(සුජිත් හේවාජුලිගේ)

කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ අනවසර ඉදිකිරීම් ලක්ෂ පහකට ආසන්න ප්‍රමාණයක් පවතින බව රජයට තොරතුරු ලැබී ඇත.

මේ අනුව මෙම අනවසර ඉදිකිරීම් කඩිනමින් ඉවත් කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.

මේ අතර කොළඹ නගරයේ ජලය බැහැර කිරීමේ කානු පද්ධති සහ අදාළ ක්‍රියාවලිය විධිමත්ව සිදු නොවූ බව පිළිගන්නේ යැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය.

වසර තිහක හතළිහක සිට අනවසර ඉදිකිරීම පිළිබඳ ප්‍රශ්නය පවතින බවද ඔහු කීවේය.

කොළඹ නගරයේ වැසි ජලය පමණක් නොව වෙනත් අපද්‍රව්‍ය බැහැර කිරීමේ කටයුතු සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වී ඇතත් ඒ වැඩසටහන් බොහොමයක් අතරමග නතරවී අැති බවත් අමාත්‍යවරයා කීය

එම වැඩසටහන් අවසන් කිරීමට කටයුතු කරගෙන යන බවද අබයරත්න මහතා පැවසීය.

සමහර විදේශීය ආයතන මේ කටයුතුවලට දුන් ප්‍රතිපාදනද නතර වී තිබූ බවත් ඒවා රජයේ ප්‍රතිපාදන යටතේ නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ඔහු කීවේය.

නොරිස් කැනල් ව්‍යාපෘතිය, ඉගුරැකඩේ ව්‍යාපෘතිය, මෙසේ නතරවී අැති ව්‍යාපෘති වෙයි.

කොළඹ මහ නගර සභා සීමාවේ දිනකට බැහැර කෙරෙන සමස්ත කසළ මෙට්‍රික් ටොන් 700 - 800 අතර ප්‍රමාණයෙන් සියයට 6 - සියයට 10 අතර ප්‍රමාණයක් ප්ලාස්ටික් සහ පොලිතීන් අපද්‍රව්‍ය වේ.

තදාසන්න නගර සභා බලප්‍රදේශ වන දෙහිවල-ගල්කිස්ස, කෝට්ටේ, කොළොන්නාව සහ මොරටුව යන නගර සභා මගින්ද දිනකට තවත් ඝන අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 350 - 400 ක් පමණ එකතු කරන අතර එහිද සැලකිය යුතු ප්‍රමාණයක් අඩංගු වන්නේ පොලිතින් හා ප්ලාස්ටික් වේ.

රට තුළ දිනකට ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 938 ක් පමණ ජනනය වන නමුත්, ඉන් විධිමත්ව ප්‍රතිචක්‍රීකරණය කෙරෙන්නේ සියයට 3 - සියයට 4 ක් වැනි ඉතා සුළු ප්‍රමාණයක් පමණක් බව කියති .