(සුජිත් හේවාජුලිගේ)

දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම( පළමු වසරට) වාර්ෂිකව හතළිස් දහසකින් පමණ අඩු වී ඇතැයි සමීක්ෂණයකින් තොරතුරු හෙළිවී ඇති බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය.

වාර්ෂික දරු උපත් අනුපාතය පහත වැටීම මෙයට ප්‍රධාන හේතුව බවද ඔහු සඳහන් කළේය.

සාමාන්‍යයෙන් දරුවන් වාර්ෂිකව ලක්ෂ තුනකට ආසන්න පිරිසක් පාසල්වලට බඳවා ගැනෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මේ අතර ප්‍රාථමික පාසල් 309ක් අලුතින් පිහිටුවන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මේ වසරේදී ප්‍රාථමික පාසල් 31ක් පිහිටුවන බව පැවසූ මධුර සෙනෙවිරත්න මහතා මෙම පාසල් සියල්ල එකම ගෘහ නිර්මාණ ශිල්පයකට අනුව සකස් කෙරෙන බවද ප්‍රකාශ කළේය.

එසේම එම ප්‍රාථමික පාසල් වෙනුවෙන් නූතන ලෝකයට ගැලපෙන ආකාරයේ වැසිකිළි පද්ධති හඳුන්වා දෙන බව හෙතෙම සඳහන් කළේය.

මේ අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේද කිසියම් වෙනස්කම් ප්‍රමාණයක් කිරීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.