(අංජුල මහික වීරරත්න)

රටේ නීති තිබියදී, තනි තනි පුද්ගලයන් වෙනුවෙන් නියෝග ලබා දීමට තමන් සූදානම් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ත්‍රෙයිකායික මහා සංඝරත්නය සමඟ ජනාධිපති කාර්යාලයේ අද (8)පැවති සාකච්ඡාවේදී පැවසීය.

නීතිය වර්තමානයට උචිත නොවේ නම් කළ යුත්තේ නිසි පරිදි නීතිය සම්පාදනය කර ගැනීම බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

නීතිපති, අධිකරණ අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු අමාත්‍යාංශය, බන්ධනාගාර නිලධාරීන් සහ බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුළත් වන අන්දමින් එම කමිටුව පත් කරන බවත්, සති දෙකක් ඇතුළත මේ පිළිබඳ අධ්‍යයනය කර සංශෝධන ඉදිරිපත් කිරීමට එම කමිටුවට පවරන බවත් පැවසූ ජනාධිපතිවරයා එහි භික්ෂූන් වහන්සේලාට බලපාන කොටස් මහා සංඝරත්නය සමග සාකච්ඡා කර අනුරූප ලෙස වෙනස් කිරීමට කටයුතු කරන බව කීය.

බන්ධනාගාර ගත වී සිටින ගලගොඩඅත්තේ ඤානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර ගිහි වස්ත්‍ර සහිතව අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කිරීම සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත යොමු කර ඇති ලිපිය සහ මෙම සිදුවීම පාදක කරගනිමින් සමාජයේ ඇතිවී තිබෙන තත්ත්වයත්, මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් මෙම සාකච්ඡාව පැවැත්විණි.

සිය ආරාධනය අනුව මෙම සාකච්ඡාවට එක්වීම පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී මහා සංඝරත්නය වෙත සිය ගෞරවය පුද කළේය

මෙහිදී වර්තමාන බන්ධනාගාර නීති පද්ධතිය පිළිබඳ වැඩිදුරටත් පැහැදිළි කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

“ වර්තමානයේ අපේ බන්ධනාගාර පාලනය වන්නේ 1877 දී සම්මත කරන ලද බන්ධනාගාර ආඥා පනත මගිනුයි. එම පනත විටින් විට සංශෝධනය වී තිබෙනවා. එම පනතේ 94වන වගන්තියෙන් අමාත්‍යවරයාට විටින් විට රෙගුලාසි පැනවීමට බලය ලබා දී තිබෙන අතර, 2022 වසරේදීම එම රෙගුලාසි සංශෝධනය කර තිබෙනවා.එමෙන්ම, බන්ධනාගාර පවත්වාගෙන යාම සඳහා අමාත්‍යතුමාගේ අනුමැතියට යටත්ව නිත්‍ය නියෝග පැනවීමට බන්ධනාගාර කොමසාරිස්තුමාට බලය තිබෙනවා. ඒ අනුව බන්ධනාගාර පද්ධතිය පාලනය වන්නේ පනතකින්, ඇමතිවරයා පණවන රෙගුලාසිවලින් සහ ඇමතිවරයාගේ අනුමැතියට යටත්ව කොමසාරිස්තුමා පණවන නිත්‍ය නියෝග මගිනුයි

මෙහිදී අවස්ථා එකක් දෙකක් හැරෙන්නට, අවධානය යොමු කර තිබෙන්නේ පොදු සිරකරුවන් පිළිබඳවයි. 216වන රෙගුලාසි වගන්තියේ පමණයි විශේෂයෙන් අපේ හාමුදුරුවන් වහන්සේලා ගැන සඳහන් වන්නේ.එම නිසා මේ නීති සකස් කිරීමේදී භික්ෂූන් වහන්සේලා හෝ අනිත් ආගමික උතුමන්ලා කේන්ද්‍ර කරගෙන විශේෂ රෙගුලාසි සකස් වී නැහැ. පොදු සිරකරුවන් පිළිබඳ තමයි සෑම විටම අවධානය යොමු කර තිබෙන්නේ.

බන්ධනාගාරයට එන පිරිස් ආකාර දෙකකට ඉන්නවා. එකක් තමයි රිමාන්ඩ් බන්ධනාගාර ගත වූ අය; එනම් අධිකරණයකින් වැරදිකරු වී දඬුවම් නොලැබූ අයයි. රිමාන්ඩ් භාරයේ සිටින භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් මෙවැනි ප්‍රශ්නයක් පැන නගින්නේ නැහැ. හැබැයි අධිකරණයෙන් වරදකරු වී සිරකරුවන් බවට පත් වූ විට තත්ත්වය වෙනස් වෙනවා. එහිදී බරපතල වැඩ සහිත සිරදඬුවම් සහ ලිහිල් වැඩ සහිත සිරදඬුවම් ලෙස ආකාර දෙකක් තිබෙනවා. ලිහිල් වැඩ සහිත සිරදඬුවමකදී බන්ධනාගාර පාලකතුමාගේ එකඟතාව මත ඇඳුමක් තෝරාගැනීමට පුළුවන් වුවත්, බරපතල වැඩ සහිත සිරදඬුවමකදී බන්ධනාගාරයෙන් ලබා දෙන නියමිත ඇඳුම භාවිතා කළ යුතුයි.මෙතෙක් කල් කටයුතු කර ඇත්තේ එම නීතියට අනුවයි.

ඒ අනුව මහානායක හාමුදුරුවන් වහන්සේලා යොමු කළ ලිපිය අනුව ප්‍රශ්නය පැන නගින්නේ සිරගතව සිටින ආකාරයට වඩා, උන්වහන්සේලා බන්ධනාගාරයෙන් බැහැරට රැගෙන එන අවස්ථාවලදීයි. අධිකරණ කටයුතු සඳහා පමණක් නොව බන්ධනාගාරයෙන් බැහැර වන සෑම අවස්ථාවකදීම අපි එය සැලකිල්ලට භාජනය කළ යුතුයි. මොකද බන්ධනාගාරය ඇතුළත විවෘත නැති ස්ථානයක් වුවත්, බැහැරට රැගෙන එන විට මාධ්‍යයට සහ පොදු ජනතාවට නිරාවරණය වීමට පටන් ගන්නවා.

මේ අයව බැහැරට රැගෙන ඒමේදී පැවති ක්‍රියාපටිපාටිය තමයි අනුගමනය කර තිබෙන්නේ. මීට පෙරත්, දැනට සිටින 63 නම පිළිබඳ මම විමසා බැලුවා ඇතැම් භික්ෂුන්වහන්සේලා එක් වරදකට සිරදඬුවම් ලබන අතරතුර වෙනත් නඩුවලට සම්බන්ධ නම් අධිකරණයට කැඳවීමට සිදු වෙනවා.දැනට සිරගතව සිටින ඇතැම් හිමිවරුන් වෙනත් නඩුවලට අධිකරණයට පමුණුවා ඇත්තේද සිවුර දරාගෙන නොවෙයි.

බන්ධනාගාර නිලධාරීන් ක්‍රියා කර ඇත්තේ දැනට පවතින නීති සහ රීති පද්ධතියට අනුව බැවින් ඔවුන්ට දෝෂාරෝපණය කර වැඩක් නැහැ.

ඊයේ දිනයේ වැඳ නමස්කාර කළ හාමුදුරුවන් වහන්සේ නමක් අද වෙනස් ආකාරයකින් දැකීමට සිදුවීම බෞද්ධ ජනතාවට සහ මහා සංඝරත්නයට දැඩි කම්පනයක් සහ විමතියක් ඇති කරවන බව මම පිළිගන්නවා.හැබැයි සිදු වු ක්‍රියාදාමය මෙයයි.

නීති යනු සදාකාලික එකම තැන පවතින උත්තර ඓතිහාසික දේවල් නෙවෙයි; නීති නිතරම සංශෝධනය වෙනවා. එසේ නොමැතිව මම කැමති නැහැ නීති එසේ තිබියදී, මෙහෙම කරන්න කියලා නියෝගයක් දෙන්න. එතකොට නීතිය පැත්තක, ඒක මගේ නීතිය වෙනවා. මගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතුයි. සාමාන්‍ය දේශපාලනයේදී "නීතිය යනු පාලකයාගේ කැමැත්තය" කීවත්, මාගේ කැමැත්ත නීතිය බවට පත් කරගැනීමට මම කිසිසේත්ම කැමති නැහැ.

නීතිය වර්තමානයට උචිත නැත්නම් කළ යුත්තේ නිසි පරිදි නීතිය සම්පාදනය කරගැනීම මිස, අපේ කැමැත්ත මත නීතිය ක්‍රියාත්මක කිරීම නෙවෙයි. ඒ නිසා මේ තිබෙන රෙගුලාසි සහ බන්ධනාගාර නිත්‍ය නියෝග වර්තමාන තත්ත්වයට අනුරූප වන පරිදි වෙනස් විය යුතුයි. මෙවැනි සංවාදයකදී තමයි මෙවැනි කරුණු මතු වන්නේ. හැම විටම මේ නීති සකස් කර තිබෙන්නේ පොදු තත්ත්වයකදී මිස භික්ෂුන් වහන්සේ උදෙසා විශේෂ රෙගුලාසි අඩුයි.

භික්ෂුන් වහන්සේ සිරගතවනු ඇති බව අපේක්ෂා නොකළ නිසා එවැනි රොගුලාසි ඇතුළත් කරන්න නැතිව ඇති. හැබැයි දැන් සමාජයේ ඇති වී තිබෙන බිඳවැටීමට යම් ප්‍රමාණයකට භික්ෂූන් වහන්සේලාද ගොදුරු වී සිටින බව පෙනෙන්නට තිබෙනවා.එම නිසා, බන්ධනාගාර ගත වූ විට රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ නව රීති සම්පාදනය කරගත යුතුයි.එය එක් හිමිනමක් ඉලක්ක කරගෙන නොව පොදුවේ පද්ධතියටම අදාළ විය යුතුයැයි” ජනාධිපතිවරයා පැවසීය.

මෙවැනි සංවේදී කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් කඩිනම් විසඳුම් ලබා දීමට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳ මහා නායක හිමිවරුන් වෙනුවෙන් මෙහි වැඩම කර සිටී මහා සංඝරත්නය ජනාධිපතිවරයා වෙත කෘතඥතා පූර්වක ආශිර්වාදය පළ කළහ.

නාරම්පනාවේ ආනන්ද අස්ගිරි අනු නාහිමි, පහමුණේ ශ්‍රී සුමංගල මල්වතු පාර්ශවයේ ලේඛකාධිකාරී නාහිමි, මල්වතු පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී මහවෙල ශ්‍රී රතනපාල,ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරී බලපිටියේ සිරි සීවලී නියෝජ්‍ය ලේඛකාධිකාරී අහංගම මෛත්‍රීමූර්ති ,ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී අත්තංගනේ සාසනරතන කොන්ගස්තැන්නේ ආනන්ද හිමිවරුන් ප්‍රමුඛ ත්‍රෙයිනිකායික මහා සංඝරත්න මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.