවත්වා ජනතාව බේරා ගන්න. (දී)
අනිච්චාවත සංඛාරා මේ රටට! (නි)
පාතාල ලෝකයක් මැවෙන්නද යන්නේ? (නි)
මෙවැනි දෑ තවත් තැන්වල සිදුවෙනවා. මාධ්‍ය මගින් ඒවාත් හෙළිවිය යුතුයි. ලංකාදීපයට ස්තුතියි. (නි)
පොලිසි වලට, දේශපාලඥයින්ට කියලා මේවා විසඳන්න පුළුවන් දේවල් නෙමෙයි. පොලිසිය හරියට නීතිය ක්‍රියාත්මක කලේ නැත්නම් මහජනයා රහස් සංවිධානයක් ඇති කරගෙන මේවට විරුද්ධව ක්‍රියාත්මක වුණොත් මුළු රටම අරාජික තත්වයකට පත්වෙන එක වළකාලන්නට කාටවත් නොහැකි වේවි. (නි)
මේ පළාතේ ඉන්න දේශපාලකයෝ කවුද? (නි)
අලුත් පොලිස්පතිට මේවා නිසියාකාරව සෑදීමට ශක්තිය ලැබේවා! (නි)
මහත්වරුනි,මේ සියල්ල පිටුපස කවුරුන් හෝ ප්‍රාදේශීය දේශපාලකයින්,පළාත් දේශපාලකයින්,රජයේ දේශපාලකයින් ඉන්නවා ඇති.නැත්නම් ඔය තරම් ඇගට ගන්නෙ නැහැ.බලය අතට ගෙන සිටින පුද්ගලයන් වහාම මෙල්ල කරන්න. ඉවත් කරන්න.රට ගැන හිතා ඔබේ අනාගතය ගැනත් හිතන්න. (නි)
පොලිසියේ ලැජ්ජා නහරය කපලාද මන්දා තියෙන්නේ.අනේ රටකට ගිය කලක්..... (නි)
විශේෂ කාර්ය බලකාය සඳහා කඳවුරු ඇති කිරීමෙන් විතරක් මේවට විසදුන් ලැබෙන්නේ නැහැ. මේ දේවලින් පෙන්වන්නේ අද රට පුරාම පවතින අරාජික තත්වයයි. දුෂණ වලින් පොලිසි, දේශපාලකයන්, නිලධාරීන් වැසී ගිහින්. කුඩුකාරයන් මැරයන් තමයි බලවත්. අහෝ අපේ රට විනාශ වෙමින් යන හැටි. (නි)
මේවට ලොකු අය සම්බන්ධ නැත්නම් මේවා මෙහෙම වෙනවද. (නි)
අපේ රටේ කොහෙද පොලිසි ? (නි)
හැම ගමකටම විශේෂ කාර්ය බලකාය දමන තත්වයක් නම් තියෙන්නේ, සාමාන්‍ය පොලිසිය අහෝසි කරලා විශේෂ කාර්ය පොලිසියක් විතරක් තියා ගනිමුද? (නි)
අනේ ලස්සනට තිබුණු අපේ ගමටත් යන කලක්! (නි)
ගරු අරාක්ෂක අමාත්‍යතුමනි, මුන්ව වහාම අල්ලන්න අණ කරන්න. නිසි අයට දඬුවම් කරන්න ඔවුන්ට බල කරන්න. නැත්නම් මේවා බලලා ලංකාවට මඩ ගහන්න ගොඩක් අය බලාගෙන ඉන්නවා අර අපේ පටු දේශපාලකයෝ වගේ. අපි නම් දන්නේ නැහැ දැන් ලංකාවට මොකද වෙන්නේ කියලා (නි)
මෙහෙම දේවල් වාර්තා වෙලත් නැහැ. ලංකාවේ මෙහෙම දේවල් වෙන්නත් බැහැ කොහොමටවත්. (නි)
බොරළුගොඩ සිංහයින්ගේ වැඩ. (නි)
මහා එපා කරපු පොලිසියක් දැන් තියෙන්නේ. (නි)