(ගයාන් සූරියආරච්චි)

එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ (ඩුබායි) හි සැගවී සිටින ලාංකික මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයන් මෙරටට ගෙන්වා ගැනීම සදහා ඩුබායිහි පොලිස් හා මහජන ආරක්ෂක නියෝජ්‍ය ප්‍රධානී ලුතිතන් ජෙනරාල් දාහි ක්හල්ෆාන් ටැමීම් මහතා සමග සාකච්ඡා පවත්වා ඇති බව පැවැසේ.

ඒ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා එරට පැවැත්වෙන ලෝක පොලිස් සමුළුවට සහභාගිවූ අවස්ථාවේදීය.

එරට සැගව සිටින මෙරට සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන මෙරටට කඩිනමින් රැගෙනඒමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා එම නිලධාරීන්ට සිය කෘතඥතාවය පළකර ඇත.

පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා එක්සත් අරාබි එමීර් රජ්‍ය යේ පැවැත්වෙන වාර්ෂික ලෝක පොලිස් සමුළුවට සහභාගිවීම සදහා ඉකුත් (15) වැනිදා දිවයිනෙන් පිටව ගියේය.

එහිදී  ප්‍රියන්ත වීරසූරිය මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබද එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන සිරි බිජූන් මහත්මිය සහ ඩුබායි පොලිස්යේ ජාත්‍යන්තර සහයෝගීතා අංශයේ අධ්‍යක්ෂවරයා ද හමුවී සාකච්ඡා පවත්වා ඇත.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සමග අපරාධ පරීක්ෂණ හා මූල්‍ය අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාට එම අවස්ථාවට සහභාගිවූයේය.