(ගයාන් සූරියආරච්චි)

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික් නැමැත්තාට අයත් බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි දෙකහමාරක් පමණ වටිනා සුඛෝපභෝගී නිවෙසක් දින 14 කට තහනම් කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පියවර ගෙන ඇත.

එම නිවෙස බොරලැස්ගමුව ප්‍රදේශයේ පර්චස් 4 ක ඉඩමක ඉදිකර ඇත.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් ශිරාන් බාසික් නැමැත්තාගේ එම නිවෙස පිළිබදව කළ විමර්ශනවලට අනුව එය මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් දේපොළක් ලෙස හදුනාගෙන ඒ පිළිබදව අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව එම නිවෙස දින 14 කට අත්හිටුවීමට කටයුතු කිරීමට නියමිතය.

එම සුපිරි නිවෙස ශිරාන් බාසික් නැමැත්තා ඔහුගේ පියාගේ නමට ලියාපදිංචි කර තිබූ අතර පසුව එය ශිරාන් බාසික්ගේ පළමු බිරියගේ දියණියකට තෑගි ඔප්පුවක් යටතේ පවරා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වි ඇත.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ කමල් ආරියවංශ මහතාගේ උපදෙස් පරිදි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාගේ මෙහෙයවීම මත එම කාර්යාංශයේ නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.