(අංජුල මහික වීරරත්න)

රෝග නිරීක්ෂණය, දේශගුණය ආශ්‍රිත සෞඛ්‍ය අවදානම් තක්සේරු කිරීම, ආපදා සූදානම සහ සෞඛ්‍ය සේවා සඳහා ඇති ප්‍රවේශය වැඩිදියුණු කරමින් ජාතික මහජන සෞඛ්‍ය පද්ධතීන් ශක්තිමත් කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) ඇතුළු ඩිජිටල් තාක්ෂණයන් ඒකාබද්ධ කරගැනීම අත්‍යවශ්‍ය බව  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

අමාත්‍යවරයා මේ බව කීවේ තායිලන්තයේ බැංකොක් නුවර එක්සත් ජාතීන්ගේ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී (UNCC) අද (28) ආරම්භ වූ පස්වන ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේදී (MC-5) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අදහස් දක්වමිනි.

එක්සත් ජාතීන්ගේ ආසියා සහ පැසිෆික් කලාපීය ආර්ථික හා සමාජ කොමිසම (UNESCAP) සහ තායිලන්ත රජය එක්ව සංවිධානය කරන ලද මෙම  සමුළුවේ උප සභාපතිවරයෙකු ලෙස ද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තේරී පත් විය.

සමුළුව හමුවේ විශේෂ අදහස් දැක්වීමක් සිදුකළ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ගෝලීය වශයෙන් තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගැනීමේ ප්‍රගතිය අපේක්ෂිත මට්ටමට වඩා සැලකිය යුතු ලෙස මන්දගාමී වී ඇති බවයි.