(අංජුල මහික වීරරත්න)

පෙළපත් නාමය සහිත ඕනෑම අයෙකු සිදුකරන වරදක් එම පෙළපත් නාමය හිමි සෑම අයෙකුටම අදාලදැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

හර්ෂණ රාජකරුණා මහතා මෙසේද පවසයි.

​කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ගිනි අවි සමග අත්අඩංගුවට ගත් පුද්ගලයකු සහ මා අතර සබඳතාවක් හැඟවෙන ආකාරයෙන්, ප්‍රවෘත්ති පළ කර ඇති ආකාරය මා නිරීක්ෂණය කළෙමි.

​පළමුවෙන්ම මට කීමට ඇත්තේ සහෝදරියන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ එකම පිරිමි දරුවා මා වීම නිසා මට සහෝදරයින් කිසිවෙකු නොමැති බවයි.

​එමෙන්ම පෙළපත් නාමය සහිත ඕනෑම අයෙකු සිදුකරන වරදක් එම පෙළපත් නාමය හිමි සෑම අයෙකුටම අදාළද යන්න මා මෙවැනි ප්‍රවෘත්ති පළ කරන මාධ්‍ය ආයතන වලින් විමසා සිටිමි.

​වසර 11 පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන මා කිසිදු දිනෙක මන්ත්‍රීවරුන්ට ලබාදෙන ගිනි අවිය හෝ ලබාගෙන නොමැති අතර මාගේ පියා වූ දිවංගත සරත්චන්ද්‍ර රාජකරුණා මහතාද කිසිදු දිනෙක ගිනි අවියක් සන්තකයේ තබාගෙන නොමැති බව අවධාරණය කරමි.

​එවැනි තත්ත්වයක් හමුවේ දේශපාලන වශයෙන් මාගේ චරිතයට අවමන් කිරීම අරමුණු කර ගනිමින්, මට අදාලත්වයක් නොමැති එම සිදුවීම වාර්තා කිරීමේදී ඇතැම් මාධ්‍ය ආයතන මාගේ නමද ඊට ඈඳා ඇති බව පැහැදිලිව පෙනේ.

​ඒ අනුව මාගේ නමට කැළලක් සිදු කිරීමේ අරමුණින් අදාළ ප්‍රවෘත්තිය වාර්තා කළ මාධ්‍ය ආයතන පිළිබඳ ඉදිරියේදී නීතිමය පියවර ගැනීම පිළිබඳ මා නීතිඥවරුන්ට උපදෙස් ලබාදුන් බවද ප්‍රකාශ කරමි.

​තවද රජයේ බංකොලොත්භාවය වසා ගැනීමත්, සමාජයෙන් එල්ලවන පීඩනය සහ ජනතාවගේ මතය වෙනතකට යොමු කිරීමත් අරමුණු කර ගනිමින් මාලිමා ආණ්ඩුව සිදුකරන මෙවැනි පහත් ක්‍රියා හෙළා දකින බවද අවධාරණය කරමි.