(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රන් ආලේපිත ප්‍රතිමාවක් ප්‍රංශයේ ස්ට්‍රාස්බර්ග් නුවර යුරෝපා පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළ ප්‍රදර්ශනයට තබා ඇත. අඩි 8.5ක පමණ උසින් යුත් මෙම උපහාසාත්මක නිර්මාණය ඩෙන්මාර්ක කලාකරු යෙන්ස් ගැල්ෂියට් විසින් නිර්මාණය කර තිබේ. ‘ඔරේන්ජ් ප්ලේග්’ ලෙස නම් කර ඇති එය ‘අයුක්තියේ රජු’ ලෙසද හැඳින්වේ.

මෙම ප්‍රතිමාවේ ට්‍රම්ප් ඇඳුම් ඇඳ නොසිටින අතර කැරට් 23 රන් පත්‍රවලින් ප්‍රතිමාව ආවරණය වී ඇත. කුඩා මිනිසකුගේ උරහිස් මත හිඳගෙන සිටින ට්‍රම්ප්, යුක්තියේ තරාදියක් සහ දිගු ගොල්ෆ් පිත්තක් අතැතිව සිටින අයුරු ප්‍රතිමාවෙන් දැක්වේ.

එහි ගොල්ෆ් පන්දුව ලෝක ගෝලයක හැඩයෙන් නිර්මාණය කර ඇත. යුරෝපා පාර්ලිමේන්තු ගොඩනැගිලි දෙකක් සම්බන්ධ කරන කාර්යබහුල ස්ථානයක තබා තිබූ මෙම ප්‍රතිමාව ප්‍රදර්ශනය කිරීම අද (08) අවසන් වීමට නියමිතව තිබූ බව ‘ද ටෙලිග්‍රාෆ්’ පුවත්පත වාර්තා කළේය.