(යොහාන් භාසුර)

මාධ්‍යම තැපැල් හුවමාරුවේ අධිවේගී තැපැල් සේවාව (ඊ.එම්.එස්.) හරහා අපනයන හෝ වෙනත් ආකාරයට විදේශගත කරන පාර්සල් සහ භාණ්ඩ රේගු පරීක්‍ෂාවට යොමුනොකිරීම නිසා රජයට අති විශාල ආදායම් සහ මෙරට සම්පත් අහිමිවීමේ දැඩි දූෂිත තත්වයක් නිර්මාණය වී ඇති බව තැපැල් සේවකයෝ පවසති.

මෙරටින් පිට කිරීම තහනම් සහ සීමාකර ඇති ද්‍රව්‍ය මාධ්‍යම තැපැල් හුවමාරුව හරහා විශාල ලෙස රටින් පිට කරන බවත් රේගු නිලධාරීන් පසුගිය දිනක මධ්‍යම තැපැල් හුවමාරුව වටලා අපනයනය කිරීමට සූදානම් වූ තහනම් ද්‍රව්‍ය ප්‍රමාණයක් භාරයට ගත් බවත් ඔවුහූ සඳහන් කළහ.  

වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුව පත්වීමෙන් පසුව එහි බලය ආරෝපණය කරගත්තේ යැයි කියන මාධ්‍ය තැපැල් හුවමාරුවේ උසස් තනතුරක් දරණ නිලධාරිනියක් කිසිවකුගේ අදහස්වලට ඇහුම්කන් නොදී අධිවේගී තැපැල් සේවා ස්ථානය වෙනත් ස්ථානයකට ගෙනගිය බවත් එම ස්ථානය පැය 24 සේවා සපයන ස්ථානයක් ලෙස නම් කළ ද එය නාස්තිකාරී තීරණයක් බවත් තැපැල් සේවකයෝ කියති.

මාධ්‍යම තැපැල් හුවමාරුවේ අධිවේගී තැපැල් සේවාව තුළ රේගුව සහ ශාඛ නිරෝධායනය යන රාජ්‍ය ආයතනය රැසක් මීට පෙර කටයුතු කළ ද වර්තමානය වන විට තැපැල් දෙපාර්තමේන්තුව එහි සියලුම බලතල පවරාගෙන ඇති බවත් ඒ හේතුවෙන් කොතලහිඹුටු, වල්ලපට්ට සහ නිල් මානෙල් වැනි තහනම් ශාක සහ පෞරාණික භාණ්ඩ පහසුවෙන් රටින් පිටකරන බවත් තැපැල් සේවකයෝ සඳහන් කරති.  

මාධ්‍යම තැපැල් හුවමාරුව හරහා රටින් පිටකරන සියලුම පාර්සල් සහ භාණ්ඩ මීට පෙර රේගු දෙපාර්තමේන්තුව පරීක්‍ෂා කළ අතර එහිදී තහනම් ද්‍රව්‍ය රටින් පිටකිරීමට අවසර නොලැබුණු බවත් රටින් පිට කිරීම සීමා කළ භාණ්ඩ සඳහා බගපත්‍ර ගැනීම අනිවාර්ය වූ බව කියන තැපැල් සේවකයෝ රේගුව අධිවේගී තැපෑලේ කටයුතු කරන කාලයේ ඇතැම් භාණ්ඩ ආපනයනය සඳහා බලපත්‍ර ලබාගත් පුද්ගලයන් ද මේ වන විට බලපත්‍ර නොමැතිව භාණ්ඩ විදේශවලට තැපැල් කරන බව ද කීහ.  

“මාධ්‍ය තැපැල් හුවමාරුව කියන්නේ ශ්‍රී ලංකාව වෙනත් රටවල්වලින් වෙන්කරන දේශසීමාවක් වගෙයි. නමුත් එම දේශසීමාවෙන් මේ වන විට කිසිඳු සීමාවකින් තොරව ඕනෑම භාණ්ඩයක් පිටකරන්න පුළුවන් වෙලා තියෙනවා.

තැපැල්පතිතුමා ඇතුළු සියලුම බලධාරීන් මේ පිළිබඳව අවධානය යොමුකර හැකි ඉක්මණින් පියවරක් ගතයුතුයි” යැයි තැපැල් සේවකයකු ‘ලංකාදීප’යට පැවසීය.

රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්‍ෂ චන්දන පුංචිහේවා මහතාගේ මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ රේගු නොමැතිව ශාඛ ආදි ද්‍රව්‍ය අපනයනය කිරීම පිළිබඳව තැපැල් දෙපාර්තමේන්තුව ලිඛිතව දැන්වත් කර ඇති බවත් තැපැල් දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත්ය.    

මෙම චෝදනාව පිළිබඳව විමසීමට තැපැල්පති රුවන් සත්කුමාර මහතා දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සහ කළ ද දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීය.