
(අංජුල මහික වීරරත්න)
විහාරස්ථාන 6477 ක විදුලි බිල්පත් වලට සහන සැලසීම සඳහා බුද්ධශාසන අමාත්‍යංශයෙන් නව සූර්යය බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ විහාරස්ථාන විසින් දරනු ලබන, මාසික විදුලි පාරිභෝජන වියදම් සඳහා සහන සැලසීමේ අරමුණින්, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සහ ඉන්දීය රජය ඒකාබද්ධව මෙම සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරයි.
මෙම ව්‍යාපෘතිය යටතේ මාසික විදුලි පරිභෝජනය ඒකක 200ට අඩු විහාරස්ථාන වල විදුලි බිල්පත් සඳහා අවශ්‍ය මූල්‍ය දායකත්වය සූර්ය බලශක්තිය මගින් උපයාගන්නා ආදායමෙන් ආවරණය කිරීමට අපේක්ෂා කෙරේ.
ඒ අනුව මේ වන විට දිවයින පුරා විහාරස්ථාන 6,477 ක් මෙම සහන වැඩසටහන සඳහා සුදුසුකම් ලබා තිබේ.
මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත්, හම්බන්තොට, මයුරපුර, සූර්ය බලශක්ති උද්‍යානය ආශ්රිත භූමියෙන්, අක්කර 38 ක භූමි ප්‍රමාණයක් තෝරාගෙන ඇත. එම භූමියේ සූර්ය බලාගාරයක් ස්ථාපිත කිරීම මගින්, ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්තිය එක්කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණකි. ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුළු පිරිවැය රුපියල් බිලියන 2.89කි. ඒ සඳහා ඉන්දීය රජය විසින් රුපියල් කෝටි 82.4ක ප්‍රදානයක් ලබාදී තිබීම විශේෂත්වයකි. මෙම සූර්ය බල විදුලි බලාගාරය මගින් නිෂ්පාදනය කරනු ලබන විදුලිය, ලංකා විදුලිබල මණ්ඩලයේ ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිතය. එමගින් ජනනය වන විදුලිය සඳහා ලැබෙන මූල්‍ය වටිනාකමට අනුරූපීව, ව්‍යාපෘතිය යටතේ තෝරාගනු ලැබූ විහාරස්ථානවල විදුලි බිල්පත් පියවීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය. එක් එක් විහාරස්ථාන සඳහා වෙන වෙනම සූර්ය බල පද්ධති ස්ථාපනය කිරීම වෙනුවට, මධ්‍යගත සූර්ය බලාගාරයක් ස්ථාපිත කර, එමගින් උත්පාදනය කරන විදුලියේ ආර්ථික ප්‍රතිලාභය සුදුසුකම් ලබන විහාරස්ථාන වෙත ලබාදීමට සැලසුම් කර තිබීමයි.
ව්‍යාපෘතියේ තාක්ෂණික හා ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය උපදේශකත්වය ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් හා ශක්‍යතා අධ්‍යයනය හා පාරිසරික බලපෑම් තක්සේරුව රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය මගින් ඉටුකිරීමට නියමිතය.
ව්‍යාපෘතියට අදාළ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් ලංසු කැඳවීම නොවැම්බර් මස 09 සිදුකර ඇති අතර, ඉදිකිරීම් කටයුතු 2027 අප්‍රේල් මස වන විට අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමත් සමඟ, විහාරස්ථානවල විදුලි බිල්පත් වෙනුවෙන් දරන මූල්‍ය බර සැලකිය යුතු මට්ටමකින් අවම කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd