(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අද රටේ සිදුවන්නේ ජනාධිපතිට ඇමතිලාට නියෝජ්‍ය  ඇමතිවරුන්ට අවශ්‍ය දේ නොව පැලවත්තට අවශ්‍ය දේ යැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 

ජනවරමේ පොරොන්දු ඉටු කරන බව කිව්වා. නමුත් ඒවා ඉටු කිරීම පිළිබඳ ජනතා විශ්වාසය දවසින් දවස නැතිවෙනවා.නීතියේ මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය නොව පැලවත්තට අවශ්‍ය දේ සිදුවන බව ජනතා මතයයි.නීතිපති දෙපාර්තමේන්තුව, පොලිසිය කරන්න ඕන මොනවද කියලා තීන්දු කරන්නේ පැලවත්ත.රටේ තියෙන ගැටලුව ඒකයි.ඇමතිවරයාටවත් ,නියෝජ්‍ය ඇමතිවරයාටවත් ජනාධිපතිටවත් අවශ්‍ය දේ නෙමෙයි මේ රටේ අද වෙන්නේ.ඕක තමයි තියෙන ගැටළුව.

22 වැනි සංශෝධනය ගේන්න එපා යැයි මුළු ලෝකයම කිව්වා.අපේ රටේ පමණක් නොව ජාත්‍යන්තර සංවිධාන පවා කිව්වා.එක්සත් ජාතීන්ගේ සංවිධානයත් කිව්වා. මහා නා හිමිවරුන් ඇතුළු ආගමික නායකයන් කිව්වා.නමුත් තමුන්නාන්සේලා ඒකට ඇහුම්කන් දුන්නේ නැහැ.සිද්ධ වුනේ පැලවත්තට අවශ්‍ය දේ.පැලවත්තට අවශ්‍ය කරන්නේ මේ රටේ අධිකරණයේ තිබෙන ස්වාධීනත්වය විනාශ කර ඔවුන්ට අවශ්‍ය පරිදි කටයුතු කරන පසුබිමක් හදා ගැනීමයි.ආණ්ඩුවට අවශ්‍ය තීන්දු නොදුන් ගම්පහ මහේස්ත්‍රාත්වරයා මාරු කරලා දැම්මා.අධිකරණ ස්වාධීනත්වය ප්‍රායෝගිකව කරලා පෙන්නන්න. අද විදේශීය ආයෝජකයන් රටට එන්නේ නෑ .දේශීය ආයෝජකයන් වෙන රටවල් හොයාගෙන යනවා.ස්වාධීන අධිකරණයක් පොලිසියක්,නීතිපති දෙපාර්තමේන්තුවක් තිබෙනවාද කියා ආයෝජකයන් සලකා බලනවා.ඒ ගැන ගැටළුවක් තිබෙන විට ආයෝජකයන් එන්නේ නැහැ යනුවෙන්ද මන්ත්‍රීවරයා පැවසීය.