IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මැතිවරණය ගැන ජනතාව නොඉවසිල්ලෙන්

කොළඹ බුද්ධි අංශයට ගෙවුනු සතියේ මැතිවරණ අධීක්ෂණ කටයුතුවලින් මදක් බැහැර වන්නට සිදුවුනි.ඉන්දියාවේ රාමනාථපුරම් ප‍්‍රදේශයෙන් ලැබුණු වාර්තාවක් මෙයට හේතුවිය.

රාමනාථපුරම්හි,දනුස්කොඩි ජැටිය ආසන්නයේ මුර සේවයේ යෙදී සිටි පොලිස් නිළධාරීන් පිරිසක් හදිසි වාහන පරීක්ෂාවකින් පසු එක් වාහයනයක් හා පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් එයින් එක් පුද්ගලයෙක් ශී‍්‍රලාංකිකයෙකු බවත් එම වාර්තාවේ සදහන් විය.දනුස්කොඩි ජැටිය අතීතයේ ශී‍්‍රලංකාව හා ඉන්දියාව අතර මගී ප‍්‍රවාහ බෝට්ටු සේවා කි‍්‍රයාත්මකවූ අවධියේ බෙහෙවින් ප‍්‍රයෝජනයට ගැනුනකි.

අත්අඩංගුවට ගත් වාහනයේ තිබී ගෝලීය පිහිටුම් අනාවරක උපකරණ,සයනයිඩ් ග‍්‍රෑම් 300 ක්,හිස් කැපිසියුලයන් 75 ක්,එකිනෙකට වෙනස් ජංගම දුරකථන 7 ක් සොයාගැනීමට එම පොලිස් නිළධාරීන්ට හැකිව තිබුනි.කොළඹ ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට මෙසේ හදිසි වාහන පරීක්ෂාවක් සිදුකර තිබෙන්නේ තමිල්නාඩු පොලිසියට ලැබුණු ඔත්තුවකට අනුවය.අත්අඩංගුවට ගෙන ඇති කි‍්‍රෂ්ණ කුමාර් නම් ශී‍්‍රලාංකිකයා තමිල්නාඩුවේ සරණාගත කදවුරක රැුදී සිටින්නෙක් බව අනාවරණයව තිබේ.ඔහු හා රාජේන්ද්‍රන් හා ශෂී කුමාර් යන අනෙක් ඉන්දියා ජාතිකයින් දෙදෙනා මේ වන විට සිටින්නේ තමිල්නාඩු පොලිසියේ ප‍්‍රශ්න කිරීම් වලට ලක්කෙරෙමින්ය.ඔවුන් සන්තකයේ තිබී චන්ද්‍රිකා දුරකථනයක් සොයාගැනීමට හැකිවූයේයැයි ඇතැම් ඉන්දියා මාධ්‍ය වාර්තා කරන තිබුණද තමිල්නාඩු පොලිසිය එම වාර්තා ප‍්‍රතික්ෂේප කරයි.

මෙය එල්.ටී.ටී.ඊ යට නැවත පණදීමට විදේශයන්හි වෙසෙන ඇතැම් පුද්ගලයින් හා කණ්ඩායම් දරන උත්සාහයක පියවරක්දැයි යන්න ශී‍්‍රලංකා බුද්ධි අංශ වලට නැගුනු සැකය විය.අනෙක් අතට මෙය අගෝස්තු 17 වැනිදා පැවැත්වීමට නියමිත මැතිවරණයේ වත්මන් කටයුතු වලින් බුද්ධි අංශ වල අවධානය වෙනතක යොමුකිරීමට ගත් උත්සාහයක්දැයි යන සැකයද බලධරයින් බැහැර කර නොමැත.

ත‍්‍රස්තවාදයට හිස ඔසවන්න අපි කිසිම අවස්ථාවක් දෙන්නේ නැහැ.අවශ්‍ය සියලූම පියවර අරගෙනයි තිබෙන්නේ.

මුල් පෙල හමුදා නිළධරයෙකු සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූයේ එසේය.කෙසේනමුත් රාමනාථපුරම් සිදුවීම එල්.ටී.ටී.ඊ ය නැවත නැගිටුවීමට ගත් උත්සාහයක් නම් එය මේ අවස්ථාවේ සිදුකිරීමට එය පසුපස සිටි කවුරුන් හෝ උත්සාහ කරන්නට ඇත්තේ රටේ ජනතාව අතර නැවත වරක් බිය ජනිත කරවීමේ අරමුණින් විය හැකි බව බුද්ධි අංශ වල අදහසයි.

මෙනිසාම මේ සම්බන්ධයෙන් බුද්ධි අංශ දැඩි අවධානය යොමුකර තිබේ.නිළධරයින් සිටින්නේ තමිල්නාඩු පොලිසිය වැඩිදුර තොරතුරු ලබාදෙන තුරුය.

මෙය පුදුමයට කාරණයක් නොවේ.2009 දී යුධමය වශයෙන් පරාජයවූ දා පටන්ම එල්.ටී.ටී.ඊ යට සම්බන්ධ විදේශ රටවල සිට කි‍්‍රයාත්මක වන ඇතැම් කණ්ඩායම් හා පුද්ගලයින් සංවිධානයට නැවත පණදීමේ නිරන්තර උත්සාහයක නිරතව සිටී.මෙනිසා ආරක්ෂක අංශද සිටින්නේ  ඕනෑම අවස්ථාවකට මුහුණදීමට සීරුවෙනි.යුද්ධයේ අවසාන භාගයේදී විදෙස් රටවලට පලායෑමට සමත්වූ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් මෙම කණ්ඩායම් මෙහෙයවන බවට හෙළිකෙරුනු වාර්තා බොහෝමයක් පසුගිය සමයේ ප‍්‍රකාශයට පත් වුනි.

ත‍්‍රස්තවාදයට නැවත හිස එසවීමට ඇති ඉඩ මැයෙන් පළව තිබූ එවන් එක් වාර්තාවක් සම්බන්ධයෙන් සන්ඬේ ටයිම්ස් අවධානය යොමුවිය.එම වාර්තාවේ දැක්වෙන පරිදි හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් වෙනුවෙන් ආරක්ෂක අංශ පුනරුත්ථාපන වැඩසටහන් කි‍්‍රයාත්මක කළද 2000 ක් පමණ එල්.ටී.ටී.ඊ සාමාජිකයෝ පිරිසක් එම වැඩසටහන් මගහැරයාමට සමත්ව ඇත.එල්.ටී.ටී.ඊ ය සතුව තිබූ අවි,උණ්ඩ ඇතුලූ උපකරණ බොහෝමයක් තවමත් සොයාගැනීමට හැකිව නොමැති අතර එම වාර්තාවෙන් අනතුරු අගවන අයුරින් මෙසේ ආරක්ෂක අංශ වෙතින් පලාගොස් සිටින එල්.ටී.ටී.ඊ සාමාජිකයින් එම අවි තිබෙන තැන් සොයාගෙන නැවත වරක් රටේ අරගලයක් ඇතිකිරීමේ සැබෑ අවදානමක් ඇත.විදේශයන්හි සිටි එල්.ටී.ටී.ඊ කණ්ඩායම් තවමත් කි‍්‍රයාත්මකය.එම කණ්ඩායම් වල සාමාජිකයෝ ශී‍්‍රලංකාවේ සිටින එල්.ටී.ටී.ඊ සාමාජිකයින් හා සම්බන්ධ වෙමින්,නොයෙකුත් කඩාකප්පල්කාරී කි‍්‍රයා සිදුකිරීමට ඔවුන් මෙහෙයවන බවද මෙම වාර්තාවෙන් අනාවරණය කර තිබේ.

මෑත සමයේ දියත් කෙරුණු එවන් උත්සාහයන් තුනක් පිළිඹදව එම වාර්තාවේ කරුණු දක්වා ඇත්තේ මෙසේය.

පරාජයෙන් වසර 3 ක් ගෙවුනු 2012 වසරේදී එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු යැයි සැකකළ හැකි පුද්ගලයෙක් එවක රජයේ පාක්ෂිකයෙකුව සිටි ඊපීඞීපී සාමාජිකයෙකු වෙඩි තබා ඝාතනය කළේය.ප‍්‍රංශයේ වෙසෙන එල්.ටී.ටී.ඊ ප‍්‍රබලයෙකු වන කුමරන් මේ පසුපස සිටින බව පසුව දියත් කෙරුණු පරීක්ෂණ වලින් අනාවරණය විය.පරීක්ෂණයේදී සැකකරුවන් කිහිපදෙනෙකුම අත්අඩංගුවට ගැනීමට හැකිවූ අතර ඔවුන් පවසා සිටි අයුරින් 2011 වසරේදී ඉන්දියාවට පැමිණ තිබෙන කුමරන් එරට තම අනන්‍යතාවය සගවාගෙන වාසය කරමින් සිටි එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 25 දෙනෙකු රැුස්කර ශී‍්‍රලංකාවේ කඩාකප්පල්කාරී කටයුතු වල යෙදෙන ලෙස ඔවුන්ට උපදෙස් ලබාදී ඇත.ඔහුගේ අණින් තිදෙනා බැගින් වන කණ්ඩායම් වලට බෙදී ඇති පිරිසෙයින්,පෙරකී ඊපීඞීපී සාමාජිකයා ඝාතනය කිරීමේ මෙහෙයුම භාරවී ඇත්තේ එවන් එක් කණ්ඩායමකටය.කසුකුසු වලට සීමාවී තිබූ එල්.ටී.ටී.ඊ යේ නැවත නැගිටීම ගැන කතාබහ වඩා ප‍්‍රබලව ඇසෙන්නට ගත්තේ මේ සිදුවීමෙන් පසුවය.

දෙවැනි සිදුවීම වාර්තාවන්නේද 2012 වසරේදීමය.කොළඹදී අත්අඩංගුවට ගැනීමට හැකිවන එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුගෙන් කළ ප‍්‍රශ්න කිරීම් වලදී යුරෝපයේ කණ්ඩායමකින් ආධාර ලබන චෙන්නායි කේන්ද්‍රකරගනිමින් කි‍්‍රයාත්මක වන එල්.ටී.ටී.ඊ මෙහෙයුම් ජාලයක් පිළිඹද තොරතුරු අනාවරණය කරගැනීමට බුද්ධි අංශ සමත්විය.පරීක්ෂණ කටයුතු වල ප‍්‍රතිඵලවයක් ලෙස හිටපු ගරිල්ලා සාමාජිකාවක ඇතුළු ගරිල්ලා සාමාජිකයින් 6 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කළේය.ශ්‍රී ලංකා බුද්ධි අංශ ලබාදුන් තොරතුරු මත කි‍්‍රයාත්මකවූ ඉන්දියා බළධරයින් චෙන්නායිහි සැගවී සිටි තවත් එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගත්තේය.ඔවුන් අතරින් එක් අයෙකුට ඉලෙක්ට්‍රෝනික තාක්ෂණය පිළිබඳ හසළ දැනුමක් තිබෙන බව අනාවරණය විය.ඔවුන් සන්තකයේ තිබූ ලැප්ටොප් පරිගණක දෙකක්,පරිපථ කිහිපයක්,වයර්,ලියකියවිල් තොගයක් ආදියද පොලිස් භාරයට ගැනුනි.මොවුන් සිව්දෙන අතරේ තොරතුරු තාක්ෂණය පිළිඹද දැනුමක් තිබෙන තරුණයෙකු හා ශී‍්‍රලංකාවේ ගැඹුරු මුහුදු කලාපය ගැන දැනුම්වත් තරුණයෙකුද සිටි අතර වාර්තාවෙන් පෙන්වා දෙන පරිදි මොවුන් දෙදෙන කණ්ඩායමට එක්කරගෙන තිබෙන්නේ ඉදිරියේදී ශී‍්‍රලංකාවේ දියත් කිරීමට නියමිත මෙහෙයුම් වලට ඔවුන්ගේ සහය ලබාගැනීමටය.යාපනයේදී තවත් තරුණයින් 6 දෙනෙක් ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්විය.දිගටම පරීක්ෂණ කටයුතු සිදුකළ ඉන්දියා පොලිසිය චෙන්නායිහි ආරක්ෂක නිවස්නයක් ලෙස පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලක් වටලා එහි සැගව සිටි එල්.ටී.ටී.ඊ සාමාජිකයෝ සිව්දෙනෙකු අත්අඩංගුවට ගත්හ.දෙරටේ ආරක්ෂක අංශ මෙසේ කි‍්‍රයාත්මකවීම නිසාවෙන්ම එල්.ටී.ටී.ඊ යට නැවත පණදීමට දැරූ උත්සාහයක් වියැකී ගියේය.

තෙවැනි සිදුවීම වාර්තා වන්නේ පසුගිය මාර්තු මාසයෙනි.ජාතික සමගියට හානිගෙන ප‍්‍රකාශයන් අන්තර්ගත පති‍්‍රකා තොගයක් බෙදාහරිමින් සිටි තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට පලායි පොලිසිය සමත්විය.ඔහුගෙන් කළ ප‍්‍රශ්න කිරීම් වලින් අනාවරණය වන්නේ යුරෝපයේ සිට කි‍්‍රයාත්මක වන එල්.ටී.ටී.ඊ හිතවාදී කණ්ඩායමක් ශී‍්‍රලංකාවේ සිටින එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ට සංවිධානයේ නමින් නොයෙකුත් කඩාකප්පල්කාරී කි‍්‍රයාවන්හි යෙදීමට මුදල් එවන තැතක් ගැනය.පසුව කි‍්‍රයාත්මක කෙරුණු හදිසි මෙහෙයුමකින් උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශවල සිටි පුනරුත්ථාපනය කෙරුණු නොකෙරුණු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් ඇතුලූ තරුණ තරුණියන් පිරිසක් අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළේය. ප‍්‍රධාන සැකකරුවන් හදුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට යාමේදී මුහුණට මුහුණ සිදුවූ වෙඩි හුවමාරුවකින් ඔවුන් තිදෙන මරණයට පත්විය.මේ තිදෙන දිවයිනේ නොයෙකුත් කඩාකප්පල්කාරී කි‍්‍රයාවන්ගේ නිතර වීමට සැළසුම්කරගෙන සිටි බවත්,ඒ සදහා ඔවුන්ට ස්විට්සර්ලන්තයෙන්,එක්සත් රාජධානියෙන් හා ඉන්දියාවෙන් ආධාර ලැබී තිබෙන බවත් පසුව අනාවරණය වුනි.මියගිය තිදෙන පසු අවස්ථාවක ප‍්‍රයෝජනයට ගැනීමට වළදමා තිබුණු අවි ආයුධ,උණ්ඩ,බෝම්බ හා ලෝහ අනාවරක උපකරණ 3 ක් සොයාගැනීමටද ආරක්ෂක අංශ සමත්විය.

මෑත සමයේ මෙවැනි සිදුවීම් නිසා ඉතාම සුළු සිදුවීමක් සම්බන්ධයෙන් පවා ආරක්ෂක අංශ යොමුකරන්නේ දැඩි අවධානයකි.මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් දිනපතාම ජනපතිවරයාත්,අගමැතිවරයාත් දැනුම්වත් කිරීමටද ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටී.

මොනවද කරන්න  ඕනේ? - ජනපතිට උපදෙස්.

ජනවාරි 8 වැනිදා ඇතිවුනු වෙනස ඉදිරියට ගෙනයාහැකි කණ්ඩායමක් මෙවර මැතිවරණයෙන් පත්කරගන්නැයි ජනපති සිරිසේන ජාතික අමතමින් සිදුකළ විශේෂ ප‍්‍රකාශයකදී ඉල්ලා සිටියේ පසුගිය සතියේය.

ඔහු නොකියා කීවේ එක්සත් ජාතික පක්ෂය ජයග‍්‍රහණය කරවන ලෙසය.පසුගිය බදාදා (ජූලි 15) පැවැත්වීමට නියමිතව තිබූ ශී‍්‍රලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරකසභා හමුවද තම නියමයෙන් අවලංගු කිරීමටද ඔහු කටයුතු කළේය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මහලේකම් අනුර පි‍්‍රයදර්ශන යාපා,එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත යන මහත්වරුන් පසුගිය බ‍්‍රහස්පතින්දා ජනපති ලේකම්කාර්යාලයේදී ජනපතිවරයා හමුවිය.තමන් දෙදෙනා දැනුම්වත් කිරීමකින් තොරව ජනපතිවරයා ආසන සංවිධායකයින් පත්කරමින් සිටින බවත් පක්ෂ මහලේකම්වරුන් වුවත් තමන්ට ඒ ගැන දැනගැනීමට සිදුව ඇත්තේ මාධ්‍ය වාර්තා වලින් බවත් කියමින් ඔවුන් දෙදෙන ජනපති සිරිසේනට චෝදනා කළේය.යාපා අදහස් දක්වමින් මින් පසු ජාතික අමතන අවස්ථාවක පෙර සකස් කරගත් ලියවිල්ලක් යොදාගැනීම සුදුසු බවට ජනපතිවරයාට උපදෙසක් දුන්නේය.යාපා පෙර අවස්ථාවකදී විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා හමුවූ අතර ඔහු මෙසේ ජනපතිවරයා හමුවේ පළකළ අදහස් එම හමුවේ ප‍්‍රතිඵලයක් ලෙස දැක්විය හැකිය.

විපක්ෂ නායකවරයාද ජනපතිවරයා සමග විශේෂ හමුවක් පවත්වා තිබෙන අතර එහිදී ඔහු ඉදිරියේදී මෙවැනි ප‍්‍රකාශයක් සිදුකළහොත් එයින් අනිවාර්යයෙන්ම ශී‍්‍රලංකා නිදහස් පක්ෂය දෙකඩ වී යනු ඇතැයි ජනපති සිරිසේනට අනතුරු අගවා තිබේ.මෙයින් පසු සන්ධානයේ දේශපාලන නායකයින් හා විශේෂ හමුවක් පැවැත්වූ හෙතෙම ජනපතිවරයා හා තමන් අතර පැවති හමුවේ තොරතුරු ඔවුන් සමග හුවමාරු කරගත්තේය.තම ප‍්‍රකාශයෙන් පසු පක්ෂ සාමාජිකයින්ගේ පමණක් නොව තම නිවසේ සාමාජිකයින්ගේ දොස් පවා ඇසීමට සිදුවූයේයැයි ජනපතිවරයා තමන් සමග පවසා සිටි බව සිල්වා එහිදී කීය.ජනපති ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග වලට අනුව මහලේකම්වරුන් දෙදෙනා දැක්වූ අදහස් සිනාමුසුව අසා සිටීම හැරෙන්නට ජනපති සිරිසේන කිසිත් පවසා නොමැත.මේ අතර යාපා ශී‍්‍රලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැුස්වීම පැවැත්වීමට අවසර ඉල්ලා තිබේ.ජනපතිවරයා ඊට අවසරය ලබාදී ඇත.ඒ අනුව මෙම මස 30 වැනිදා පක්ෂ මධ්‍යම කාරකසභා හමුව පැවැත්වීමට නියමිතය.

ආසන සංවිධායකවරුන් පත්කිරීමේ වගකීම තමන් අතට ගෙන ඇති ජනපති සිරිසේනගේ උත්සාහය දේශපාලනමය වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාට පහරදීම බව පැහැදිලිය.රාජපක්ෂව ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ කොන්වූ චරිතයක් බවට පත්කිරීම ජනපති සිරිසේනගේ අරමුණ බව පෙනෙන්නට තිබේ.කෙසේනමුත් ඔහුගේ උත්සාහය කොතරම් දුරට සාර්ථකවේද යන්න ගැටලූවකි.හිටපු මහින්ද රාජපක්ෂ පාක්ෂිකයෙකු වූ චන්දන කස්ති‍්‍රආරච්චි කැස්බෑව සම සංවිධායක ලෙස පත්කිරීමට ජනපති සිරිසේන කටයුතු කර තිබෙන අතර එය කැස්බෑව ප‍්‍රධාන සංවිධායක,ප‍්‍රබල රාජපක්ෂ හිතවාදියෙකු වන ගාමිණී ලොකුගේව මහත්සේ කෝප ගැන්වීමට හේතුවී ඇත.රාජපක්ෂ විරෝධී නිදහස් පක්ෂ සාමාජිකයින් කිහිපදෙනෙකුම ආසන සංවිධායකයින් ලෙස පත්කිරීමට ජනපති සිරිසේන කටයුතු කර ඇත.ප‍්‍රසන්න සෝලංගආරච්චි,සිරිසේන විජේමාන්න,ආනන්ද පේ‍්‍රමතිලක ආදීහු ඒ අතරින් ප‍්‍රධානය.

ජනපති සිරිසේනගේ ආධාරකරුවෙකු වන ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා මාතර වැඩබලන සංවිධායකවරයා ලෙස පත්කර ඇත.අබේවර්ධන හක්මන ආසන සංවිධායකවරයා ලෙසද කටයුතු කරයි.මෙය මාතර ප‍්‍රධාන සංවිධායකවන ඩලස් අලහප්පෙරුමගේ නොමනාපයට හේතුවක්ව තිබේ.මෙම පත්වීම් අතර ගම්පහ දිස්ති‍්‍රක්කයේ එක්තරා සන්ධාන සාමාජිකයෙකු ආසන සංවිධායකවරයෙකු ලෙස පත්කිරීම නිසා අර්බුදකාරී වාතාවරණයක් ඇතිව තිබේ.මෙම පුද්ගලයා අපරාධ කිහිපයකටම සම්බන්ධ,පොලිස් වාර්තාවක්ද හිමි පුද්ගලයෙකු බව සදහන්ය.

ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් තරග වදින සන්ධාන අපේක්ෂකයින් ඔවුනොවුන් අතරම ගැටුම් ඇතිකරගනිමින් සිටී.එම ගැටුම් විසදීමට ඉදිරිපත් සිටින්නේ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාය.ඔහු ගියවර ගම්පහෙන් පාර්ලිමෙන්තු මැතිවරණයට තරග කළ අතර මෙවර ඔහු තරග කරන්නේ නැත.ඔහුට ඇමරිකා පුරවැසිභාවය හිමි නිසාත් 19 ඒ ව්‍යවස්ථා සංශෝධනයෙන් ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින්ට මැතිවරණයන්ට ඉදිරිපත්වීම අහෝසි කර ඇති නිසාත් මෙවර මැතිවරණයට ඉදිරිපත්වීමට ඔහුට අවස්ථාවක් නැත.

වංචා හා දුෂණ සම්බන්ධ පරීක්ෂණ කටයුතු දිගටම

එක්සත් ජාතික පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දේශපාලන වේදිකාවල වැඩි තැනක් හිමිව තිබෙන්නේ වංචාව හා දූෂණය පිටුදැකීමේ කතා වලටය.පසුගිය රජය සමයේ සිදුව ඇති බව පැවසෙන වංචා හා දූෂණ කටයුතු සම්බන්ධ පරීක්ෂණ වලින් ලැබෙන ප‍්‍රතිඵල අගොස්තු 17 වැනිදා මැතිවරණ ප‍්‍රතිඵලය කෙරේ අනිවාර්යයෙන්ම බලපානු ඇත.මැතිවරණ සමයක් නිසා පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයට කිසිවෙකුත් අත්අඩංගුවට ගැනීමට බලයක් නැතත් පරීක්ෂණ කටයුතු සිදුකිරීමට එය බාධාවක් නොවේ.ගෙවුනු සතියේ එක්සත් ජනපද නීතිපති දෙපාර්තමෙන්තුවේ නියෝජිතයින් කිහිපදෙනෙකු දිවයිනට පැමිණි අතර ඔවුන් මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය දියත් කර තිබෙන මුල් පෙලේ පරීක්ෂණ කටයුතු කිහිපයකට අදාළ විශේෂ උපදෙස් ලබාදුන්හ.මේ වන විට කිහිපවතාවක්ම ඇමරිකා නිළධරයින් දිවයිනට පැමිණ මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයේ පරීක්ෂණ කටයුතු වලට සහය ලබාදී තිබෙන අතර එය ජනපති සිරිසේන හා ඇමරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පසුගිය මැයි මස පැවැත්වූ සාකච්ඡා වල ප‍්‍රතිඵලයකි.රුසියාවේ හිටපු ශී‍්‍ර ලංකා තානාපති උදයංග වීරතුංග සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයට හිමිව ඇත්තේ ඉහළ ස්ථානයකි.පෞද්ගලික බඩුබාහිරාදිය යැයි සදහන් කර ඔහු ශී‍්‍රලංකාවට එවා තිබුණු අඩි 20 ක් දිග කන්ටේනරයක් පසුගියදා මූල්‍ය අපරාධ අංශයේ නිළධරයින්ගේ විශේෂ පරීක්ෂාවට ලක්වූ අතර එහි තිබූ පරිගණක කිහිපයක් හා මතක චිප,සංගත තැටි ආදී දත්ත ගබඩා මාධ්‍යයන් තොගයක් වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා මොරටුව විශ්වවිද්‍යාලයට යැවීමට පියවර ගැණින.ටෙහෙරාන් සිට ශී‍්‍රලංකා විදේශ අමාත්‍යංශය අමතා තිබෙන උදයංග මෙසේ කන්ටේනරයක් පැමිණෙන බව දැනුම්දී තිබේ.ඔහුගේ රාජ්‍යතාන්ති‍්‍රක ගමන්බලපත‍්‍රය වහාම භාරදෙන ලෙස ඔහුට නියෝග ලබාදී තිබුණද ඔහු තවමත් එම නියෝග පිළිපැද නොමැත.පරීක්ෂණ කටයුතු අවසානයේ කන්ටේනරය සීල් තැබීමට මූල්‍ය අපරාධ අංශයේ නිළධරයෝ කටයුතු කළහ.එය දැනට තිබෙන්නේ ශී‍්‍රලංකා වරාය අධිකාරියට අයත් කන්ටේනර අංගනයේය.

එක්සත් ජාතික යහපාලන පෙරමුණේ මැතිවරණ ප‍්‍රකාශය - 19 ට තවත් සංශෝධන

පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සමග එකම වේදිකාවකට ගොඩවූ දේශපාලන පක්ෂ නායකයෝ හා සිවිල් සමාජ කි‍්‍රයාකාරීහු නැවත වරක් එකට එක්වී සිටිනු පසුගියදා විහාරමහාදේවි එළිමන් රංග පීඨයේදී එක්සත් ජාතික යහපාලන පෙරමුණේ මැතිවරණ ප‍්‍රකාශය ඉදිරිපත් කිරීමේ අවස්ථාවේදී දැකගත හැකිවිය.එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ,කරූ ජයසූරිය,ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක,මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රවුෆ් හකීම්,දෙමළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන්,සාධාරණ සමාජයක් උදෙසා වන ජාතික ව්‍යාපාරයේ නායක ගරු මාදුළුවාවේ සෝභිත හිමි එම අවස්ථාවට සහභාගීව සිටියහ.

මැතිවරණ ප‍්‍රකාශයේ සිංහල පිටපත බෙදා හැරුණි.රැස්ව සිටියෝ ඇමතූ රනිල් වික‍්‍රමසිංහ 19 සංශෝධනයට තවත් වෙනස්කම් සිදුකරන බවට පොරොන්දු විය.එවන් එක් වෙනස්කමක් වන්නේ දැනට තිබෙන ව්‍යවස්ථා කවුන්සිලය ජාතික සභාවක් බවට පත්කිරීමය.එයට බදවා ගැනෙනු ඇත්තේ සිවිල් සමාජ කි‍්‍රයාධරයින්ය. අගමැතිවරයා, කථානායකවරයා හා විපක්ෂ නායකවරයා තවදුරටත් එහි සාමාජිකයෝ නොවෙති.සිවිල් සමාජ කි‍්‍රයාධරයින්ගෙන් සැදුම්ලත් උපදේශක සභාවක්ද ඇතිකිරීමට නියමිතය.යෝජිත පොකුරු ගම්මාන වැඩසටහන කි‍්‍රයාත්මක වනු ඇත්තේ මෙම සභාවේ උපදේශනය යටතේය.

19 ව්‍යවස්ථා සංශෝධනය සකස් කෙරෙන කාලයේ රනිල් වික‍්‍රමසිංහ රාජ්‍ය සභාවක් ඇතිකිරීමේ යෝජනාවක් ඉදිරිපත් කළේය.පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වලින් තෝරාගන්නා පුද්ගලයින් මෙම සභාවේ සාමාජිකයින් ලෙස පත්කර ගැනෙන බව ඔහු කීවේය. මුළු සාමාජිකයින් 36 දෙනා අතරින් 10 දෙනෙකුට නොඅඩු ගණනක් කාන්තාවන් වනු ඇතැයිද, සියලූ පළාත් සභා අමාත්‍යවරුන් මෙහි අනිවාර්යය සාමාජිකයින් වනු ඇතැයිද ඔහු පැවසීය. කවුන්සිලයේ ආසන 20 ක් පාර්ලිමෙන්තුවේ පිළිගත් කණ්ඩායම් අතර ඔවුන්ගේ පාර්ලිමෙන්තු නියෝජනය අනුපාතව බෙදී යනු ඇතැයිද ඔහු කීවේය.කෙසේනමුත් මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූයේ නැත.

යෝජිත රාජ්‍ය සභාව මගින් සියලූම පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් පරිපාලන ක්ෂේත‍්‍රය හා සම්බන්ධ කෙරෙන බව වික‍්‍රමසිහ කීය. ශී‍්‍ර ලංකාවට වඩා ගැලපෙන ආර්ථික ක‍්‍රමයක් ඇතිකිරීමට කටයුතු කෙරෙමින් පවතින බව කී ඔහු රැකියා දසලක්ෂයක් ඇතිකිරීමට බලාපොරොත්තු වන බව පැවසීය.පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් දසදහසක් දක්වා ඉහළ නැංවීමටද අපේක්ෂිතය.

එක්සත් ජාතික යහපාලන පෙරමුණේ මැතිවරණ ප‍්‍රකාශයේ ප‍්‍රධාන කරුණු කිහිපයක් මෙසේය.

විමර්ශන කටයුතු බාධාවක් නොමැතිව සිදුකරගෙන යෑමට මූල්‍ය අපරාධ ඒකකයට හැකිවන පරිදි ව්‍යවස්ථාමය වෙනස්කම් ඇතිකෙරෙනු ඇත.

නව පොලිස් පණතක් ඉදිරිපත් කෙරෙනු ඇත.

මූලික අයිතිවාසිකම් තවදුරටත් ආරක්ෂා කිරීමට ව්‍යවස්ථාව වඩාත් ශක්තිමත් කෙරෙනු ඇත.

ජනපතිවරයාට හිමි බලතල අගමැතිවරයාගේ හා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත කි‍්‍රයාත්මක කළ යුතු බව සදහන් කර ව්‍යවස්ථාව වෙනස් කෙරෙනු ඇත.

පවතින මැතිවරණය ක‍්‍රමය ඉවත් කර සමානුපාතික හා කේවල ක‍්‍රමයන්ගේ එකතුවකින් සමත්විත නව මිශ‍්‍ර මැතිවරණ ක‍්‍රමයක් හදුන්වා දෙනු ඇත.

තොරතුරු දැනගැනීමේ පණත හා විගණන පණත පාර්ලිමෙන්තුවේ සම්මත කෙරෙනු ඇත.

පෞද්ගලික අංශයේ වැටුප රුපියල් 2500 කින් ඉහළ දැමෙනු ඇත.අවම වැටුප රුපියල් 10000 කිරීමට අවශ්‍ය පියවර ගැනෙනු ඇත.

ජනතා විමුක්ති පෙරමුණේ ජාතික වැඩසටහන

ජනතා විමුක්ති පෙරමුණ ඉදිරි මැතිවරණය ඉලක්ක කරගත් තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය පසුගිය බදාදා දිනයේදී ප‍්‍රකාශයට පත්කළේය.සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගනයේදී පැවැත්වුනු මෙම අවස්ථාව ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ සජීවීව විකාශනය කෙරිණ.පැමිණ සිටියවුන් අමතමින් පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා සිදුකළ කතාවේදී රටට දැනෙන වෙනස්කම් සිදුකිරීමේ අරමුණ පෙරදැරිව මෙවර ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණයට ඉදිරිපත් වන බව සදහන් විය.

පක්ෂයේ මැතිවරණ ප‍්‍රකාශයේ වැඩිතැනක් හිමිව තිබෙනුයේ නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමටය.මෙම ව්‍යවස්ථාව සකස් කෙරෙන්නේ පොදු ජනතාවගෙන් ලැබෙන උපදෙස් අනුව බවත් එය සකස් කර අවසානවූ පසු ජනමතය විමසීම සදහා ඉදිරිපත් කෙරන බවත් එහි සදහන්ය.විධායක ජනාධිපතිධූරය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමටත්,පාර්ලිමෙන්තුවට සියලූ බලතල ලබාදීමටත් ජනතා විමුක්ති පෙරමුණ තම මැතිවරණ ප‍්‍රකාශයෙන් පොරොන්දුවක් දී ඇත.පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන්ට ලැබෙන විශ‍්‍රාම වැටුප කපාහැරීමටත්,ඔවුන්ට තීරබදු රහිතව රථවාහන මිලයට ගැනීමට තිබෙන වරප‍්‍රසාදය අහෝසි කිරීමටත් පක්ෂය කටයුතු කරන බවද එහි සදහන්ය.සිංහල,දෙමළ,මුස්ලිම් ආදී සියලූ ජනකොටස් වලට එක සමානව සැළකෙන දේශපාලනමය,සමාජමය හා සංස්කෘතිකමය පරිසරයක් ඇතිකිරීම කෙරෙහිද ජනතා විමුක්ති පෙරමුණ අවධානය යොමුකර තිබේ.ඊට අමතරව හෙළාදැකීම පිටුදැකීමේ විශේෂ කොමිසමක්,සත්‍යය හා සංහිදියාව වෙනුවෙන් විශේෂ කොමිසමක් ආදිය ඇතිකිරීමටද යෝජනාවී ඇත.මැතිවරණ ප‍්‍රකාශයේ තිබෙන මෙවන් කරුණු වලින් ජනතා විමුක්ති පෙරමුණද දැන් එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ අනෙක් දේශපාලන පක්ෂසේම ජාතික සංහිදියාව ඇතිකිරීමට මුල්තැනක් දී ඇති බව හදුනාගත හැකිය.

පිටු සියයකින් සමත්විත පක්ෂයේ මැතිවරණ ප‍්‍රකාශයේ සදහන් තවත් වැදගත් කරුණු අතර තොරතුරු දැනගැනීමේ පණත හා විගණන පණත සම්මත කිරීම,කැබිනට් මණ්ඩල අමාත්‍යවරුන් ගණන 25 දක්වා අඩු කිරීම,දළ දේශීය නිශ්පාදිතයෙන් සියයට 6ක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කිරීම,පක්ෂ මාරු කළ නොහැකිවන සේ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන්ට බලපැවැත්වෙන විශේෂ නීතියක් සම්මත කිරීම ආදිය ප‍්‍රධානය.

බලය අල්ලාගැනීමට සන්නද්ධ අරගලයක යෙදීමේ කිසිදු අදහසක් ජනතා විමුක්ති පෙරමුණට නැතැයි ඔහුගේ කතාවේදී පක්ෂ නායක අනුර කුමාර දිසානායක පැවසීය.ජනතා විමුක්ති පෙරමුණේ බිහිසුණු අතීතය ගැන තමා සැබැවින්ම කණගාටු වන බවද හෙතෙම කීය.

සන්නද්ධ අරගල වලින් වර්තමානයේ බලය දිනාගන්න බැහැ කියන එක අපි හොදින්ම අවබෝධ කරගෙනයි සිටින්නේ.අද තාක්ෂණය ගොඩක් දියුණුයි.මේ අලූත් ලෝකයේ අවි අරගෙන කරන ගැටුම් වලට ඉඩක් නැහැ.අදහස් වලින් කරන ගැටුම් වලටයි තැන තියෙන්නේ. අනුර කුමාර දිසානායක පවසා සිටියේය.

ජනතාව අතරින් ප‍්‍රතික්ෂේප වුණු පක්ෂයක් ලෙස සැළකුණු ජනතා විමුක්ති පෙරමුණ දැන් ක‍්‍රමයෙන් ජනතාව අතර පිළිගැනීමට ලක්වෙමින් සිටී.අතීතයේ මෙන් නොව වඩා මානුෂීය මුහුණුවරකින් ජනතාව අතරට යෑමට පක්ෂය කටයුතු කර තිබීම මෙයට ප‍්‍රධානතම හේතුවයි.පාර්ලිමෙන්තුවේ ඉතාම සකී‍්‍රය කි‍්‍රයාන්විතයක නිරත වන ජනතා විමුක්ති පෙරමුණේ මන්තී‍්‍රවරුන් කෙරේ ප‍්‍රධාන පක්ෂ දේශපාලඥයින් දැක,ඔවුන්ගේ කතා අසා හෙම්බත්වී සිටින ජනතාවගේ වැඩි අවධානය යොමුව තිබෙන බව රහසක් නොවේ.තරුණ ඡුන්ද දායකයෝ පිරිසක්ද පක්ෂය වටා එක්ව සිටිති.ඔවුන් ඇතැම් විට ජනතා විමුක්ති පෙරමුණේ භීෂණකාරී අතීතය නොදන්නවා විය හැකිය.වැඩිහිටියන්ද ජනතා විමුක්ති පෙරමුණේ නව මුහුණට කැමැත්තෙන් සිටියද පක්ෂයේ ආරම්භක නායක රෝහණ විජේවීර හා බැදුනු අදුරු මතකයන් ඔවුන්ගේ මතකයෙන් මකාදැමිීම අපහසුය.

ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ ප‍්‍රකාශය ඉදිරිපත් කිරීමේ අවස්ථාවට සජීවී රූපවාහිනී ගුවන්කාලයක් ලැබීම පක්ෂයේ හිටපු කි‍්‍රයාකාරී සාමාජිකයෙක් වූ දැන් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ මහතාගේ නොසතුටට හේතුවූවක් විය.දේශපාලනය සම්බන්ධ ග‍්‍රන්ථයක් දොරට වැඞීමේ උළෙලකට ගුවන්කාලය ලබාදෙන්නැයි ඒ අනුව හෙතෙම ස්වාධීන රූපවාහිනියේ අධ්‍යක්ෂක ගංගනාත් දිසානායකට ලිපියකින් දැන්වීය.ගෙවුනු සතියේ වීරවංශට ආචාර්ය ගංගනාත්නේ පිළිතුරු ලිපියක් ලැබුණු අතර එසේ ගුවන්කාලයක් ලබාදීමේ හැකියාවක් නැතැයිද,ජනතා විමුක්ති පෙරමුණට ගුවන්කාලය ලබාදුන්නේ එය දේශපාලන පක්ෂයක විශේෂ හමුවක් පැවැත්වුනු අවස්ථාවක් නිසායැයිද එහි සදහන්ව තිබුණි.පොතක් දොරට වැඞීමේ අවස්ථාවක් පක්ෂයක විශේෂ හමුවක් ලෙස සැළකීමේ හැකියාවක් නොමැති බව ආචාර්ය ගංගනාත්ගේ අදහස විය.ගුවන්කාලය ඉල්ලා දේශපාලන පක්ෂ කරන ඉල්ලීම් තමන් සළකා බලන්නේ එසේ ඉල්ලා සිටින කාලයේදී ස්වාධීන රූපවාහිනියේ සාමාන්‍ය වැඩසටහන් කාලසටහනට බාධා ඇති නොවන අවස්ථාවක් වේ නම් පමණක් යැයිද ආචාර්ය ගංගනාත් තම ලිපියේ සටහන් කර තිබිණ.රුපියල් ලක්ෂ 8 ක් ගෙවා ස්වාධීන රූපවාහිනියෙන් ගුවන්කාලය වෙන්කර ගෙන ඇතැයි ඇතැම් දේශපාලඥයින් නගන චෝදනා ජනතා විමුක්ති පෙරමුණ තරයේම බැහැර කරයි.

සන්ධානයේ මැතිවරණ ප‍්‍රකාශය අවසන් අදියරේ

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප‍්‍රකාශය හෙට දිනයේ තිඹිරිගස්යාය පේද්‍රිස් උයනේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති දේශපාලන රැුලියේදී ඉදිරිපත් කිරීමට නියමිතය.රැුලියට දිවයින පුරා වෙනෙස පක්ෂ සාමාජිකයින් 5000 ක පමණ පිිරිසක් සහභාගීවනු ඇතැයි අපේක්ෂිතය.බ‍්‍රහස්පතින්දා රාති‍්‍රය වන තෙක්ම මැතිවරණ ප‍්‍රකාශයේ අවසන් සංශෝධනයන් සිදුකෙරුණු අතර සංචාරක අධිකාරියේ හිටපු අධිකාරී නාලක ගොඩහේවා,හිටපු රාජ්‍යතාන්ති‍්‍රකයෙකු වන දයාන් ජයතිලක,හිටපු මහ බැංකු අධිපති අජිත් නෙවාඞ් කබ්රාල්,හිටපු ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් චරිත හේරත් එම කටයුතු වල මුල් තැන ගත්හ.තරමක් දිගු මැතිවරණ ප‍්‍රකාශයක් වන මෙහි රාජ්‍ය සේවකයින්ගේ අවම වැටුප රුපියල් 25000 ක් දක්වා වැඩිකරන බව සදහන් පොරොන්දුවක්ද ඇත.

නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සදහා උපදේශක සභාවක් පත්කළ යුතුව ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇතැම් හවුල්කාර පක්ෂ අදහසක් ඉදිරිපත් කර තිබිණ.නමුත් එය ප‍්‍රතික්ෂේප විය.ඒ වෙනුවට පවතින ව්‍යවස්ථාවේ වෙනස්කම් සිදුකළ යුතුයැයි තීරණය වුනි.එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග‍්‍රහණය කළහොත් නව මැතිවරණ ක‍්‍රමයක් වසර අවසානයට පෙර ස්ථාපිත කිරීම සන්ධාන මැතිවරණ ප‍්‍රකාශයේ අඩංගු තවත් වැදගත් කරුණකි.මැතිවරණ ප‍්‍රකායේ සංශෝධන සිදුකරන අතරවාරයේ ස්වාධීන රූපවාහිනිය ඔස්සේ සජීවී විකාශනය වෙමින් තිබූ ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ ප‍්‍රකාශනය ඉදිරිපත් කිරීමේ අවස්ථාවටද සන්ධාන නායකයින්ගේ අවධානය යොමුවිය.මෙම කටයුතු සිදුවුනේ විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතාගේ කොළඹ නිවසේදීය.

පසුගිය මැතිවරණයන් වලදී මෙන් නොව මෙවර මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතාගේ දැඩි ප‍්‍රතිපත්තිය නිසා අපේක්ෂකයින්ගේ කට්අවුට් හා පෝස්ටර ප‍්‍රදර්ශනය කිරීම් සැළකිය යුතු ලෙස සීමාවී ඇත.ඇතැම් ප‍්‍රදේශ වල තවත් සති තුනක පමණ කාලයකදී මැතිවරණයක් පැවැත්වෙන බවට ලකුණකුදු හදුනාගැනීමට නොහැකිය.නමුත් කොළඹ අවට වත්මන් රජයේ සාමාජිකයින්ගේ විශාල ප‍්‍රදර්ශන පුවරු පිහිටුවා තිබෙන අයුරු දැකගත හැකිය.මේ තත්ත්වය කොළඹින් ඈතට වන්නටද පවතින අතර වෙනසකට ඇත්තේ එම ප‍්‍රදර්ශන පුවරු වල සිටින්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ වීමය.

අගහරුවාදා පැවැත්වෙන සන්ධාන රැුලියට හිටපු ජනපතිවරයාද සහභාගීවීමට නියමිතය.ඔහු නිසා මැතිවරණ ව්‍යාපාරයට විශාල ශක්තියක් ලැබී ඇති බව සන්ධාන සාමාජිකයින්ගේ මතයයි.එක්සත් ජනතා යහපාලන පෙරමුණ ඉතාම ඉහළ ජනප‍්‍රසාදයක් අත්කර ගැනීමට දැනටමත් සමත්වී ඇත.මැතිවරණයට ඇත්තේ තවත් දින 22 කි.එය සාමකාමිී මැතිවරණයක් වන ලකුණු දැනටමත් පෙනෙන්නට ඇත.කවුරුන් ජයගනු ඇතිද,එම ජයගන්නා කවුරුන් හෝ රට කෙසේ ඉදිරියට ගෙනයනු ඇතිද, දැනගැනීමට රටේ ජනතාව සිටින්නේ නොඉවසිල්ලෙනි.

 

 

 

 

 

 

 

 



අදහස් (0)

මැතිවරණය ගැන ජනතාව නොඉවසිල්ලෙන්

සිරිමල් Monday, 27 July 2015 09:46 PM

අපේ රාජ්‍ය තාන්ත්‍රික විදේශ සංචාරවලදී සහබාගි වන උපරිම පිරිස 3 කට සීමා කරන්න. අපේ රටේ අය වැයෙන් විශාල මුදලක් දේශපාලකවරුන්ගේ විදේශ ගමන් සදහා වියදම් වෙනවා. අවශ්‍ය අනෙකුත් අය චන්ද්‍රිකා තාක්ෂනය ඔස්සේ සම්බන්ද කරගන්න. දැන් චන්ද්‍රිකා තාක්ෂනය ඉතාමත් දියුණුයි. හරියට බෙහෙත් ගන්න නැති ඉස්පිරිතාලවල පහසුකම් නැති අපේ වගේ දුප්පත් රටකට මේවා අනවශ්‍ය වියදම්. කිසියම් දේශපාලකයෙකු ඔහුගේ විදේශ ගමන් සදහා අනවශ්‍ය පිරිස් රැගෙන ගියහොත් ඊට විරුද්දව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි සහ ඔවුන්ගෙන් එම මුදල් අය කරගත හැකි නීති සම්පාදනය කර දෙන මෙන් ඇති ගරු ජනාදිපතිතුමන්ගෙන් අපි මහජනතාව විදිහට ඉල්ලීමක් කරමු. (නදී)

:       0       0

වරුණ Monday, 27 July 2015 09:47 PM

රටේ මහජනතාවගෙන් බදු වශයෙන් එකතු කරන හැම රුපියලක්ම වියදම් වන ආකාරය දිනපතා වෙබ් අඩවියක් ඔස්සේ ප්‍රචාරය කරන්න. හැම ටෙන්ඩරයක්ම වෙබ් අඩවියක පල කරන්න . මහජන බදු මුදල් උපරිම පලදායිතවයකින් වියදම් කිරීම පිලිබදව මහජන අදහස් එකතු කරන වෙබ් අඩවියක් සහ ලියුම් පෙට්ටියක් සෑම ප්‍රාදේශීය කොට්ටශයකම ඇති කරන්න. සබැ ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාව වෙනුවෙන් ජනතාව ගෙන යන ආණ්ඩුවකි. මේ නිසා මහජනතාව ඔවුන්ගේ බදු මුදල් වියදම් කරන ආකාරය පිලිබදව රුජුව මැදිහත් කරගන්න. (නදී)

:       0       0

ටී.එම් කස්තුරිආරච්චි Tuesday, 28 July 2015 06:07 AM

ලලිතා මානව පරිනාමයේ ඉතිහාසය හොඳින් හොයල බලන්න. ජාතින් මුහු උනේ නැති හැම විටම හුදකලා උණු ජාතින් විනාස වෙලා ගිය මුහු උණු ජාතින් වඩාත් දියුණු උනා. අපි දෙමල මුස්ලිම් සිංහල කියල බෙදෙන්නේ නැතිව එකට මුහු උනොත් වඩාත් දියුණු ජාතියක් හදා ගන්න පුළුවන්. එහෙම මුහු වෙන්න තියෙන බාදක ඉවත් කරන්න ජාති වාදී සංකල්ප දැන්වත් අයින් කරමු (නදී)

:       0       0

මහින්ද Monday, 27 July 2015 09:48 PM

අද පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට පර්මිට් එකක් ලැබෙනවා ලක්ෂ 200 ක වාහනයක් ආනයනය කිරීමට. පාර්ලිමේන්තුවේ 280 ක් ඉන්න නිසා මිලියන 5600 ක බදු මුදල් රජයට අහිමි වෙනවා. හරියට කන්ඩ බොන්ඩ ,ඉස්පිරිතාලවල සි ටි ස්කෑන් නැති රටක මේ වගේ බදු මුදලක් රජයට අහිමි කිරීම කොච්චර වැරදිද? මේ පර්මිට් එක අහෝසි කරන්න කියල අතිගරු ජනාදිපතිතුමාගෙන් අපි මහජනතාව විදිහට ඉල්ලනවා. (නදී)

:       0       0

සමරසේකර Monday, 27 July 2015 11:00 PM

වැදගත් කරුණු අඩංගු ලිපියක්. එ්ත් ඒකෙ තියෙන දේශපාලන කරුණු ගැන මගේ උනන්දුවක් නැහැ. මා උනන්දු වන්නේ ජාතික ආරක්ෂාව ගැන ලියා ඇති කරුණු ගැන පමණයි. ඒ ගැන ලියා ඇති කරුණු ප්‍රමාණවත් නැහැ. 2009 න් පසු සිදුවූ වැදගත් කරුණු තුනක් ගිලිහිලා. 1. දෙහිවල ගුවන් පාලම පිපිරවීමට උත්සාහ කිරීම 2.අපේ රටේ අයි.එස්.අයි.එන් අන්තවාදීන්ගේ නැගී සිටීම 3. විල්පත්තුවේ අනවසර ජනපද කරණය (නදී)

:       0       0

වජිර Tuesday, 28 July 2015 01:46 AM

කෝට්ටේ පැත්තේ එන්නකෝ වෑන්වල කිසිම බයක් නැතුව තම ඡන්ද අංකය ගහගෙන යන හැටි බලන්න පුළුවන්. අනිත් එක අත් පත්‍රිකා ඔක්කෝම ප්‍රසිද්ධ තැන්වල බෙද බෙදා යන්නේ සන්ධානයේ අපේක්ෂකයෝ. ඒ අතර සමහරු සන්ධානයෙන් ඉල්ලන නීතිඥවරියන්.(නදී)

:       0       0

ගයාන් Tuesday, 28 July 2015 01:55 AM

ජේවිපි කියන්නේ සංවිධානයක් ඇති දැක්මක් නැති පක්ෂයක්. අද ග්‍රීසියේ ඉන්නේ යුරෝපයේ ඉන්න එකම වාමාංශික ආණ්ඩුව. මොකද වුනේ ග්‍රීසියේ දන ගගා ණය ගන්නවා. ජනතාව විරුද්ධ වෙනවා. 2004 දි ඔලිම්පික් තියන්න ගිහිල්ලා තමන්ට බැරි වැඩක් ලෝකෙට උජාරුව පෙන්නන්න ගිහිල්ලා අද දණ ගාණ තත්වෙට වැටිලා තියෙන්නේ. ජේවිපි ආකර්ෂණිය විදියට කථා කරාට දියුණු ලෝකයත් එක්ක යන්න දැක්මක් නැහැ. ආර්ථික ප්‍රතිපත්තියක් නැහැ. ණය ගන්නවට විරුද්ධ වුනාට රට කොහොමද දියුණු කරන වැඩ පිළිවලෙක් නැහැ. පහුගිය කාලවලදි ජේවිපි කාරයෝ කිව්වනේ මුහුද වටේ තියාගෙන සැමන් ලංකාවට ගේනවා කියලා. ඒත් සැමන් හදන මාළු වර්ගය ලංකාව ව‍ටේ අඩු බව, නැති බව ජේවිපියට හිතන්න ශක්තියක් තිබුනේ නැහැ. හොරකම්‍ නොවන දුෂණ නැති තැනක් ලෝකේ කොහේවත් ඇතැයි හිතන්න බැහැ. නමුත් විය යුත්තේ හොරකම් දුෂණ ඉතාම අවම වන විදියට වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම. ජේවිපි එකේ තියෙනවද ඒකට පිළියම්. ජේවිපි කාරයන්ගේ තියෙන එකම දර්ශණය අනුන් කරන හොඳ දේ තමන්ගේ ඔ‍‍‍ඩොක්කුවේ දාගන්නවා. වැරදි උන්ගේ ඔඩොක්කුවේ දානවා. විගණන පණත තොරතුරු දැන ගැනීමේ පණත් සියල්ල යුන්පී අදහස් මිස ජේවිපි අදහස් නෙමෙයි. ඒ ‍ව‍ගේම 2001 දි ස්වාධින කොමිසන් සභා මේ රටට ඉස්සරහම ඉදිරිපත් කරේ යුන්පි එකයි. ජේවිපි කරන්නේ අනුන්ගේ අදහස් තමන්ගේ කරගෙන ලකුණු දාගන්න හදන එක. (නදී)

:       0       0

දුමින්ද Tuesday, 28 July 2015 02:36 AM

ජනපති සැමදා නිර්පාක්ෂික වීම පක්ෂයට මෙන්ම රටට සුබය (නදී)

:       0       0

ප්‍රදීප් Tuesday, 28 July 2015 03:10 AM

ගයන්, ග්‍රීසියේ අද තියෙන ආණ්ඩුව පත් උනේ රට හොඳටම වැටුනට පස්සේ.ඒ අය තමයි රට මේ විදිහටවත් අල්ලාගෙන ඉන්නේ. 2009 පටන් තියෙන දේකට 2015 පත්වෙච්ච ආණ්ඩුවට බනින්නෙ ඇයි ? (නදී)

:       0       0

නිමල් ලලිතා Tuesday, 28 July 2015 03:19 AM

ඈත අතීතයේ සිටම පැවතී එදා සොලී, අද දෙමල ජාතිවාදී ආක්‍රමණය මුළුමනින් නැවැත්විය හැකියි යමෙක් සිතන්නේ නම් එය මුලාවකි. එය නැවතෙනවා නම් නවතින්නේ ඔවුන්ගේ නිජ බිම් සංකල්පය ඉටුකරගෙන. සිංහලයා මේ රටේ දෙවන නැතිනම් තෙවන ජාතිය බවට පත්වූ දිනකය. (නදී)

:       0       0

සමිරු සංජීව හේවාවසම් Monday, 27 July 2015 04:00 PM

අපිට ගාණක් දෙන්න ඕනෑ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 269 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 289 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 7277 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2876 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3565 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6038 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19237 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 94 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 284 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site